ඡායාරූපය:

ලෝකය වෙනස් කිරීමට භාවිත කළ හැකි බලවත්ම ආයුධය අධ්‍යාපනය බවත් සමාජයක ආත්මය හෙළිදරව් කරගත හැකි හොඳම මඟ ඔවුන් ළමයින්ට සලකන ආකාරය විමසීමෙන් බවත් ප්‍රකාශ කළේ , වර්ගවාදයට එරෙහිව සටන් කරමින් ලෝකය වෙනස් කළ අද්විතීය නායකයන් අතර මුල්තැනක් හිමිකරගත් දකුණු අප්‍රිකාවේ මුල්ම ස්වදේශික ජනාධිපතිවරයා වූ නෙල්සන් මැන්ඩෙලාය.

යහපාලන ආණ්ඩුව බලයට පත්වූ දා සිට යුග ගණනාවක් තිස්සේ මෙරට අධ්‍යාපනයේ පැවති අඩුලුහුඬුකම් සකස්කරමින් රටේ සියලුම දරුවන්ට අධ්‍යාපනයේ ඉහළම පල නෙළාදීමට උත්සුක විය. ‘‘ මේ ආණ්ඩුවත් කරපු දෙයක් නැහැ“ යැයි ගල්මුල් එල්ල කරන බොහෝ දෙනෙකුට ආණ්ඩුව මෙතෙක් සිදුකර ඇති කාර්යභාරයේ හොඳක් නොපෙනීම අරුමයක් නොවේ. මෙතෙක් රට කරවූ ආණ්ඩු අතරින් අධ්‍යාපනය වෙනුවෙන් දරුවන්ට හොඳම දේ දුන්නේ එක්සත් ජාතික පක්ෂයේ මුල්වීමෙන් බව ඉතිහාසය දන්නා කරුණකි. ජේ. ආර්. ජයවර්ධන ජනාධිපතිවරයාගේ පාලන සමයේදී නොමිලේ පාසල් පොත්ද, ආර්.ප්‍රේමදාස ජනාධිපතිවරයාගේ සමයේදී නොමිලේ නිල ඇඳුම් ලබාදීමටද කටයුතු කෙරිණ.

එනමුදු කෑමටත්,ඇඳුමටත් පොතපතටත් වඩා දරුවන්ගේ ලෝකයට වටින්නේ සුරක්ෂිත බව යහපාලන ආණ්ඩුව හොඳින්ම වටහාගත්තේය. දරුවකුගේ ලෝකයේ ඉර හඳ වන් මාපිය සෙනෙහස හා රැකවරණය හදිසියේ අහිමි වුවහොත් එතැන් පසු ඒ දරුවාගේ ජීවිතය ගොඩනඟා ගැනීමට පිළිසරණක් වන්නේ කවුද? අහිංසක අසරණ දරුවන් රැසක් ඒ ප්‍රශ්නය හමුවේ අසරණ වී සිටින බවත්, ඉදිරියේදීද ඕනෑම මොහොතක ඕනෑම දරුවකු එම තත්ත්වයට ලක්විය හැකි බවත් වත්මන් ආණ්ඩුව මනාව තේරුම් ගත්තේය.

පළමු වතාවට නොමිලයේ රක්ෂණයක්

ඒ අනුව අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතාගේ යෝජනාවක් අනුව අධ්‍යාපන අමාත්‍යංශය විසින් ලාංකේය අධ්‍යාපන ඉතිහාසයේ පළමු වරට ලක්ෂ හතළිස් පහක් වන මෙරට ජාතික, පළාත්, ජාත්‍යන්තර හා පෞද්ගලික පාසල්වල ඉගෙනුම ලබන සියලු පාසල් දරුවන් වෙනුවෙන් නොමිලේ රක්ෂණාවරණයක් ලබාදීම ඉකුත් වසරේදී ආරම්භ කෙරුණි. ඒ තුළින් රෝග, හදිසි අනතුරු හා ආබාධ තත්ත්වයන්හිදී ඉක්මන් සෞඛ්‍ය සේවා සඳහා දරුවන් යොමුකරවීම, පාසල් පැමිණීම වැඩි කිරීම, 13 වසරක පාසල් අධ්‍යාපනයට සහභාගීත්වය වැඩි කිරීම අරමුණු කරගනිමින් ආරම්භ කළ එම රක්ෂණාවරණය තුළින් සෞඛ්‍ය හා අනතුරු රක්ෂණාවරණයකින් සහ විශේෂ ප්‍රතිලාභවලින් සමන්විත වේ. ‘සදා සුරකිමු- දැයේ දරුවන් ‘යන තේමාව යටතේ හරියටම පසුගිය වසරේ ඔක්තෝබර් මස පළමු වැනිදා ආරම්භ කළ ‘සුරක්ෂා ‘ පාසල් සිසු රක්ෂණය ජාතියේ දූදරුවනට ළමා දිනයකදී මෙතෙක් ලැබුණු හොඳම තිළිණය වූවාට සැක නැත.

කවුරුන් කෙසේ කුමන විවේචන කළත් එම සුරක්ෂා රක්ෂණයේ ප්‍රතිලාභ ලැබූ දූදරුවන්ටත් මාපියන්ටත් එය විසල් ශක්තියක් වූ බවට ඔවුහු සාක්ෂි දරති. පසුගිය වසරේ ඔක්තෝබර් 2 වැනිදා හපුතලේ බෙරගල ප්‍රදේශයේදී මගීන් විසිපස් දෙනකු සමග ප්‍රපාතයකට වැටෙන්නට ගිය බස්රිය එම මාරක අනතුරින් මුදවාගන්නට තම ජීවිතය පූජා කළ බස්රියේ රියැදුරු කීර්ති බණ්ඩාර මහතාගේ දරුවන්ටත් බිරිදටත් සුරක්ෂා රක්ෂණයේ ප්‍රතිලාභ හිමි විය.

පිළිසරණක් වූ සුරක්ෂා ශක්තිය

"මහත්තයා හදිසියේ ඒ විදිහට නැති වීම මටත් දරුවන්ටත් දරාගන්න බැරි වේදනාවක් වගේම ලොකු පාඩුවක්. මහත්තයා දරුවන්ගේ ඉගෙනීම ගැන ගොඩක් හීන දැක්කා. ඒත් හදිසියේම එයා නැති වුණාට පස්සේ අපි හොඳටම අසරණ වුණා. ඒත් මහත්තයා නැතිවෙලා සතියක් යන්නත් කලින් සුරක්ෂා රක්ෂණයේ ප්‍රතිලාභ විදිහට රුපියල් 75,000ක් ලැබුණා. ඒ වෙලාවේ හැටියට ඒක අපිට ලොකු ශක්තියක් වුණා. මහත්තයා නැති වුණත් මේ රක්ෂණය නිසා දරුවන්ගේ අනාගතය ගැන විශ්වාසයක් තියෙනවා. දරුවො ගැන මහත්තයාගේ හිතේ තිබුණු බලාපොරෙත්තු ඉෂ්ට කරන්න ඒ නිසාම මගේ හිතටත් ශක්තියක් ලැබිල තියෙනවා"

කීර්ති බණ්ඩාර මහතාගේ දයාබර බිරිය සුරක්ෂා රක්ෂණාවරණය තුළින් තමාට ලැබුණු ශක්තිය ගැන එසේ පවසද්දී මීට මාසයකට පමණ පෙර හදිසි අනතුරක් නිසා පියා වියෝවූ බදුල්ල විහාරමහ දේවි බාලිකා විද්‍යාලයේ ඉගෙනුම ලබන යූ.කේ.එන්. ඩී රන්තිනි දියණියටද සුරක්ෂා රක්ෂණයෙන් රුපියල් 75,000ක් හිමි විය. වෘත්තියෙන් ගුරුවරියක වන ඇගේ මව වන ඉනෝකා ප්‍රියදර්ශනී මහත්මිය ඒ පිළිබඳ මෙසේ පවසන්නීය.

"මහත්තයා හදිසියේ නැතිවෙලා මේ වෙද්දි මාසයක් වෙනවා. මගේ මහත්තයාත් ගුරුවරයෙක් විදිහට සේවය කළේ. තාත්තා කෙනෙක්, සැමියෙක් හදිසියේ නැතිවීම පවුලකට දරන්න බැරි අඩුපාඩුවක් වුණත් ඒ අවස්ථාවේදී මේ වගේ පිහිටක් ලැබෙන එක කියලා නිමකරන්න බැරි උපකාරයක්. මහත්තයා නැතිවෙලා දවස් දෙකකින් මගේ දුවගේ සුරක්ෂා රක්ෂණයෙන් රුපියල් 75,000ක් ලැබුණා. ගුරුවරියක් විදිහට මේ රක්ෂණය ගැන මම පාසල් දරුවෝ දැනුවත් කළත් මටත් මගේ දරුවන්ටත් එයින් ප්‍රතිලාභ ලබන්න සිදුවෙයි කියලා හිතුවෙ නැහැ. නමුත් ඒ අවස්ථාවේදි ඒක අපිට ලොකු හයියක් වුණා. මේ රක්ෂණය දුප්පත් අසරණ දරුවන්ට ගොඩාක් වටිනවා. විශේෂම දේ තමයි මේ රක්ෂණය වෙනුවෙන් දරුවන්ගෙන් රජය සත පහකවත් අයකරන්නේ නැහැ. ඒ නිසා අහිංසක නැතිබැරි දරුවන්ට ලොකු පිහිටක් මේ තුළින් සිදුවෙනවා. මේ රක්ෂණයෙන් ඒ විදිහේ පිහිටක් සැලසීම ලොකු පිනක් විදිහටයි මම දකින්නේ. නමුත් සමහර දෙමාපියන් තුළ වැරදි අදහසක් තියෙනවා සියදිවි හානිකරගන්නා දෙමාපියන් වෙනුවෙන් මේ රක්ෂණයෙන් ප්‍රතිලාභ ලැබෙන්නේ නැහැ කියලා. ඒක වැරදි අදහසක්. රජය විසින් දරුවන්ගෙන් සතපහක්වත් අයනොකර ප්‍රතිලාභ ලබාදන මේ රක්ෂණයෙන් නිසි ප්‍රයෝජන ගන්න දෙමාපියන් දැනුවත් විය යුතුයි කියලා මම හිතනවා"

හදිසි අසනීප සහ අනතුරු සිදුවන්නේ කලින් දන්වා නොවේ. දරුවකු එවැනි තත්ත්වයකට ලක්වූ විට දෙමාපියන් පත්වන අසරණ භාවය පිළිබඳ අමුතුවෙන් කිමට අවශ්‍ය නොවේ. දිවා රෑ නිදිවරමින් සත්තක සියලු මිල මුදල් වැය කරමින් දරුවා සුව කරගන්නට වෙහෙසීම මාපියන්ගේ හැටිය. අනුලා විද්‍යාලයේ

අයි. යූ මද්දුමගේ දියණියත් හදිසියේ රෝගාතුර වුයේ අසනීපය සොයාගත නොහැකි තැනකට වෛද්‍යවරු පවා අසරණ කරවමිනි. ඇගේ දෙමාපියන් දියණිය සුවපත්කරගැනීමේ අරමුණින් පෞද්ගලික රෝහලක නවතා ප්‍රතිකාර කළහ. රෝහල් බිල ලක්ෂ තුනහමාර ඉක්මවුවත් ඔවුන්ට සැනසීමක් වූයේ දියණිය සුවපත් වූ නිසාය.

"දුව හොස්පිට්ල් එකෙන් ආවට පස්සේ මම සුරක්ෂා රක්ෂණයට ඉල්ලුම් කළා. මාසයක් වගේ කාලයකින් දුව වෙනුවෙන් රුපියල් ලක්ෂයක් ලැබුණා. ඒක ඒ අවස්ථාවේ අපිට ලොකු ශක්තියක් වුණා. මගේ රක්ෂණයෙන් ගෙව්වෙත් ලක්ෂ එකහමාරක් විතරයි. ඒ නිසා සුරක්ෂා රක්ෂණයෙන් ලැබුණු මුදල අපිට ලොකු හයියක් වුණා. වැඩි ලියකිවිලි නැතිව පහසුවෙන් ඒ මුදල ලබාගන්නත් පුළුවන් වුණා. මම මේ රක්ෂණය ගොඩක් අගය කරනවා. ඉතාම හොඳ වැඩසටහනක්. අසනීපයකදි බෙහෙතක් කරගන්න බැරි තරම් අසරණ දරුවොත් අපේ රටේ ගොඩාක් ඉන්නවා. ඇත්තටම රජයක් විදිහට දරුවො වෙනුවෙන් ගත්ත ඉතාම හොඳ තීරණයක් විදිහට මම මේක ඉතාම සතුටින් අගය කරනවා"

ඉදිරියේදී තවත් ප්‍රතිලාභ

ඒ පැසසුම් මෙම වැඩසටහනේ වටිනාකමට නිහඬ සාක්ෂියකි. ඉකුත් ඔක්තෝබර් 1 වැනිදා සිට ක්‍රියාත්මක වන මෙම සුරක්ෂා රක්ෂණාවරණය යටතේ පසුගිය මාර්තු වන විට මිලියන 40කට ප්‍රතිලාභ පිරිනමා ඇති අතර ප්‍රතිලාභ ඉල්ලීම් 8062ක් ඉදිරිපත් වී ඇති අතර ඉන් 4347 දෙනෙකුට ප්‍රතිලාභ ගෙවා තිබේ. සුරක්ෂා රක්ෂණාවරණයෙන් ආරම්භක අවස්ථාවේ යෝජනා කළ ප්‍රතිලාභ තවත් වැඩිකර දරුවන්ට ලබාදීමේ අරමුණින් අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතාගේ ඉල්ලීම මත ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාවේ දායකත්වයෙන් ‘සුරක්ෂා විශේෂ අරමුදල“ද පිහිටවනු ලැබිණ. එහි අරමුණ වන්නේ ලක්ෂ2 කට වැඩි වියදමක් දැරීමට සිදුවන රෝගාබාධ හා සැත්කම්වලදී මාපියන් සහ දරුවන් මුහුණ දෙන ආර්ථික අපහසුතා සහ සෞඛ්‍ය අවධානමෙන් ඔවුන් මුදාගනිමින් ඔවුන්ට ශක්තියක් වීමයි.

අධ්‍යාපනය වෙනුවෙන් ආණ්ඩුව මෙතෙක් කර ඇති කටයුතු අතර සුරක්ෂා රක්ෂණාවරණය එලෙස ඉතිහාසගත වද්දී ආණ්ඩුව විසින් රටේ අනාගත පරපුර වෙනුවෙන් කර ඇති තවත් විශේෂ කාර්යයන් රැසක්ම වේ.

ළඟම පාසල හොඳම පාසල

වඩාත් ගුණාත්මක අධ්‍යාපන අවස්ථා රටේ සියලු දරුවන්ට ලබාදීම අරමුණු කරගනිමින් අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතාගේ සංකල්පයක් අනුව 2016 වසරේදී ‘ළඟම පාසල - හොඳම පාසල‘ ජාතික ව්‍යාපෘතිය ආරම්භ කෙරුණි. වසර හතරක කාලයක් තුළ ක්‍රියාත්මක වන එම ව්‍යාපෘතිය යටතේ ලංකාවේ පාසල් 9,345 ක ප්‍රධාන සංවර්ධන ව්‍යාපෘති 18,654ක් ක්‍රියාත්මක වීමට නියමිතය. පසුගිය වසර අවසානය වන විට දිවයින පුරා පාසල්, ගුරු විද්‍යාල සහ ගුරුවිද්‍යාපීඨවල හඳුනාගත් සංවර්ධන අවශ්‍යතා සහිත ව්‍යාපෘති 13,082ක ආරම්භ කර ඒ අතරින් ව්‍යාපෘති 7,296ක සංවර්ධන කටයුතු සම්පූර්ණයෙන්ම අවසන්කොට තිබේ. මෙම ජාතික වැඩසටහන වෙනුවෙන් අධ්‍යාපන අමාත්‍යාංශය ආයෝජනය කර ඇති සම්පූර්ණ මුදල රුපියල් බිලියන 64 කි. මෙම ව්‍යාපෘතිය තුළින් නාගරික පාසල්වල පවතින තරගකාරී වාතාවරණය අවම කරමින්, ඉහළ ඉගෙනුම් අවස්ථා සම්පාදනය කිරීම සහ සැමට සම අවස්ථා ළගා කර දීම රජයේ අපේක්ෂාවයි. මෙම ව්‍යාපෘතිය යටතේ නැගෙනහිර පළාතේ පාසල්, ගුරු විද්‍යාල සහ ජාතික අධ්‍යාපන විද්‍යාපීඨවල ගොඩනැගිලි පහසුකම් ලබාදීමට රුපියල් මිලියන 8000ක් වෙන්කර තිබේ. මේ වන විටත් එම පළාතේ ආරම්භ කළ සංවර්ධන ව්‍යාපෘති 1129ක් අතුරෙන් 692ක වැඩකටයුතු අවසන් කොට තිබෙන අතර ගතවූ වසර 3 ඇතුළතරුපියල් මිලියන 2069ක් ඒ සඳහා වැයකොට තිබේ. ආණ්ඩුව ජාති භේදයකින් තොරව දැයේ සියලුම දරුවන් වෙනුවෙන් කටයුතු කරන බවට එය කදිම සාක්ෂියකි.

කලණ මිතුරු පොත් සුමිතුරු

දැයේ දරුවන් හට කියවීම ඇබ්බැහි කරවීමේ අරමුණින් අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතාගේ සංකල්පයකට අනුව නිර්මාණය වූ ‘2018-2019 කලණ මිතුරු පොත් සුමිතුරු’ තිරසර කියවීම් ප්‍රවර්ධන වැඩසටහනද ගුණාත්මක බවින් ඉහළ ව්‍යාපෘතියකි. විවිධ අහිතකර පුරුදු සහ නොයෙක් විෂමාචාර ක්‍රියාවලට ඇබ්බැහි වීමේ අවධානමක් ඇති තරුණ සමාජයකට කියවීම ඇබ්බැහි කරවීම විප්ලවීය සංකල්පයක්ම වන බව අමාත්‍යවරයාගේ විශ්වාසයයි.

අධ්‍යාපනය ලැබීමට ඇති අයිතියට ජාතිය, ආගම, කුලය මෙන් ම ස්ත්‍රී පුරුෂ භාවය බාධාවක් නොවිය යුතු බව ද පෙන්වා දෙමින් අධ්‍යාපන අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාවක් මල්ඵල දරමින් බෞද්ධ දස සීලමාතා අධ්‍යාපන ආයතන ආරම්භ කිරීමද මෙරට බෞද්ධ අධ්‍යාපනයේ පුනර්ජීවනයට හේතුවක් බව පිළිගත යුතු සත්‍යයකි . එමෙන්ම ‘සසුනට දිරිදෙන සුරකිමු පිරිවෙන’ ජාතික වැඩසටහන යටතේ පිරිවෙන් නඟා සිටුවීම වෙනුවෙන් විශාල කාර්යභාරයක් සිදුකෙරේ.

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ සංකල්පයක් යටතේ වත්මන් අධ්‍යාපන අමාත්‍යවරයා විසින් හඳුන්වා දුන් 13 වසරක සහතික කළ අධ්‍යාපන වැඩසටහන හරහා නව ලොව රැකියා අවස්ථා සඳහා පුළුල් ඉඩ ප්‍රස්ථා විවර කරදෙමින් නව වෘත්තීය විෂයයන් 26ක් හඳුන්වා දී තිබේ. ඒ තුළින් රටේ කිසිදු දරුවෙකුට සාමාන්‍ය පෙළ විභාගයෙන් අසමත්වීම නිසා උසස් පෙළ හැදෑරීමට ඇති අයිතිය අහිමි කළ නොහැකි බවත්, වසර 2019 සිට සාමාන්‍ය පෙළට පෙනී සිටින සියලු දරුවන්ට උසස් පෙළ හැදැරීමේ අවස්ථාව සලසාදෙමින්, 13 වසරක පාසල් අධ්‍යාපනය සහතික කිරීමත්, අනාගත රැකියා වෙළඳපොළ ජයගත හැකි දිශානතියකට දරුවන් යොමුකිරීමත් රජයේ අරමුණයි. හොඳම දේ දරුවන්ට යන සංකල්පය මත පිහිටා කටයුතු කරන වත්මන් ආණ්ඩුව ඉදිරියේදී තවත් බොහෝ ගුණාත්මක දේ දැයේ දරුවන් වෙත තිළිණ කරන බව සනාථ කරන්නට මෙම සලකුණු නොසෑහේද?

[සුරේකා නිල්මිණි ඉලංගකෝන්]