සර්ව සම්පූර්ණ ආණ්ඩු කොහේවත් නැහැ : සමාජ සවිබල ගැන්වීම්, සුබසාධන හා කන්ද උඩරට උරුමය පිළිබඳ නියෝජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක

 ඡායාරූපය:

සර්ව සම්පූර්ණ ආණ්ඩු කොහේවත් නැහැ : සමාජ සවිබල ගැන්වීම්, සුබසාධන හා කන්ද උඩරට උරුමය පිළිබඳ නියෝජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක

රන්ජන්  රාමනායක යනු දේශපාලන කරලියේ විවිධ ආන්දෝලනාත්මක ප්‍රකාශ කරමින් පුවත් මවන  දේශපාලන චරිතයකි. පසුගිය කාලයේද දූෂණ වංචා සම්බන්ධයෙන් විවිධ ප්‍රකාශ සිදු  කරමින් කාගෙත් කතාබහට ලක්වුණු නියෝජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක මෙවර  ක්‍රිකට් පාලක මණ්ඩලයේ අක්‍රමිකතා සම්බන්ධයෙන් චෝදනා රැසක් එල්ල කරනු  ලැබීය. ඒ සම්බන්ධයෙන් සහ රටේ පවතින දේශපාලන වාතාවරණය සම්බන්ධයෙන් නියෝජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක සමඟ අප කාලීන දේශපාලන සංවාදයක නිරත වූයෙමු.  

රන්ජන් රාමනායක මේ දවස්වල ක්‍රිකට්වලට බැහැලා වගේ? 
මට විවිධ විෂය ක්ෂේත්‍රයන්වල නොයෙක් මාතෘකා සම්බන්ධයෙන්, දූෂණ වංචා ගැන තොරතුරු ලැබෙනවා. ඒ දේවල් මම බය නැතුව අවදානමක් අරන් හෙළිදරව් කරනවා. ඒ  දේවල්වලින් මට රිදෙන අවස්ථාත් තියනවා. මට අපහාස කරන අවස්ථාත් තියනවා. සමහරු  මම මාධ්‍ය සංදර්ශන පවත්වනවා කියලත් කියනවා. ඒත් මම මහජන නියෝජිතයෙක්  හැටියට මගේ සේවය කරනවා.   දූෂණයට වංචාවට එරෙහිව කතා කරනවා. ඒක මට ලොකු  නම්බුවක්. මේ ක්‍රිකට් පාලක මණ්ඩලේ කතාවත් ඒ වගේ මට ලැබුණු තොරතුරු අනුව කළ හෙළිදරව් කිරීමක්.  

ඇයි මේ තරම් දරුණුවට ක්‍රිකට් පාලක මණ්ඩලයත් එක්ක හැප්පෙන්නේ? 
මැයි  19 වෙනිදා ක්‍රිකට් පාලක මණ්ඩලයේ නිලවරණය පැවැත්වෙනවා. අපි ක්‍රිකට්වලින්  හිටියේ ලෝකෙන්ම අංක 3ට. ඒත් හිටපු සභාපතිවරයා සහ හිටපු අමාත්‍යවරයාගේ  අත්තනෝමතික ක්‍රියා නිසා අංක 3ට හිටපු අපි දැන් අංක 8ට ඇවිත් තියනවා. අපිට  මේක විනාශ කරන්න දෙන්න බැහැ. හිටපු සුපිරි ක්‍රිකට් ක්‍රීඩකයෝ මේ වෙන  අක්‍රමිකතා ගැන මට කියලා තියනවා. ඒ වගේම ක්‍රිකට් පාලක මණ්ඩලයේ නිලධාරීන්  ෆයිල් පිටින් ගෙනල්ලා දීලා තියනවා. " තිලංග මේක කනවා, දයාසිරි මේක කාලා  ගියේ" මේ වගේ දරුණු චෝදනා කරනවා. මේ හැමෝම මුදලට විවිධ තනතුරු ලබාදීලා තියෙනවා. තිලංග සුමතිපාල තමන්ගේ ආසනයේ ඡන්ද පරදිනවා. තමගේ දිස්ත්‍රික්කයේ  ඡන්ද පරදිනවා. ඒත් එයා ක්‍රිකට්වල මුල්පුටුවට එනවා. ක්‍රිකට් කියන්නේ  ලංකාවේ අභිමානය. ඉතින් ඒ අභිමානයට හානි වෙන දේවල් කාටවත් කරන්න දෙන්න බැහැ.   

මේ කරුණු පිළිබඳ හෙලි කරන්න මෙච්චර 
කල් ගත්තේ ඇයි? 

කල්  ගත්තේ නැහැ. දැන් නිලවරණය එනවා. තිලංග සුමතිපාල නැවත පත් වෙයි ද කියන එක  තමයි තියන ගැටළුව. මගේ චෝදනාව තමයි මේ පිරිස නැවත ගෙනාවොත් ලංකාවේ  ක්‍රිකට් ඉවරයි කියන එක. මේ අක්‍රමිකතා කරන අයගේ ඉතිහාසය දිහා බැලුවම පේනවා  මේ අයට දරුණු ඉතිහාසයක් තිබිලා තියෙන්නෙ. ස්වාමීන්  වහන්සේ කෙනෙක්ට ලක්ෂ 250ක් දීලා. ඒකත් ක්‍රිකට්වලට විශ්වවිද්‍යාලයක් හදන්න දීලා  තියෙන්නෙ. අතින් ලියපු චෙක් එක දීලා තියෙන්නෙ. ඒත් විශ්වවිද්‍යාලයක් හදලත්  නැහැ. කවුරුත් ඒ ගැන දන්නෙත් නැහැ. ඒ වගේම තිලංග සුමතිපාල අවිධිමත් විදිහට  ක්‍රිකට් බෝඩ් එකේ සල්ලි වියදම් කරලා තියෙනවා. ඒ දේවල් මම ප්‍රසිද්ධියේ  කියලා තියෙනවා.  

කවුද ඒ මුදල් දීපු ස්වාමීන් වහන්සේ? 
සදාචාරාත්මක හේතූන් මත ඒ ස්වාමීන් වහන්සෙගේ නම හෙළි කරන්න මම අකමැතියි.  

‍රටේ 3/4කට සේවය කරන්න පුළුවන් අමාත්‍යංශයක් ඔබට ලැබිලා තියෙනවා. මෙහෙත් සිදුවුණු සේවය සම්බන්ධයෙන් ඔබ තෘප්තිමත් ද? 
මේක  ඉතාම හොඳ අමාත්‍යංශයක්. මේ අමාත්‍යංශයෙන් මිනිස්සුන්ට සේවයක් වෙනවා කියලා  මම හිතනවා. එතනත් අක්‍රමිකතා තියෙනවා. මම වැඩ කළ යුත්තේ එස්. බී  දිසානායක ඇමතිතුමා එක්ක. එස්. බී ඇමතිතුමා යටතේ යම් යම් සේවාවන් සීමාවෙලා  තියෙනවා. නමුත් අමාත්‍යංශය මූලික කරගෙන මුදල් කවදාවත් අවභාවිතා වෙලා නැහැ. 

ඔබේ  අමාත්‍යංශයෙත් අක්‍රමිකතා තියෙනවා නම් රටේ වෙනත් අක්‍රමිකතා ගැන කතා කරන  රන්ජන් ඇමතිතුමා තමන්ගේ අමාත්‍යංශයේ අක්‍රමිකතා ගැන විමර්ශන කළා ද? 
විමර්ශන  කෙරෙමින් පවතිනවා. සුනිල් හඳුන්නෙත්ති මන්ත්‍රීතුමාත් මේ අක්‍රමිකතා  සම්බන්ධයෙන් අපිට චෝදනාවක් කළා. ඒ සම්බන්ධයෙන් පරීක්ෂණ කෙරෙමින් පවතිනවා.  

මොනව ද ඒ අක්‍රමිකතා? 
අමාත්‍යංශයේ  ඉන්ධන සම්බන්ධයෙන් අක්‍රමිකතා වෙලා තියනවා. තව බොහෝ දේවල් වෙලා තියනවා.  ඒවා හෙලි කරන්නේ නැහැ. ඒ වා ප්‍රසිද්ධ මාධ්‍යයට කිව්වොත් එයාලා උත්තර  හොයාගනිවි කරපු වැරදිවලට.  

අජිත් පෙරේරා ඇමතිතුමා එස්. බී දිසානායක  ඇමතිතුමාට චෝදනාවක් කළා සමාජ සවිබල ගැන්වීමේ අමාත්‍යංශයේ කටයුතු අකාර්යක්ෂමයි කියලා. ඔබ එය අනුමත කරනවා ද? 
අජිත් පෙරේරා ඇමතිතුමා  දිගින් දිගටම අපේ අමාත්‍යංශය ගැන විවිධ විවේචන එල්ල කළා. එතුමා කිව්වේ  සමෘද්ධිය ගන්න ලක්ෂ 14න් බහුතරයකට ඒක නොලැබිය යුතුයි කියලා. ඒකට හේතුව  සමෘද්ධිය ලබන වැඩි ආදායම්ලාභී අය ඉන්නවා කියලා එස්. බී දිසානායක ඇමතිතුමා මේ  ගැන විමර්ශනයක් කළා. ඒ විමර්ශනෙන් හෙලි වුණා  සමෘද්ධි නිලධාරීන් අඩු  ආදායම්ලාභීන්ට වඩා තමන් කැමති කැමති අයට සමෘද්ධි ලබාදෙනවා කියන කාරණාව. වසර  තුනක් තිස්සේ මේ අක්‍රමිකතා හදන්න බැරි වුණා. එස්. බී ඇමතිතුමා හිතනවා  සමෘද්ධිය කැපුවාම මේ ආණ්ඩුව එක්ක මිනිස්සු වෛර බැඳගනියි කියලා. ඒ නිසායි  මේකට ක්‍රියාමාර්ග ගන්නේ නැත්තේ. ඒත් මම ඉන්නේ පක්ෂ විපක්ෂ සියලුම අඩු  ආදායම් ලාභීන්ට මේකෙදි සාධාරණයක් ඉෂ්ඨ විය යුතුයි කියලයි. එතනදි මම හිතනවා  අජිත් ඇමතිතුමා හරි කියලා. මොකද සමෘද්ධිය හිමිවෙන්න ඕනේ ඉතාම දුගී දුප්පත්  අඩු ආදායම්ලාභීන්ට. එහෙම නැවතුව සමෘද්ධිය ගන්න බොරු වාර්තා දීලා අසරණ  මිනිස්සුන්ගේ සල්ලිත් හොරකම් කරන අයට නෙමෙයි. ඒ නිසා මේ කතාවෙදි මමත්  අජිත් ඇමතිතුමාගේ පැත්තේ ඉන්නවා.  

එහෙම කියන ඔබතුමාම කලින් කිව්වා ‘එස්.බී දිසානායක කියන්නේ කාර්යක්ෂම හොඳ ඇමතිවරයෙක්. ඒ වගේ ඇමතිවරයෙක් එක්ක  වැඩ කරන්න ලැබීම වාසනාවක්' කියලා. 
දැන් ඒ වචනේ වෙනස් වෙලා ද? 

නැහැ.  ඒ වචනේ වෙනස් වෙලා නැහැ. මම හැමදාම කියන්නේ සමෘද්ධිය කියන්න සංකල්පය  එතුමාගේ. ඔහු ඉතාම කාර්යක්ෂම දේශපාලකයෙක්. නමුත් මේ කාරණාවෙදි මම  විරුද්ධයි. ඒ වගේම එස්. බී ඇමතිතුමා වැඩිහිටියන්ට දෙන දීමනාවෙන් රු.2000න්  රු.100ක් කපන්න ලෑස්ති වුණාම අපි ඒකටත් විරුද්ධ  වුණා. මම කාගෙවත් අතකොළුවක් වෙලා නැහැ. මම ඉන්නේ ජනතාවගේ පැත්තේ. 

ලෝකේ  අනිත් රටවල වැඩිහිටියන් රැකබලා ගැනීම සම්බන්ධයෙන් විවිධ වැඩපිළිවෙල්  ක්‍රියාත්මක වෙනවා. ඒත් වැඩිහිටි මහලේකම් කාර්යාලය හරහා සිදුවන සේවය අවමයි  නේද? 
සේවයක් සිදුවෙන්නෙ නැහැ කියලා කියන්න බැහැ. විශාල සේවයක් සිද්ධ  වෙනවා. ඒත් මේ ලංකාවේ දැන් තියෙන සංස්කෘතියත් එක්ක සේවය කරලා පිරිමහන්න  බැරිකමක් තියෙන්නේ. අම්මලා තාත්තලා ඉඩකඩම් උකස් කරලා දරුවන්ට හොඳට  උගන්නනවා. ඒ දරොවෝ ලොකු තැන්වලට ඇවිත් අම්මලා තාත්තලාව වාහනවලින් හන්දිවල  දාලා යනවා. ආණ්ඩුවට වගේම වැඩිහිටියන් රැක බලාගන්න වගකීමක් දරුවන්ටත්  තියෙනවා. මේ සියල්ලටම මුදල් නිකුත් වෙන්නෙ රාජ්‍ය භාණ්ඩාගාරයෙන්  මිනිස්සුන්ගේ බදු මුදල්. ඉතින් වැඩිහිටියන් ගැන වැඩිහිටි අමාත්‍යංශය බලනවා  වගේම දරුවන්ටත් වගකීමක් තියෙනවා ඔවුන් ගැන සොයා බලන්න.  

දැන් යහපාලන ආණ්ඩුවට අවුරුදු තුනක් 
ගෙවිලා ඉවරයි. හිතෙන්නෙ නැද්ද ජනතාව
දැන් ආණ්ඩුවෙන් ඈත් වෙලා කියලා? 

සර්ව  සම්පූර්ණ ආණ්ඩුවක් මේ ලෝකේ බිහිවෙලා නැහැ. සිංගප්පූරුවේ ලී-ක්වාන්-යූටත් චෝදනා තිබුණා. ප්‍රජාතන්ත්‍රවාදයේ  මුදුන්මල්කඩ කියන රටවල්වලත් විවේචන තියෙනවා. මේ ජාතික ආණ්ඩු සංකල්පය ඉතාම  හොඳ සංකල්පයක්. ඒත් පාලකයෝ කරපු ලොකුම මෝඩකම තමයි මහින්දගේ තක්කඩි ටිකට  කැබිනට් ඇමතිකම් දීපු එක. ජන්දයක් තියලා මිනිස්සු එපා කියලා ගෙදර යවපු අයව  නැවත ගෙන්නවලා කැබිනට් ඇමතිකම් දීපු එක තමයි මේ සියල්ලටම හේතුව. ඒත් මේ ආණ්ඩුව  රටට බොහෝ දේවල් කළා. ඒත් අර තක්කඩි ටික එක්ක වැඩ කරන්න වුණු නිසා රට ආපස්සට  ගිහින් දූෂක දර්ශකයේ නොම්මර 4ට ශ්‍රී ලංකාව ඇවිල්ලා තියනවා. ඒත් තිබුණු  ආණ්ඩුවට වඩා මේ ආණ්ඩුව හොඳයි කියන මතයේ මම තාමත් ඉන්නවා.  

ප්‍රාදේශීය සභා මැතිවරණයත් පැරදුණු මොහොතක මෙතනින් එහාට ආණ්ඩුව ඉතිරි වසර දෙක ජනතාවට සමීප වෙන්නෙ කොහොම ද? 
ප්‍රදේශීය සභා මැතිවරණය කියන්නේ විශාල පරාජයක් නෙමෙයි. මම හිතන්නේ නැහැ මේ පොඩි ඡන්දවලින් රටක් වෙනස් කරන්න පුළුවන්ය කියලා.  

සමහරු කියනවා රටේ ඔරශ්න විසඳ ගන්නවාට වඩා ප්‍රධාන දේශපාලන පක්ෂ දෙකට ඒ පක්ෂවල ප්‍රශ්න විසඳගන්න වෙලා කියලා. ඒක ඇත්තක් නේද? 
ඒකේ  ඇත්තක් තියනවා. දේශපාලකයන් ජීවිතේ කැප කරන්නේ පක්ෂයේ බලය තහවුරු කරන්න. ඒ  වගේම පක්ෂය තුළ තියන තමන්ගේ තැන ආරක්ෂා කරගන්න. ජනතාවට සේවයක් කරන්න නෙමෙයි  උත්සාහා කරන්නේ. පිල්වලට බෙදිලා බල කඳවුරු ශකතිමත් කරගන්නවා මිසක් ඔවුන්ට  දැන් ඇත්තටම ජනතා සේවය අමතක වෙලා කියලා මමත් හිතනවා.  

මේ විදිහටම 2020ත් එකතු වෙලා යනවා ද? 
දේශපාලන  අනාවැකි කියන්න අමාරුයි. ජනතාව වෙනුවෙන් පෞද්ගලික මතවාද සහ පෞද්ගලික  න්‍යායපත්‍ර අමතක කරලා 2020දි හැමෝම එකතුවෙලා මේ ගමන යනවා නම් ඒකට ජනතාව  කැමති වෙයි. ඒත් මේ සියල්ලටම කලින් මේ දූෂිතයන්ට දඩුවම් දෙන්න වෙනවා.  ඍජුව  හෝ වක්‍රව දූෂිතයන් ආරක්ෂා වී තියනවා. මේවට තමයි ජනතාව කලකිරිලා  තියෙන්නෙ. ආණ්ඩුවේ ප්‍රධාන පොරොන්දුව වුණු හොරු ඇල්ලී කරන තෙක් 2020දි  ගමනක් යන්න බැහැ. පාලකයෝ හොරුත් එක්ක ඩීල් දානවා විතරක්  නෙමෙයි ස්වාමීන් වහන්සේලා ඒ හොරු ටිකට පිණ්ඩපාතේ වඩිනවා.  

දේශපාලනයට ඇවිල්ලා රන්ජන්ට මොනාද හම්බුණේ? 
සතුට.  දේශපාලනයට ඇවිත් මට ලැබුණේ සතුට. ඒවගේම ජනතා ප්‍රසාදය. මට ලැබුණු හැම  දිස්ත්‍රික්කයකින්ම විශාල ජනතා ප්‍රසාදයක් ලැබුණා. ඒ පලාත්වල හිටපු  දේශපාලකයන්ටත් වඩා මිනිස්සු මට ඡන්දය දීලා තිබුණා. මට දේශපාලනයෙන් ලැබුණා නම් ලැබුණේ  ජනතාවගේ ආදරය සහ විශ්වාසයි. 

මාතෘකා