වැලිකඩ සිරකරු ඝාතනය: රංගජීව, එමිල් සහ ජනමාධ්‍ය

 ඡායාරූපය:

වැලිකඩ සිරකරු ඝාතනය: රංගජීව, එමිල් සහ ජනමාධ්‍ය

2012  නොවැම්බර් 9 වැනිදා සහ 10 වැනිදා අලුයම දක්වා වැලිකඩ  බන්ධනාගාරය තුළ සිදුවූ සිරකරුවන් ඝාතනය කිරීමට අදාළව එවකට කොළඹ මැගසින්  බන්ධනාගාරයේ ප්‍රධානියාව සිටි වර්තමාන බන්ධනාගාර පුනරුත්ථාපන කොමසාරිස් ලෙස  කටයුතු කළ එමිල් රංජන් ළමාහේවගේ සහ පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශයේ  පොලිස් පරීක්ෂක මොසෙස් රංගජීව නියෝමාල් ඉකුත් 28 වැනිදා  අත්අඩංගුවට ගන්නා  ලදි. අපරාධ  පරීක්ෂණ දෙපාර්තුමේන්තුව මගින් එලෙස අත්අඩංගුවට ගෙන 29 වැනිදා කොළඹ  මහේස්ත්‍රාත් වෙත ඉදිරිපත් කළ අතර මහේස්ත්‍රාත්වරයා ඔවුන්ව ලබන 10 වැනිදා  දක්වා රිමාන්ඩ් බන්ධනාගාරගත කිරීමට නියෝග කරන ලදි.  28  වැනිදා සවස අපරාධ පරීක්ෂණ දෙපාර්තුමේන්තුව මගින් අත්අඩංගුවට  ගැනීමෙන්  පසුව  ඔවුන් අසනීපයෙන් පෙලෙන බව දන්වා කොළඹ ජාතික රෝහලට ඇතුළත් වී ඇති අතර කොළඹ  අතිරේක මහේස්ත්‍රාත් රංග දිසානායක විසින් සැකකරුවන් සිටි කොළඹ ජාතික රෝහලට  ගොස් පරීක්ෂා කර රිමාන්ඩ් කරන ලෙස මෙලෙස නියෝග කර තිබේ. ඔවුන්   රිමාන්ඩ් කිරීමෙන් පසු  කොළඹ ජාතික රෝහලේ සිට බන්ධනාගාර රෝහලට මාරු කර යවා  ඇති අතර මාධ්‍ය වාර්තා කරන්නේ බන්ධනාගාර ‍රෝහලේ රඳවනවා වෙනුවට ඔවුන්  නිලධාරී විවේක කාමරයේ රඳවා තබා වැඩි පහසුකම් ලබා දී ඇති බවයි.

බන්ධනාගාරගත කිරීමට හේතු

2012 නොවැම්බර් 9 වැනිදා  වැලිකඩ  බන්ධනාගාරයේ වූ නොසන්සුන්තාවය සමතයකට පත්වීමෙන් පසුව සිවිල් ඇඳුමින්  බන්ධනාගාරයට පැමිණ නම් ලැය්ස්තුවකට ගෙන සිරකරුවන් ඝාතනය කළ බවට නියොමාල් රංගජීවට එරෙහිව ඇති චෝදනාවන්ය. එලෙස මරා දැමුණු නිරායුධ  සිරකරුවන් අසලට  පසුව ගිනි අවි ගෙන ගොස් දැමීමත්, 10 වැනිදා උදෑසන 6.30ට පමණ  සිරකරුවෙකු  තෝරාගෙන ගොස් ඔහුව පසුව ඝාතනය කර  තිබීමත් යන චෝදනා එවකට මැගසින් බන්ධනාගාර  අධිකාරී සහ වර්තමාන බන්ධනාගාර පුනරුත්ථාපන කොමසාරිස් ජනරාල්වරයා වන එමිල්  රංජන් ළමාහේවාට එල්ල වී ඇති චෝදනාය.  

නීති කඩමින් බන්ධනාගාරයට

2012  නොවැම්බර් 9 වැනිදා දහවල් පොලිස් විශේෂ කාර්ය බලකා සෙබලුන් ආයුද සන්නද්ධව වැලිකඩ බන්ධනාගාරයට ඇතුළු වී තිබුණේ එම වසරේ ජූලි මාසයේ සිට ආරක්ෂක අමාත්‍යංශය තුළ පැවැති රාජ්‍ය බුද්ධි සමාලෝචන රැස්වීමෙන් පසුව ගත් තීරණයකට අනුවය. බන්ධනාගාරය තුළ සිටින සිරකරුවන් මගින් පිටත සිදුවන අපරාධවලට අනුබල ලැබෙන බවට වූ පූර්ව නිගමනයන්ට අනුව එවකට ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිව සිටි අනුර සේනානායක, හිටපු නියෝජ්‍ය පොලිස්පති චන්ද්‍රා වාකිෂ්ට, මත්ද්‍රව්‍ය  නාශක කාර්යංශය නියෝජනය කරමින් එවක පොලිස්පති එන්.කේ ඉලංගකෝන්, ත්‍රිවිධ  හමුදා ප්‍රධානීන් ඇතුළු හිටපු බන්ධනාගාර කොමසාරිස් ජනරාල් පී.පී.ඩබ්. කොඩිප්පිලි සහ වෙනත් අමාත්‍යංශවල ලේකම්වරුන් සහභාගී වී තිබේ. එහිදී දිගින්  දිගටම අනුර සේනානායක පවසා ඇත්තේ බන්ධනාගාරය තුළින් සිදුවන අපරාධ මෙහෙයවීම්  නතර කිරීම සඳහා බන්ධනාගාරය පරීක්ෂා කළ යුතු බවයි. ඒ අනුව හිටපු ආරක්ෂක  ලේකම්වරයාගේ නියෝග පරිදි වැලිකඩ බන්ධනාගාරය පරික්ෂා කිරීමට තීරණය කර ඇති බව  එම සිදුවීම පිළිබඳව සොයා බැලීමට පත් කළ හිටපු මහාධිකරණ විනිසුරු විමල්  නම්බුවසම්, හිටපු නියෝජ්‍ය පොලිස්පති අශෝක විජේගුණතිලක සහ ජ්‍යෙෂ්ඨ නීතිඥ  එස්.කේ ලියනගේ යන ත්‍රිපුද්ගල  දෙවන කමිටුව හමුවේ සාක්ෂි ලබාදුන් අමාත්‍යංශ  ලේකම්වරු ඇතුළු හිටපු පොලිස්පතිවරයා සාක්ෂි ලබා දී ඇත. ඒ අනුව ආයුද  සන්නද්ධ පොලිස් විශේෂ කාර්ය බළකා නිලධාරීන් 798 දෙනෙකු බන්ධනාගාර ආඥාපනතේ  සඳහන් ආයුද සහිතව බන්ධනාගාරයකට ඇතුළ් වීම ආදී වූ රෙගුලාසි සියල්ල කඩ කරමින්  ඇතුළු වී තිබේ. එමෙන්ම 1979 අංක 15 දරණ අපරාධ නඩු විධාන සංග්‍රහයේ  නියමයන්හි සඳහන් ආකාරයට සෝදිසි වරෙන්තුවක්ද නොමැතිව මෙලෙස ඇතුළු වී තිබේ.  

ගැටුමෙන් පසු ඝාතන

එලෙස  ඇතුළු වූ පිරිස බන්ධනාගාරය සෝදිසි කිරමින් සිරකරුවන්ට පහර දී තිබේ. එමෙන්ම  දණගස්වා ප්ලාස්ටික් මාංචු දමා තිබේ. බන්ධනාගාර ආඥා පනත අනුව එයද  නීත්‍යානුකූල නොවන්නක් වන අතර ජාත්‍යන්තර බන්ධනාගාර ප්‍රඥප්තින් අනුවද  බන්ධනාගාරයක් තුළදී සිරකරුවන්ට මාංචු නොදැමිය යුතුය යන නීතිය නොතකා කටයුතු  සිදු කර තිබේ. එම සිදුවීම් සමඟ ගැටුම්කාරී තත්වයක් ඇති කර ගැනීමට සිරකරුවන්  සහ පොලිස් විශේෂ කාර්ය බළකාය කටයුතු කිරීමත් සමගම බන්ධනාගාරය තුළ කලහකාරී  තත්වයක් මතුව තිබේ. එහිදී වැසුණු සිරකුටි තුළට පොලිස් විශේෂ කාර්ය බලකාය  විසින් දිගින් දිගටම කඳුළු ගෑස් ප්‍රහාර එල්ල කර තිබේ. එහිදී සිරකරුවන්ද ගල් මුල් ප්‍රහාර එල්ලකර ඇති ඇතර තවත් පිරිසක් කුඩා ආයුද ගබඩාව කඩා ගිනිඅවි අතට ගෙන තිබේ. ඒ අතර ගැටුම නතර කිරීමට දෙවතාවක්ම සිරකරුවන් සමඟ  බන්ධනාගාර අධිකාරී ගාමිණී ජයසිංහ  එකඟතාවට පැමිණ තිබුණද ඒ අවස්ථා දෙකේදීම පිටතින් වෙඩි සහ කඳුළු ගෑස් එල්ල වීම නිසා ගැටුම දුරදිග ගොස් තිබේ.  9 වැනිදා දහවල් 14වන සේනාංකාධිපති බ්‍රිගේඩියර් ශාන්ත දිසානායක විසින් ලබා දුන් දුරකථන ඇමතුමක් අනුව ලුතිනන් කර්නල් තනුජ ගොඩේවත්ත බෞද්ධාලෝක මාවතේ  පිහිටි බෘඩි හවුස් යුද හමුදා කඳවුරේ සිට යුද හමුදා කණ්ඩායමක් සමඟ කැම්බල්  පිටියේ රැඳී සිට තිබේ. එසේ කලින් කැඳවා තිබූ යුද හමුදා කන්ඩායම  9 වැනිදා  මධ්‍යම රාත්‍රියේදී බන්ධනාගාරට ඇතුළු වී තිබේ. ඉන් පසුව බන්ධනාගාරය සමතයකට පත්ව ඇති අතර, තැන තැන වැටී තිබුණු ගිනි අවි යුද හමුදාව විසින් එකතු කර  බන්ධනාගාර අවි ගභඩා බාරකරුට නීත්‍යානුකූලව බාර දී තිබේ. එමෙන්ම නැවත සියලුම  සිරකරුවන් පිටතට ගෙන සෝදිසි කර නිරුවතින් එළිමහනේ දණ ගස්වා තිබේ. ඉන් පසුව  සිවිල් ඇඳුමින් බන්ධනාගාරයට පැමිණි පුද්ගලයෙකු විසින් නම් ලැයිස්තුවකට  අනුව කළ ඝාතනයන්ට අදාළව සහ එලෙස ඝාතනයට ලක්වූවන් අසලට ගිනි අවි පසුව  ගෙනගොස් දැමීමේ චෝදනාවන්ට ප්‍රස්තුත රංගජීව සහ එමිල් රංජන්ව වසර පහකට පසුව  මෙලෙස  අත්අඩංගුවට ගෙන ඇත.  

කොණ්ඩ අමිල ඝාතනය

2012  නොවැම්බර් 10 වැනිදා උදෑසන 6 වනවිට  වැලිකඩ බන්ධනාගාරය මුළුමනින්ම පාහේ  සන්සුන්ව ඇත. මධ්‍යම රාත්‍රියේ සිට සෝදිසි  කරමින් හා පහර දෙමින් දණ ගස්වා  සිටි රැඳවියන් එලෙස සිර මැදිරි වලින් පිටත දණ ගස්වා තිබී ඇත. කඳුළු ගෑස්වලින් බේරිමට හා ආරක්ෂාවට  සඟව සිටි පිරිස්ද රංගජීව ඇතුළු යුද හමුදා සෙබලුන් කණ්ඩායම එම පිරිස් ද පිටතට ගෙන පහර දෙමින් දණ ගස්වා ඇත. ඉන්පසුව  පළමුව මාලන්, සැකකරු  මංජු ශ්‍රී සහ කපිලව තෝරගෙන ඝාතනය කළ බවට කමිටුව  හමුවේ ඇසින් දුටු සිරකරුවන් සහ බන්ධනාගාර නිලධාරීන් සාක්ෂි ලබා දී තිබේ.  ඉන්පසුව විජය රෝහණ, සුසන්ත සහ සැකකරුවන් වූ නිර්මල අතපත්තු, කළු තුෂාර යන  අය රංගජීව විසින් සොයාගෙන ගොස් ඝාතනය කළ බවට සාක්ෂිකරුවන් විසින් සාක්ෂි  ලබා දී තිබේ.

එහිදී  වැලිකඩ බන්ධනාගාරයේ නොසිටි උක්කුවා ආදීන්ද සොයා ඇත. බන්ධනාගාර සුබසාධන  කාර්යාලයට කීපවරක් පැමිණ ඇති රංගජීව එහි රැඳී සිටි බන්ධනාගාර  නිලධාරීන්ගෙන්ද විවිධ නම් විමසමින් රංගජීව පුද්ගලයන් සොයා තිබේ. ඒ බවට එම  නිලධාරීන් කමිටුව හමුවේ සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තුමේන්තුව හමුවේ ප්‍රකාශ  ලබා දී ඇත. එදින වූ අවසන් ඝාතනය ලෙස 10 වැනිදා උදෑසන  6ට පමණ බන්ධනාගාර අධිකාරී ගාමිණී ජයසිංහ විසින් තැන තැන දණගස්වා සිටි  සිරකරුවන්ට තමන්ට අයත් කුටි වෙත යන ලෙස දන්වා තිබේ. ඒ අතරතුර එල් වාට්ටුව  ආසන්නයේ දණ ගස්වා සිටි සැක අංක Q21517 යටතේ සිටි මලිත් සමීර හෙවත් කොණ්ඩ අමිල නැගිට තමන්ට අයත් සිර කුටියට යෑමට සූදානම්වත්ම එහි පැමිණි එමිල් රංජන්  ළමාහේවගේ 'ආ අමිල උඹ තවම ඉන්නවද, මම හිතුවේ උඹවත් මරලා' යැයි පවසා අමිලව  වයි.ඕ වාට්ටුව ආසන්නයට රැගෙන ගොස් තිබේ. එම වාට්ටුවේ බොරළු පාර ආසන්නයේ  ඝාතනය වී තිබූ අමිලගේ මෘත ශරීරය පසුව හමුවී තිබූ අතර වැලිකඩ බන්ධනාගාරයේ  අවසන් වරට ඇසුණු වෙඩි හඬ ඇසී තිබුණේද අමිල එලෙස රැගෙන යෑමෙන් පසුව බව  කමිටුව හමුවේ සාක්ෂි දුන් සියල්ල ප්‍රකාශ කර තිබේ.  

අමිලගෙන් එමිල්ට පැමිණිලි

මලිත් සමීර හෙවත් කොණ්ඩ අමිලට එරෙහිව මත්ද්‍රව්‍ය චෝදනා ගණනාවක් තිබූ අතර සිල්වා පාර, කළුබෝවිල, දෙහිවල පදිංචි ඔහුට විරුද්ධව ගල්කිස්ස මහේස්ත්‍රාත්  අධිකරණයේ බී/1249/11 යටතේ මත්ද්‍රව්‍ය සම්බන්ධ නඩුවක් තිබූ අතර සැක අංක  3419 යටතේ ඔහුව  මැගසින් බන්ධනාගාරගත කර තිබී ඇත. 2012 ජනවාරි 24 වැනිදා  මැගසින් බන්ධනාගාරය තුළ සිදු වූ ගැටුමක් හේතුවෙන් ඔහුව බන්ධනාගාර උසාවියෙන්  වැරදිකරු කර දින 50කට වැලිකඩට මාරු කර එවා තිබී ඇත. කුප්‍රකට වෙලේ සුදා  සමග  මත්ද්‍රව්‍ය ජාවරම් කිරීම සම්බන්ධ චෝදනා තිබූ අමිලගේ කළුබෝවිල පිහිටි  මූල්‍ය ආයතනයක් විවෘත කිරීම සඳහා එවකට ආරක්ෂක අමාත්‍යංශයේ අධීක්ෂණය මංත්‍රීව සිටි දුමින්ද සිල්වා පැමිණ තිබූ අතර ඔහුගේ ජන්ද ව්‍යාපාරවලටද අමිල ඍජුව උදව් කළ බව එකල මාධ්‍ය වාර්තා කරන ලදී. කෙසේ වෙතත් අමිල එමිල් රංජන්ට  එරෙහිව මානව හිමිකම් පැමිණිලි කීපයක් යොමු කර තිබූ අයෙකි. ඔහුගේ මව වන බී.  ටී. ඩී ජයවීර විසින් HRC/1841/2012  යටතේ එලෙස එක් පැමිණිල්ලක් ඉදිරිපත්  කර තිබී ඇත. එම පැමිණිල්ල අනුව එමිල් රංජන්ට 2012 නොවැම්බර් 1 වැනිදා මානව  හිමිකම් කොමිසමේ පෙනී සිටින ලෙස දන්වා තිබී ඇති අතර ඔහු එයට සාක්ෂි දීම  ප්‍රතික්ෂේප කර ඇත. කෙසේවෙතත් අමිල 10 වැනිදා අලුයම 1 සිය මවටද දුරකථන  ඇමතුමක් දී තමන් හොඳින් සිටින බවත්, බන්ධනාගාරය සන්සුන් බවත් ප්‍රකාශ කර  තිබේ. ඔහුගේ පෙම්වතියටද වීඩියෝ ඇමතුමක් ගෙන එය පවසා තිබී ඇති බවට කමිටුව  හමුවේ සාක්ෂි ලබා දෙමින් ඔවුන් පවසා ඇත. එලෙස අලුම 1ට කතා කළ අමිල උදෑසන  6.30වන විට ඝාතනය වී ඇති අතර ඔහු අසළට මන්නා පිහියක් දමා තිබී ඇත.

මෘත ශරීර අසලට ගිනි අවි

බන්ධනාගාරය  තුළින් එකතු කරගත් ගිනි අවි 28ක් යුද හමුදා සැරයන් පී.බී.එස් තෙන්නකෝන්  විසින් එකතු කර බන්ධනාගාරය ඉදිරිපස ඇති අවි ගභඩාව ආසන්නයට රැගෙන ගොස්  බන්ධනාගාර අවි ගභඩා බාර නිලධාරී පී.එල්.ඩ්බ්. නානයක්කාර වෙත ගිනි අවිවල අංක  සහ වර්ගය සටහන් ලිඛිත ලේඛනයක් මගින් නීත්‍යානුකූලව බාර දී තිබේ. එහි  බන්ධනාගාර ප්‍රධාන ජේලර්වරයා ලෙස කටයුතු කළ පී.ඩබ්. කුඩාබන්ඩාර සහ තවත්  නිලධාරීන් සාක්ෂි ලෙස හිඳ තිබේ. එලෙස යුද හමුදාව මගින් බන්ධනාගාරය වෙත බාර  දුන් ටී 56 සහ ටී 58 වර්ගයේ ගිනි අවි සහ උපකරණ අතරින් ගිනි අවි 4ක් පසුව  පැමිණි බන්ධනාගාර කොමසාරිස් ජනරාල් සහ මැගසින් බන්ධනාගාර අධිකාරී එමිල්  රංජන් විසින් ඉල්ලා තිබේ. බල කිරීමෙන් පසුව ගිනි අවි 4ක් අවි ගභඩා බාරකරු  විසින් ලියාපදිංචි අංක සටහන් කරගනිමින් ලබා දී තිබේ. ඒ අනුව තවත් නිලධාරීන්  දෙදෙනෙකු ඉදිරියේදී ලියාපදිංචි අංක 21534010,21532857, 21533278 සහ  21558631 යන ගිනි අවි කොඩිප්පිලි සහ  එමිල් රංජන් විසින් ලබාගෙන රැගෙන ගොස්  ඇත.

සිරකරුවන් අසල ගිනි අවි

බන්ධනාගාර  නිල ජායාරූප ශිල්පී නිරාජ් ගුණවර්ධන විසින් උදෑසන 7.47 ට මිය ගිය  සිරකරුවන්ගේ මෘත ශරීරවල ජායාරූප ලබාගෙන තිබේ.  එම ජායාරූපවල මිය ගොස් සිටි  රැඳවියන් අසල කිසිඳු ගිනි අවියක් තිබී නොමැති අතර පසුව දහවල් 1.44ට  මහේස්ත්‍රාත්වරිය පැමිණ පරීක්ෂා කරන විට ලබා ගත් ජායාරූපවල ගිනි අවි තිබී  ඇත. බන්ධනාගාර නිල ජායාරූප ශිල්පී නිරාජ් ගුණවර්ධන ලබාගෙන තිබූ ජායාරූප අංක  8881,8882,9118, සහ 9119 යන නිල ජායාරූප කමිටුව හමුවේ සාක්ෂි වශයෙන් ලබා  දී තිබේ.  අංක 21534010 දරණ ටී 56 ගිනි අවිය මාලන් හා මංජු ශ්‍රී අසලත්,  21532857 අවිය විජය රෝහණ අසලත්, 21533278 අවිය නිර්මල අතපත්තු අසලත් එලෙස  පසුව දමා තිබී ඇති අතර, 21558631 දරණ ගිනි අවිය කළු තුෂාර අසලත් දමා තිබී  ඇත.

රස පරීක්ෂණ වාර්තා

රජයේ  රසපරීක්ෂක ඇතුළු රජයේ ගිනි අවි විශේෂඥයන් වන ඩබ්.ඩී.ජී.එස් ගුණතිලක, පී.ජී  මඩවෙල සහ ඩබ්.එම්.එස් රත්නායක කමිටුව හමුවේ විශේෂඥ සාක්ෂි ලබා දී තිබේ.  රජයේ ඇඟිලි සලකුණු රෙජිස්ට්‍රාර් සහ සහකාර රෙජිස්ට්‍රාවරු වන  ප්‍රධාන  පොලිස් පරීක්ෂක සේනක කළුආරච්චි, උප පොලිස් පරීක්ෂක ජයන්ත දිසානායක  සමරවික්‍රම සාක්ෂි ලබා දී තිබේ. අධිකරණය විශේෂඥ වෛද්‍ය මන්ඩලය ලෙස කොළඹ  ප්‍රධාන අධිකරණය වෛද්‍ය අජිත් තෙන්නකෝන්, වෛද්‍ය  එච්.ඩී.සී.පී අප්පුහාමි,   වෛද්‍ය ජේ.සී සමරවීර, වෛද්‍ය ප්‍රසන්න බී. දසනායක, වෛද්‍ය ඩී.අයි ලාලිනී  රත්නායක, වෛද්‍ය මොහොමඩ් එන්. අබ්දුල් හක්, වෛද්‍ය ඩබ්.එම්.කේ.බී විජේතුංග, වෛද්‍ය එම්.ජී.එස්.ආර් මහගමගේ සහ වෛද්‍ය මොහොමඩ් රොෂාන් ඕ. සුෆියන් යන  මණ්ඩලය අධිකරණ වෛද්‍ය විශේෂඥ සාක්ෂි ලබාදී ඇත. එහිදී ගිනි අවි විශේෂඥයන්  සිය වාර්තාවේ සඳහන් කර ඇත්තේ ත්‍රස්ථවාදී කඳවුරකට එල්ල කරන ලද ආකාරයේ  අනවශ්‍ය ගිනි බලයක් බන්ධනාගාරය වෙත එදින එල්ල කර ඇති බවයි. එමෙන්ම මෘත ශරීර  ආසන්නයේ තිබූ ගිනි අවි භාවිතා නොකළ ඒවා බවද සිය වාර්තාවෙන් සාක්ෂි දී ඇත.  ඇගිලි සලකුණු රෙජිස්ට්‍රාර්වරු සිය සාක්ෂි ලබාදෙමින් එම ගිනි අවිවල මිය ගිය  සිරකරුවන්ගේ ඇඟිලි සලකුණු සටහන් නොවන බවත්, මිය ගිය රැඳවියන්ගේ අත්ලවලින්  ලබාගත් පුළුන් කැටිති පරීක්ෂණ අනුව ඔවුන්ගේ අත්ලවල වෙඩි බෙහෙත් නොතිබූ  බවටත් තහවුරු කර ඇත. අධිකරණ වෛද්‍ය නිලධාරී මණ්ඩලය සිය සාක්ෂි මගින් තහවුරු  කර ඇත්තේ මිය ගිය රැඳවියන්ට අඟල් 6ත් 12ත් අතර දුරකින් වෙඩි තබා ඇති  බවයි. එමෙන්ම එම රැඳවියන් ඝාතනය වී තිබූ පිටුපස බිත්ති මත තිබූ වෙඩි උන්ඩ සලකුණු අනුව එය මනුෂ්‍ය ශරීරයකින් අඩකට ආසන්න උසකින් යුක්තවීම අනුව ඔවුන්  දණගස්වා හෝ බිම වාඩි කර ළඟ සිට තැබූ වෙඩි ප්‍රහාර බවට සාක්ෂි ලබා දී තිබේ.

මෙරිල් රංජන්

එමිල් රංජන් ඉදිරියෙන් සිරකරුවන් නම් ලැයිස්තුවකට රැගෙන යන විටත්, මලිත් සමීර  වැන්නවුන් තෝරාගෙන යන්නත්, පසුව එම ඝාතන වෙඩි තැබීම් අතරතුර සිදු වූ බව  පෙන්වීමට ගිනි අවි අලසට දැමූ බවට සාක්ෂි ලබා දී ඇත්තේ සිරකරුවන්ම පමණක්  නොවේ. රජයේ නිලධාරීන් සහ අධිකරණ වෛද්‍ය නිලධාරීන් සියල්ල ඒ බව තහවුරු කර  තිබේ. එමිල් රංජන්ගේ බාල සහෝදරයාද මීට පෙර චෝදනා කිහිපයක් ලද, එමෙන්ම  පසුගිය පාලනයෙන් විවිධ වරප්‍රසාද ලද්දෙකි. ඊට දඬුවම්ද ලද්දෙකි. භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර ඝාතන නඩුවේ තොරතුරු වසන් කිරීම සහ ඇවන්ඩ් ගාඩ් නඩුවේ අපරාධ පරීක්ෂණ තොරතුරු විත්ති පාර්ශ්වයට ලබා දීමේ සැකය මත අපරාධ පරීක්ෂණ දෙපාර්තුමේන්තුවේ මෙරිල් රංජන් ළමාහේවගේට ස්ථාන මාරුවක් ලබා දී තිබුණේ 2016 සැප්තැම්බර් මස අවසාන භාගයේ දීය.ඔහුට පොලිස් ඉතිහාසයේ කවරදාකවත් නොවූ අයුරින් හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂගේ අත්සනින් උසස් වීමක් ලබා දී තිබුණේ 2010 වසරේ අප්‍රේල් 12වැනිදාය. POI /66/05/10 යොමු අංකය යටතේ ආරක්ෂක ලේකම්වරයා පොලිස්පතිට ලිපියක් මඟින් දන්වා තිබුණේ ළමාහේවගේ 2001 වසරේ අප්‍රේල් 1වැනිදා සිට ප්‍රධාන පොලිස් පරීක්ෂක ධුරයට උසස් කරන ලෙසය. ඔහුගේ සොහොයුරා වන එමිල් රංජන් ළමාහේවගේ වැලිකඩ බන්ධනාගරයේ 2012 නොවැම්බර් 09 වැනි දින සිදු වූ ඝාතන 27 සිදු වන අවස්ථාවේ මැගසින් බන්ධනාගාරයේ සිටි අධිකාරීවරයාය. මේ සියල්ලෝම එවකට සිටි ආරක්ෂක ලේකම්වරයාගේ සමීපතමයන් බව නීති ක්ෂේත්‍රයේ සියල්ලෝම දනිති.  

රංගජීව, එමිල් සහ ජනමාධ්‍ය

මේ වන විට රංගජීව සහ එමිල් රංජන් සුද්ද කරමින් ජනමාධ්‍ය කීපයක් පෑන ඔසවමින් තිබේ. වැලිකඩ ඝාතන සිදුවීම සොයන්නේ එන්ජීඕ වුවමණාවට බවත්, කුඩු ඇල්ලූ නිලධාරීන් බන්ධනාගාර ගත කරමින් මෙම ආණ්ඩුව සහ පාතාල කුඩු ජාවාරම්කරුවන් ‍රණවිරුවන් හිරේ දමන බවත් පිටු පුරා ලියති. එක්තරා පුවත්පතක කර්තෘ වැකිය ලියා තිබුණේ රංගජීවලා හිරේ දමන අයට බක් මහ අකුණු වැදිය හැකි බවයි. එමෙන්ම මෙම නිලධාරීන් රිමාන්ඩ් කිරීමට සාක්ෂි ලබා දී ඇත්තේ මහා කුඩු ජාවාරම්කරුවන් බවයි. අසන්නට ඇත්තේ එම මහා කුඩු ජාවාරම්කරුවන් රජයේ රසපරීක්ෂකවරු, අධිකරණය වෛද්‍ය මන්ඩලය සහ රණවිරුවන් යැයි නිතර ඔවුන්ම කියවන යුද හමුදා සෙබලුන් හා පොලිස් නිලධාරීන් ඇතුළු බන්ධනාගාර නිලධාරීන් ද යන්නයි. නීතිය අනුව වරදකරුවන් වූ පුද්ගලයන් හා නීතියෙන් වරදකරුවන් නොවූ සැකකරුවන් ලැයිස්තුගත කර ඝාතනය කිරීම නීත්‍යානුකූල කිරීමට මෙලෙස අසත්‍ය වපුරන්නේ නීතියේ ආධිපත්‍ය වෙනුවෙන් කටයුතු කළ යුතු හතරවන ආණ්ඩුව ලෙස සලකන ජනමාධ්‍ය නම් මේ රට පිළිබඳව තවදුරටත් විශ්වාසය තැබීම මහජනතාවට යහපත් නොවනු ඇත. කල් ගතව හෝ වැලිකඩදී ඝාතනය වූවන්ට යුක්තියේ පරීක්ෂණ ආරම්භ වීම යහපත්ය. නැතහොත් පාලකයන්ට කැමති කැමති පරිදි ඕනෑම අයෙකුව මෙලෙසම ඝාතනය කරනු ඇත. අපරාධ සිදුකර ඊට විනිර්මුක්තිය ඉල්ලා සිටිනු ඇත. රංගජීවලා කුඩු ඇල්ලූ බව ඇත්තය. අපරාධකරුවන් හිරේ යැවූ බවද ඇත්තය. එමිල් රංජන්ලා සිරකරුවන් බලා ගත්තා සේම ඔවුන්ට පහර දී වධ දුන් බවද ඇත්තය. නමුත් ඒ කිසිවක් මිනී මැරීමට ලයිසන් හිමි වීමක් නොවේ. තවදුරටත් කිව යුත්තේ මහජන බදු මුදලින් නිල ඇඳුම් අඳිමින්, ඒ මුදලින්ම වැටුප් ලබමින්, නිල ගිනි අවිවලින් මැරුම් කෑමට මහජනතාව තවදුරටත් හිත හදා ගන්නවාද නොමැති නම් නීතියේ ආධිපත්‍ය වෙනුවෙන් හඬ නගනවාද යන්න දැන්වත් සිතිය යුතුය. එමෙන්ම රාජ්‍ය නිලධාරීන් සිහිතබා ගත යුත්තේ ඉහළ දේශපාලන අණට අපරාධ සිදු කළද දිනෙක ඊට වන්ඳි ගෙවීමට සිදුවනු ඇති බවයි.

මලිත් මගේ පුතා : බී. ටී. ඩී. ජයවීර

"මැගසින් බන්ධනාගාරයේ එමිල් රංජනුයි නාකොටික්ස් එකේ රංගජීවයි මගේ පුතා එක්ක තරහෙන් හිටියේ. 9 වැනිදා රෑත් පුතා කතා කළා. සුදු අම්මේ මම කොහේවත් යන්නේ නැහැ. මම ඉන්නේ සෙල් එකට වෙලා. දැන් කට්ටිය ඇවිත් චෙක් කරනවා කිව්වා. රෑ 10ට කතා කරලා සුදු අම්මේ මම හොඳින් ඉන්නවා කිව්වා. මගේ පුතාව මරලා තිබුණේ උදේ 6කුත් ගාණකට. රංගජීව ඇවිල්ලා පුතාගෙන් කටඋත්තරයක් ගන්න ඕනේ කියලා එක්කන් ගිහින් පුතාව මරලා තිබුණේ කට ඇතුළට වෙඩි තියලා. පිටිපස්සෙන් ඔලුවයි, මූණයි කඩන් ගිහින් තිබුණා මූනිස්සම්වලට. පුතාගේ අත කඩලා තිබුණා. ඒ තරම් අශිෂ්ට විදියට මගේ පුතාව ඝාතනය කරලා තිබුණේ. අපි මෙතනට ආවේ වෙන කිසිම දේකට නෙවෙයි. මේවා කරන්න අණ දුන්නු අයව නීතිය ඉදිරියට ගේන්න කියන්නයි ආවේ. මේ මිනීමරුවන්ට මොනවා හෝ දඬුවමක් දෙන්න කියලා ඉල්ලන්නයි හැමදාම මේ එන්නේ. තාමත් මේ ඝාතනවලට සාධාරණයක් ඉටුවෙලා නෑ. ලක්ෂ 20ක් වන්දි දෙනවා කියලා තියෙනවා. ඒවා ගැන විශ්වාසයකුත් නෑ. අපට ඒවා අවශ්‍යත් නෑ. අපට ඕනෑ මේ ඝාතනවලට යුක්තිය අධිකරණය මාර්ගයෙන් ඉටු කරවා ගන්න. අපි එමිල් රංජන්ට විරුද්ධව මානව හිමිකම් එකේ නඩුවක් දාලා තිබුණා. පුතාව මැරුවට පස්සේ එයා ඒකෙන් බේරිලා ගියා. මම ඕනෑ තැනක කියනවා එමිල් රංජනුයි, රංගජීවයි එකතු වෙලා මගේ පුතාව මැරුවේ. මැගසින් එකේ ඉද්දිත් මගේ පුතාට එමිල් රංජන් පොඩිපහේ වදයක් නෙවෙයි දුන්නේ."

මාතෘකා

ජනප්‍රිය ලිපි