අපි කාගේවත් දිරච්ච ලණු කන්න අවශ්‍ය නැහැ

 ඡායාරූපය:

අපි කාගේවත් දිරච්ච ලණු කන්න අවශ්‍ය නැහැ

විවිධත්වය තුළ වන එකමුතුව කියන්නේ මිනිස්සුන්ගේ ශක්තිය. ඒ එකමුතුව තමයි එකිනෙකා තුළ ගෞරවය ඇති කරන්නේ. නමුත් ඒ ගෞරවය අභිබවමින් බෙදා වෙන්වීමට බලකරන ඇතැම් අඳුරු සෙවණැළි අපි වටා වරින් වර සැරිසරනවා. ආගමිකව හා ජාතිකත්වය මත වූ බෙදා වෙන් කරගැනීම්, සංස්කෘතික අනන්‍යතා පමණක්ය යන්න වැටහුම් වන තුරු සහජීවනයට පර නොපෙනෙනවා ඇති.   
එහෙත් සාතිශය බහුතරයකට බෙදා වෙන් වීමේ අවශ්‍යතාවක් නැහැ. එහෙත් අපි වරින් වර ඊට එරෙහිව යමින් යටිබිම්ගත සතුරු චෛතසිකයන්, සැකයන් එකිනෙකාට ප්‍රදර්ශනය කරගන්නා අයුරු අපි අත්විදිමින් ඉන්නේ. ඉන් කිසිදිනෙක කිසිවක් ජයග්‍රහණය කර නැහැ. ශේෂ වුණේ මකා දැමිය නොහැකි අඳුරු සළකුණු පමණයි. අනාගතය තුළත් තවදුරටත් එවන් අමිහිරි අත්දැකීම් විඳගන්න කිසිම මිනිසෙක් කැමති නැහැ. එපමණටම අපේ සමාජය ඉන් හෙම්බත් වෙලා. මේ නිසාම වචනවලින් ඔබ්බට ගිය බහු ආගමික, බහු සංස්කෘතික සහජීවනය තුළ එකිනෙකා හදවතින් වැළඳගන්නා මොහොතට දැන් ඉතා වේගයෙන් යායුතු වෙයි. ඉතින් අපි සියල්ලෝම එක්වෙමු. එක්ව කතා කරමු. අපි අපි වෙනුවෙන් නොව මේ බිමේ හෙට දවස වෙනුවෙන්. එකී වෑයම වෙනුවෙන් මේ කතා බහ ජාතික සමඟිය සඳහා වූ බාකීර් මාකාර් මධ්‍යස්ථානයේ සභාපති ඉමිතියාස් බාකීර් මාකාර් මහතා සමඟය.


වර්ණයෙන්,ආගමෙන් කතා කරන භාෂාවෙන් එකිනෙකා වෙනස් වුවත් අපි සියලුම දෙනා එකම මිනිස් පවුලේ දරුවන්, ඒත් අපි සංස්කෘතික විවිධත්වය ගැන දැනුවත්ද?  
ලංකාවේ ඉතිහාසය ගත්තත්, ලෝක ඉතිහාසය ගත්තත් ඒ, ඒ සමාජවල මිනිස්සු අතර විවිධත්වයක් තිබෙන්න පුළුවන්. ආගම් අතින්, ජාති අතින්, වර්ණවලින් විවිධත්වයක් තිබුණත් ඒ විවිධත්වය තේරුම් අරගෙන ඊට ගරු කරලා අපි අවබෝධයෙන් ජීවත් වුණේ නැත්නම්, ඒ රටකට ඔලුව උස්සන්න පුළුවන් කමක් නැහැ. දැන් බලන්න අප්‍රිකාවේ රටවල් දිහා, මොනතරම් සම්පත් තිබෙනවාද, ඇයි ඔවුන්ට තාමත් ඔලුව කෙළින් කරගන්න බැරි වෙලා තිබෙන්නේ. ගෝත්‍රික ප්‍රශ්න, වාර්ගික ප්‍රශ්න වලින් ඔවුන්ට ගොඩ එන්න බැරිවෙලා තිබෙනවා. අපේ කලාපයේ රටවල් දිහා බලන්නකෝ, අපි කුඩා කාලේ ඉන්දියාවට කිව්වේ මහා භාරතය කියලා. එත් නිදහස ගන්න වෙලාවේ මුස්ලිම්වරු හා හින්දූන් අතර තිබුණ අනවබෝධය ආයුධයක් කරගෙන අධිරාජ්‍ය වාදීන් රටවල් දෙකක් හැදුවා. එතනින් පාකිස්ථානය නිර්මාණය වුණා. ඊට පස්සේ බංගලිදේශ ජාතිකයන් හා පාකිස්තානුවන් ලෙස දෙකඩ වුණා. ඒ නිසා මම හැම වෙලාවේම කියන දෙයක් තමයි එක් වෙලා හිටියොත් අනාගතයක් තිබෙනවා. බෙදිලා ගියොත් රට සුන් වෙනවා. හැමෝම දන්නවනේ ලතා වල්පොළ ගායනා කරන කරුණාරත්න අබේසේකරගේ සින්දුව. ඇත්තටම අනාගතයක් තිබෙන්නේ අපි එකතු වෙලා වැඩ කළොත් විතරයි. ඒ නිසා මේ විවිධත්වයට ගරු කරන්න වෙනවා. එය තේරුම් ගන්න වෙනවා. මේ විවිධත්වය එක්ක ජීවත් වෙන්න සූදානම් වෙන්න වෙනවා. එහෙම නැතුව භය, සැක, අවිශ්වාසයත් එක්ක අපිට කවදාවත් දිනන්න පුළුවන් කමක් නැහැ.


පොදු සමාජයට බෙදී වෙන්වීමේ අවශ්‍යතාවක් නැහැ නේද?
ගොඩක් ප්‍රශ්න මතු කරන මිනිස්සු ඒ දේවල් කරන්නේ පටු අරමුණු එක්ක. ඉතිහාසය පුරා එය අපි දැක තිබෙනවා. අපි පොඩි කාලේ අපේ ගම්වල තිබුණා සුරුට්ටු කඩ. දැන් කාලේ සුපර් මාර්කට් වගේ තමයි. සින්නයියගේ කඩේ කියලා බේරුවල කඩයක් තිබුණා. ඕන කෙනෙක් යනවා. භේදයක් තිබුණේ නැහැ. ඇත්තටම ලංකාව කියද්දී එතන පොට්ටුව තිබෙනවා, සිවුරක් තිබෙනවා, හිජාබයක් තිබෙනවා, කන්‍යා සොයුරියගේ ඇඳුම තිබෙනවා, ජාතික ඇඳුම තිබෙනවා, ඔසරිය තිබෙනවා. මේ විවිධත්වය තමයි ශ්‍රී ලංකාව කියද්දී එන්න ඕනේ. මට මතක වෙන්නේ නීල් ආම්ස්ට්‍රෝන් හඳට ගිහින් පය තබපු වෙලාවේ එයා පෘථිවිය දිහා බලලා කිව්වා දේ තමයි අපේ ලස්සන මව් බිම පේනවා කියලා. එතැනදී එයා මව් බිම කියලා ඇමරිකාවට කොටු වුණේ නැහැ. එයා කතා කළේ පෘථිවිය ගැන. පුළුල් අර්ථයකින්.
දේවානම්පියතිස්ස රජ්ජුරුවෝ මුව දඩයමේ ගිය වෙලාවේ මිහිඳු මහ රහතන් වහන්සේ වැඩම කළ කතාව අපි අහලා තිබෙනවා. මිහිඳු හාමුදුරුවෝ ඒ වෙලාවේ කියපු දෙයක් තමයි, අහසේ පියාසර කරන පක්ෂියොත්, පොළවේ ජීවත් වන සියලුම ජිවීන්ටත් ජීවත් වෙන්න අයිතියක් තිබෙනවා. ඒ අයිතිය ආරක්ෂා කිරීමේ භාරකාරයා පමණයි ඔබ. මේක තමයි බුද්ධ ධර්මයේ පණිවිඩය. මිනිස් වර්ගයා කියන්නේ එක පවුලක්.ඒ ගැන හිතන්න වෙනවා. නැත්නම් අපි නැතිකර ගන්නේ අපේ අනාගතය.


 සමාජයට වගකියන මිනිස්සු ඒ වගකීම කරට ගෙන සිටිනවාද ?
මම ඔයාලටත් ඇගිල්ල දික් කරනවා. ඒ කියන්නේ මාධ්‍යයටත්. ඉතිහාසයේ මුද්‍රිත මාධ්‍ය, විද්‍යුත් මාධ්‍ය, සමාජ මාධ්‍ය මේ හැම ක්‍ෂෙත්‍රයකම ඒවා මෙහෙයවන අයත් වගකීම ගන්න ඕනේ. ඔවුන් තමන්ගේ වගකීම හරිහැටි ඉටුකරලා තිබෙනවාද? ඒ ප්‍රශ්නය අපි හමුවේ තිබෙනවා. සමහර දෙමළ පත්තර දකිද්දී එය වෙනම ලෝකයක්. ඇතැම් සිංහල පත්තරත් එහෙම තමයි. ඔවුන් අවුළුවන දේවල්වල භයානකකම ඔවුන්වත් තේරුම් ගන්නේ නැහැ. මේක තමයි තිබෙන අවාසනාව. ඒ අය තේරුම් ගන්න ඕනේ. ඒවායේ තිබෙන විපාක. දැන් බලන්න ජනවාරි 08 දේශපාලන පෙරළියක් මේ රටේ සිද්ධ වුණා. මේ පෙරළිය තුළ ආර්ථික ප්‍රශ්නවලට වඩා ප්‍රමුඛතාව තිබුණේ බෙදුම්වාදී චින්තනය පරාජය කිරීමේ අවශ්‍යතාව. බෙදිලා කල්පනා කරලා හරියන්නේ නැහැ, එක ජාතියක් විදිහට කල්පනා කරන්න ඕන කියන දේ එතන තිබුණේ. එය රැල්ලක් වුණා. ඒ රැල්ල අපි ඉදිරියට ගෙනිච්චද? ඒ වගකීම ඉටු කළාද? අපි අපෙන්ම ඇසිය යුතුව තිබෙනවා. අපි මේ කරන්නේ අපි ජීවත් වුණ අවාසනාවන්ත සමාජයම දරුවන්ටත් උරුම කරදීමක්.


හැමදේම දේශපාලනයට තීරණය කරන්න පුළුවන් සමාජයක් ගොඩනැගිලා තිබෙනවා. ඇයි එතැන තිබෙන සටකපටකම් අනාවරණය නොකරන්නේ?
දේශපාලනය විතරක් නෙවෙයි. ආගමික නායකත්වය, මාධ්‍ය හිමිකරුවන්, විනාශකාරී දේවල් කරන සුළුතරය පමණක් නොවෙයි ඒවා හෙළා දැක ඒවාට විරුද්ධ නොවී සිටිනවා නම් ඒ අයත් කරන්නේ බරපතල අපරාධයක්. අපි දේශපාලන වශයෙන් නිවැරදි තීරණ ගත්තු හැම මොහොතකම මේ රටට වාසියක්, හොඳක් වෙලා තිබෙනවා. නිදහස පිළිබඳ ප්‍රශ්නය ගන්නකො. සුදු අධිරාජ්‍යවාදීන් කිව්වේ උඹලා බෙදිලා ඉන්න ජතියක්.උඹලට නිදහස් දෙන්න බැහැ. නිදහස දුන්නොත් උඹලා මරා ගන්නවා කියලා කිව්වේ. සමහරු සුළු ජාතික නායකයෝ පනහට පනහ ඉල්ලුවා. ඩී. එස්. සේනානායක මහත්මය වගේ නිදහස් සටනේ නායකයෝ වගේ අයට විශාල අභියෝගයක් තිබුණේ. සිංහල මහ සභාව, දෙමළ සංගමය, යෝනක සංගමය, හින්දු සංගමය, බර්ගර් ලීගය මේ ඔක්කොම එකතු කරලා එක කොඩියක් යටතට ගත්තා. එදා එක්සත් ජාතික පක්ෂය හදපු වෙලාවේ කියපු දේ තමයි සිංහල ,දෙමළ, මුස්ලිම් අපි එකම ජාතියක්. ශ්‍රී ලාංකික ජාතියට ආශිර්වාද වේවා කියලයි කිව්වේ.
මුස්ලිම්වරු හැටියට අපිට ආඩම්බර වෙන්න පුළුවන් නායකයෙක් තමයි ටී.බී. ජායා මහත්මයා. එතුමා කියපු දෙයක් තමයි මුස්ලිම්වරුන්ට ප්‍රශ්න තිබෙනවා තමයි නිදහසින් පස්සේ අපේ වැඩිමහල් සහෝදරයෝ වගේ ඉන්න සිංහල ජනතාව එක්ක ඒවා කතා කරලා අපිට ඒවා බේරගන්න පුළුවන්. අද අපට නිදහස ප්‍රධානයි. මම ලංකාව පුරා තිබෙන මුස්ලිම් සංවිධාන එක්ක කතා කළා. ඒ හැමෝගෙම එකඟත්වය මත තමයි කියන්නේ කොන්දේසි කිසිවක් දමන්නේ නැහැ. අප්‍රමාදව නිදහස ලබා ගත යුතුයි කියන තැන මේ රටේ මුස්ලිම් ජනතාව ඉන්නවා කියලා එතුමා කිව්වා. හරියට බීකන් පහනක් වගේ. මේ රටේ සුළු ජන කොටස්වලට යන්න ඕන පාර එතුමා එදා කතාවෙන් පෙන්වලා තිබෙනවා. එදා අපි එකතු නොවුනා නම අපිට නිදහස් අගන්න බැරි වෙනවා. ගෝලීයකරණය තුළ අපිට කොටු වෙලා ඉන්න බැහැ.


අන්තවාදයේ හැසිරීම් පාලනය කිරීමට රටේ නීතිය ක්‍රියාත්මක වෙනවාද?
දිගනේ ඇතිවුණ ප්‍රශ්න දිහා බලන්නකෝ. අර මැරුණ තරුණයාගේ නිවාස ආසන්නයේ අය නෙවෙයි ගැටුම හැදුවේ. ඒ සියලු දෙනා පිටින් ආපු අය කියලයි කියන්නේ. සමාජ ජාලාවලින් පණිවිඩයක් දෙනවා මේ වෙලාවට අහවල් තැනට එන්න කියලා. ඔන්න කට්ටිය එනවා. සමාජ ජාලා හරහා විෂ බීජ පතුරුවන අය දවස් 365ම කරන්නේ විෂ බීජ පතුරුවන එක. ප්‍රකෝප කිරීම් කරනවා. අපි මොනවාද ඊට එරෙහිව ගත්ත පියවර. මීට කලින් වුණ දර්ගා නගරයේ සිද්ධිය ගන්න. රැස්වීමක් තිබෙනවා. රැස්වීමෙන් පස්සේ පෙළපාලි යන්න දෙන්න එපා කියලා දේශපාලන නායකයෝ කියනවා. ආගමික නායකයෝ කියනවා. ඒවා නිකන් බීරි අලින්ට වීණා වාදනය කරනවා වගේ වුණා.


ඒ සියල්ල ජනවාරි 08 පෙරළියෙන් වෙනස් වෙයි කියලා ජනාතාව විශ්වාස කළා. ආණ්ඩුව මොකද කළේ?
ඇත්තෙන්ම ජනවාරි 08 පෙරළිය ඇතිවුණේ නීතියේ ආධිපත්‍ය ආරක්ෂා කරන සමාජයක් ගොඩනගන්න. නමුත් දේශපාලන නායකත්වය, ආගමික නායකත්වය, මාධ්‍ය නායකත්වය එහි හිමිකරුවන්, සිවිල් සමාජය මේ හැම පාර්ශවයක්ම තම තමන්ගෙන්ම ඇසිය යුතු වෙනවා අපි අපේ වගකීම ඉටු කළාද කියන කාරණය ගැන. ඇත්තටම තත්ත්වය හරිම අවාසනාවන්තයි.
සහජීවනය, සංහිඳියාව හදන්න වෙනම අමාත්‍යාංශයක් තිබුණා. සංහිඳියා කාර්යාංශයක් හැදුවා. ඒත් ජාතික ප්‍රශ්නයට විසදුම් දෙන්න බැරිව තාමත් නොන්ඩි ගහනවා. දේශපාලන පෙරළියේ ප්‍රථිපල කොහෙද ?
ඒවා සාර්ථක නම් අපි මේ වගේ අවාසනාවන්ත තත්ත්වයන්ට මුහුණ දෙන්නේ නැහැනේ. මම කියන්නේ දේශපාලන නායකයෝ, ආගමික නායකයෝ, මාධ්‍ය හිමිකරුවෝ මේ හැම දෙනාම එක තැනකට එන්න ඕනේ. වචන තුළ පමණක් නෙවෙයි අපේ හැසිරීම තුළත් එය තිබෙන්න ඕනේ. හැමෝම කතා කරන සිංගප්පුරුව ගන්නකෝ. චීන මිනිස්සු මැලේ මිනිස්සු ඇනකොටා ගත්තු තැනක්. නමුත් නිවැරදි නායකත්වයක් ලැබුණා. ලී ක්වාන් යූ. එකම රටක් එකම ජාතියක් කියන තැන ඔහු හිටියේ. මගේ යාළුවෙක් දවසක් කතාවක් කිව්වා. එය සිංගප්පුරු ගුවන්තොටුපළෙන් බැහැලා ටැක්සියක යන්න ඇවිත්. එහේ ටැක්සි රියදුරා ගැන සාමාන්‍ය තොරතුරු ඒ ටැක්සියේ සඳහන් වෙනවා. ඒ නමේ අන්තිම කෑල්ල අහමඩ් කියල තිබිල තිබෙන්නේ. ඉතින් මගේ යාලුවා අහල ඔයා මුස්ලිම්ද කියල. අර රියදුරා කියලා තිබෙන දේ තමයි නෑ නෑ මම සිංගප්පුරු ජාතිකයෙක් කිව්වලු. සිංගප්පුරුවේ මොන ආගමක කෙනෙක්ට වුනත් ඔවුන් තුළ කිඳා බැහැපු දෙයක් තමයි සිංගප්පුරු ජාතිය කියන දේ. අන්න එතනට තමයි අපිත් යා යුත්තේ. වෙළෙඳ වාසි සඳහා දේශපාලන වාසි සඳහා අපි සියලු දෙනාම කාගේවත් දිරච්ච ලණු කන්න අවශ්‍ය නැහැ. දැනටමත් අපි ප්‍රමාදයි. අපේ දරුවන්ට මෙහෙම සමාජයක් භාර දෙන්න අපිට යුතුකමක් නැහැ.

මාතෘකා

ජනප්‍රිය ලිපි