වැසිකිළි කුමන්ත්‍රණ

 ඡායාරූපය:

වැසිකිළි කුමන්ත්‍රණ

උතුමාණන් වහන්සේගේ ආණ්‌ඩුව කෙරෙහි මේ සභාවේ විශ්වාසයක්‌ නොමැතිවීම ගැන කණගාටු වෙයි". මෙහෙම කියැවුණේ 60 මාර්තුවේ ඩඩ්ලිගේ ආණ්ඩුව 'රාජාසන කතාව පරාජයට පත් වූ අවස්ථාවේදීය.  ආණ්‌ඩු බලය ලබා ගත් රජය විසින් නව පාර්ලිමේන්තුව විවෘත කිරීමේ නිල උත්සවයේදී ඉදිරිපත් කරනු ලබන "රාජාසන කතාවෙන්" ආණ්ඩුවේ වැඩපිළිවෙල කියැවේ. රාජාසන කතා ස්‌තූති යෝජනාව පරාජයට පත්කර ගෙදර යවනු ලැබූ එකම ආණ්‌ඩුව 1960 මාර්තු 19 දින පිහිටුවන ලද එක්‌සත් ජාතික පක්‍ෂ ආණ්‌ඩුවය. එහි අගමැතිවරයා වූයේ ඩඩ්ලි සේනානායකය. එවක විපක්ෂ නායකයා වූයේ සී. පී. ද සිල්වාය. හැබැයි ඒ රාජාසන කතාව අතිශයින් වැදගත්, ඉදිරිගාමී එකක් විය.
එක්‌සත් ජාතික පක්‍ෂය ආසන 50ක් දිනාගත්තද එය බහුතර බලයක් නොවීය. එහෙත් 1960 මාර්තු 21 වැනිදින ඩඩ්ලි සේනානායක අගමැති පදවියට පත්විය. ඔහුගේ කැබිනට් මණ්ඩලය 8 දෙනෙකුගෙන් සමන්විත එකක් විය. මාර්තු 30 වෙනිදා පළමු සභා වාරය ආරම්භ විය. කතානායකවරයා පත්කිරීමේ ඡන්ද විමසීමෙන්ම ආණ්ඩුව හෙල්ලෙන දතක් බව ඔප්පු විය. ආණ්ඩුවේ නියෝජිතයා පරාජය කරමින් කතානායක ලෙස පත්වූයේ විපක්ෂයේ නියෝජිතයාය. එවැන්නක් වූ මුල්ම අවස්ථාව එය විය. සුබනිමිති වෙනුවට අසුබ නිමිති එක්ක ආණ්ඩුව ඊළඟට මුහුණ දුන්නේ තීරණාත්මකම කටයුත්තටය. ඒ, ආණ්‌ඩුවේ ඉදිරි ක්‍රියාමාර්ග පැහැදිළි කරන රාජාසන කතාව ඉදිරිපත් කිරීමය. එය සිදුවුණේ,1960 අප්‍රියෙල් 06 වැනි දාය.
අප්‍රියෙල් 22 දින විවාදය අවසන් වී ඡන්ද විමසීම සිදුවිය. විපක්ෂයෙන් මන්ත්‍රීවරුන්ගේ සහය ලබාගන්නට ආණ්ඩුව දැඩි වෑයමක් ගත් අතර ඡේ.සී.ඩබ්. මුණසිංහ, පී.බී.ඒ. වීරකෝන් යන මන්ත්‍රීවරු දෙදෙනා දිනාගන්නට ආණ්ඩුව සමත් විය. එහෙත්, මහජන එක්‌සත් පෙරමුණේ මන්ත්‍රීවරුන් 10 දෙනාගෙන් තිදෙනෙක්‌ විපක්ෂයට සහය දුන්හ. විපක්ෂය ගෙනා සංශෝධන යෝජනාවට පක්‍ෂව ඡන්ද 86 ක්‌ද විපක්‍ෂව ඡන්ද 61 ක්ද ලැබීමෙන් විපක්‍ෂයේ යෝජනාව සම්මත විය. ඒ අනුව ඩඩ්ලිගේ මාර්තු ආණ්ඩුව ගෙදර යන තැනට පත්විය. යෝජනාවට පක්‍ෂව ඡන්ද 86 ක්‌ ලැබෙද්දී, විපක්‍ෂව ඡන්ද 61 ක් ලැබීමෙන් විපක්‍ෂයේ යෝජනාව සම්මත විය.
1960 මාර්තු 19 වෙනි දින පිහිටුවන ලද එජාප ආණ්‌ඩුව අප්‍රේල් 22 වෙනිදා පෙරලුණි.
බලය ලබා ගැනීම ඒකායන පැතුම කොටගත් විපක්ෂය එදා ඩඩ්ලිගේ ආණ්ඩුව පෙරලා දැම්මේය. හැබැයි, වැඩේට බැස්ස සී.පී ලාට අන්තිමට පක්ෂ නායකකමත් අහිමි විය.
'එතකොට මේ ඒකාබද්දේ ලෑස්ති, ඒකම මේ වතාවෙත් කරන්නද?'
ඒක කියන්නට දන්නේ නැත. හැබැයි ඒක කරන්න පුලුවන් කමක් නම් ඇත්තේ නැත.
'මොකද නැත්තේ, දැන් ආණ්ඩුවේ හිටපු පලුවක්ම ඒකාබද්දෙට ඇවිත් ඉන්නේ'
හිත රවට්ටා ගන්න කැමැති සමහරු එහෙම කියයි.
'රාජාසන කතාවෙන් ආණ්ඩුව වට්ටවනවා කියන එක තමයි, ලෝක විහිළුව'
'එහෙම කියන්නේ කොහොමද?'
එහෙම කියන්නේ මෙන්න මේ නිසාය.
අගමැති රනිල්ට එරෙහිව විශ්වාසභංගයක් ගේනකොට හැමෝම හිතුවේ 'රනිල් ඉවරයි. ආණ්ඩුව ඉවරෙටම ඉවරයි කියාය. විශ්වාසභංගය නොදින්නොත් ඉර පායන්නේ නැතැයි කීවේ ගම්මන්පිලය. ඉර හඳ දෙකම පායන්නේ නැතැයි කීවේ විමල්ය.
අප්‍රිල් 4 හවස් වෙනකොට ඒ නංදෙඩවිලි 'පුස්සක්' විය.
වචනවල වටිනාකම තුට්ටුවට දැමීමේ කුප්‍රකට ඉතිහාසයක් විමල්ලාට තිබේ. ඒ ඉතිහාසයක මහින්දලාටත් තිබේ. 'ආසියාවේ ආශ්චර්ය', උතුරු වසන්තය, වැනි ආලවට්ටම් වචන තුට්ටු දෙකට දමා ඒවායේහි අර්ථය 'පාච්චල්' කොට දැම්මේ ඔවුන්ය. එකී පාලන සමය නිමා වූයේ 'වචන'වලට තිබූ වටිනාකම පවා 'අවභාවිතා' කළ සහ වෛශ්‍යා වෘත්තියේ යෙදවූ කාල සමයක් ඉතිහාසයට එක් කරමින්ය.
විශ්වාසභංග, දෙපෝයෙන් ආණ්ඩු පෙරළීම්, ජාත්‍යන්තර කුමන්ත්‍රණ, වැනි සංසිද්ධි 'විගඩමකට' පාවිච්චි කිරීම ඒකාබද්ධයට අමුතුවෙන් පුරුදු පුහුණු කළ යුතු නැත.
එකට ඉඳගෙන පිහියෙන් අනින කලාව ප්‍රගුණ කළ කිහිප දෙනෙක් විශ්වාසභංගය අවස්ථාවේ පොහොට්ටුවට මාරුවිය.
ජාත්‍යන්තර කුමන්ත්‍රණ ගැන විමල් රෑ දවල් නන්දෙඩවීම් කරයි.'අමෙරිකන් සන්නාම වර්ජනය කරමු' කියා කෑ මොර දුන් විමල් පළඳින්නේ අමෙරිකන් 'සංග්ලාස්'ය. 'ආසියාවේ ආශ්චර්ය'කරනවා කියා කළේ 'ආසියාවේ ළමා දූෂකයින්', 'ආසියාවේ කුඩු රජවරුන්', 'ආසියාවේ තක්කඩියන්' පිරි රටක් හදන එකය. දැන් සභාවට ගෙනා 'රාජාසන කතා' කයිවාරුවද එහෙමමය.
මේ දේශපාලන කයිවාරුකාරයින් තවමත් ඉන්නේ හැට ගණංවලය. 1960 පස්සේ ව්‍යවස්ථා සංශෝධනය වූ බවක් ඒ කයිවාරු කාරයින් දන්නේ නැත. එක්කෝ දැනගෙනම 'එදා වේල' ටොම් පච අතාරිමින් ඉන්නවාය.
මහා මැතිවරණයකින් පසුව ආණ්‌ඩු බලය ලබාගත් රජය විසින් නව පාර්ලිමේන්තුව විවෘත කිරීමේ නිල උත්සවයේදී ඉදිරිපත් කරනු ලැබූ "රාජාසන කතාව" පිළිබඳව දැන් කතා කරන්නේ නැත. ඒක වත්මනෙහි අවැදගත්ය. එයට හේතුව දැන් පාර්ලිමේන්තුව විවෘත කිරීමේ රාජ්‍ය උත්සවයේදී එදා මෙන් "රාජාසන කථාව" ක්‌ 
ඉදිරිපත් නොකිරීමය. මෙම වෙනස ඇති වූයේ 1978 නව ආණ්‌ඩු ක්‍රම ව්‍යවස්‌ථාව බලාත්මක වීමෙන් පසුවය.
ඒ නිසා මේ රාජාසන කතා පරාජයන් හුදෙක් නින්දෙන් ඇහැරී ගොතන කතා විනා සත්‍ය නොවේ.
1966 දී හත්හවුල් ආණ්ඩුවට එරෙහි රාජ්‍ය කුමන්ත්‍රණයක් සිදුවිය. මේ කුමන්ත්‍රණය 'ඇත්ත' පුවත්පත මගින් හෙළි කළේ ‘වැසිකිළි කුමන්ත්‍රණයක්’ කියලාය. එහෙම කුමන්ත්‍රණ මේ රටට හුරුය.
ආණ්ඩුව බලයට ආවදා සිටම ඒකාබද්ධය වෑයම් කරන්නේ ආණ්ඩුව පෙරලන්නටය. ඒ සඳහා මහින්ද යුගයේ ඔහුට සමීපව සිටි කිහිප දෙනෙක්ම යහපාලන ආණ්ඩුවට රිංගවනු ලැබීය. 'ආණ්ඩුවේ සිටිමින්' අවලාද නගමින් කුමන්ත්‍රණ කරන්නේ ඒ පිල්ලිය.
සිරිමා බණ්ඩාරනායක මැතිනියගේ සභාග ආණ්ඩුව පරාජයට පත්වීමෙන් පසු ඇය ජාතිය අමතමින් ගුවන් විදුලියෙන් රටට කියා සිටියේ සී. පී. ද සිල්වා තමන්ට පිටුපසින් සිට පිහියෙන් ඇන්න බවය. ඇයගේ මෙම කතාව ජනප්‍රිය මාතෘකාවක් බවට පත්වූ අතර එකල ජනප්‍රියම පුවත්පතක් වූ ”ඇත්ත” පුවත්පත සී.පී.ද සිල්වා මහතා හැඳින්වීමට නිතරම යොදාගනු ලැබුයේ ‘සී.පිහි ’යනුවෙන්ය.
එහෙම ‘සී.පිහි’ අදත් නැතිවා නොවේ. ආණ්ඩුව කළ යුත්තේ ඒ 'පිහි' හඳුනා ගැනීමය.

මාතෘකා