ගමේ ආර්ථිකය පොහොසත් වූ විට රටේ ආර්ථිකය පොහොසත් වෙනවා

 ඡායාරූපය:

ගමේ ආර්ථිකය පොහොසත් වූ විට රටේ ආර්ථිකය පොහොසත් වෙනවා

- අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ

ගමේ ආර්ථිකය පොහොසත් වූ විට රටේ ආර්ථිකය පොහොසත් වෙනවා. එම නිසා ගමේ ආර්ථිකය පොහොසත් කිරීම වෙනුවෙන් මෙම කෘෂිකර්මාන්තය නවීකරණය කිරීමේ වැඩසටහන ආරම්භ කර තිබෙනවා” යැයි අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි. අගමැතිවරයා මේ බව පැවසුවේ පෙරේදා (15) බත්තරමුල්ල වෝටර්ස් එජ් හෝටලයේ පැවති කෘෂිකාර්මික නව්‍යකරණ ලෝක බැංකු ව්‍යාපෘතියේ ගිවිසුම් අත්සන් කිරීමේ ව්‍යාපෘතියට එක්වෙමිනි. එහිදී අග්‍රාමාත්‍යවරයා වැඩිදුරටත් මෙසේද කීය.

“අද ග්‍රාමීය ආර්ථිකයේ ඇතැම් ගැටලු ඇති වී තිබෙනවා. තරුණ කොට්ඨාසය කෘෂිකර්මයෙන් ඈත්වී තිබෙනවා. එවිට කෘෂි නිෂ්පාදනය පහත බසිනවා. එම තත්ත්වය වෙනස් කරමින් ලෝක කෘෂිකර්මාන්තයේ වෙනස්වීම් ශ්‍රී ලංකාවට ගෙන්වා ගැනීම හරහා කෘෂි කර්මාන්තය නවීකරණය කිරීමටයි අපි කටයුතු කරන්නේ. ලෝක බැංකුව සමඟ මෙම වැඩසටහන ඉදිරියට ගෙන යෑමට අප සැලැසුම් කර තිබෙනවා. ඇමරිකාව, චීනය, තායිලන්තය වැනි රටවලද කෘෂිකර්මාන්තය නවීකරණය වී තිබෙනවා. කෘෂිකර්මාන්තය නවීකරණය හරහා කෘෂි නිෂ්පාදනය ඉහළ යනවා. එවිට අගය වැඩි වෙනවා. ඒ හරහා කෘෂිකර්මාන්තයෙන් ලැබෙන ආදායමේ වටිනාකම ආරක්‍ෂා වෙනවා. දකුණු ආසියාව තුළ මෙම තත්ත්වය තවමත් ඇති වී නැහැ. නමුත් ශ්‍රී ලංකාවේ ජනතාවගේ ආදායම ඉහළ දැමීමේ එක් වැඩසටහනක් ලෙස අප මෙම කෘෂිකර්මාන්ත නවීකරණ වැඩසටහන ආරම්භ කළා.

කෘෂිකර්මාන්ත, ධීවර ක්ෂේත්‍රවලින් ලැබෙන ආදායම වැඩි කර ගැනීමට අපි කටයුතු කළ යුතුයි. මෙම වැඩසටහන සහ බැංකුවලින් ණය දීමේ ව්‍යාපෘති ක්‍රියාත්මක වූ පසු අපගේ අරමුණ වන කෘෂි නිෂ්පාදනය සහ අගය වැඩි කර ගැනීම සිදුකළ හැකියි. එවිට කෘෂිකර්මාන්තයේත්, ග්‍රාමීය අංශයේත් ආදායම ඉහළ යනවා. රටේ ආර්ථිකය ඉදිරියට ගෙන යාමට නම් ග්‍රාමීය ආර්ථිකය ශක්තිමත් කළ යුතුයි. අප වැඩකටයුතු කරන්නේ එම පරමාර්ථ ඇතිවයි. ශ්‍රී ලංකාවේ අපනයන සහ විදේශ ආයෝජන ඉහළ යෑම එහි ප්‍රතිඵලයක් ලෙස හැදින්විය හැකියි. ශ්‍රී ලංකාවේ වැඩිම අපනයනයක් වාර්තා වුණේ 2017 වසරේදීයි. වැඩිම විදේශ ආයෝජන ප්‍රමාණයක් රටට පැමිණියේ 2017 වසරේදීයි. නමුත් අප ඉන් සැහීමකට පත් වන්නේ නැහැ. අප රටේ ආර්ථිකය ඉදිරියට ගෙන යා යුතුයි. 2015 අප ආණ්ඩුව භාරගත් අවස්ථාවේ මෙතරම් විශාල වැඩ ප්‍රමාණයක් සිදුකිරීමට හැකි දැයි ඇතැම් පිරිස් විමසුවා. ඒ වනවිට රටට ලබාගෙන තිබූ ණයවල පොලිය ගෙවීමටවත් හැකියාවක් තිබුණේ නැහැ. නමුත් අද වන විට එම ණයත් පොලී මුදලුත් ගෙවීමට හැකියාව ලැබී තිබෙනවා. ණය කෙතරම් ප්‍රමාණයක් තිබුණත් අවශ්‍ය මුදල් යොදවමින් අප එය කළමනාකරණය කර තිබෙනවා. ඉදිරි වසර කිහිපය තුළදී මේ රටේ නිෂ්පාදන ඉහළ දමමින් ණය බර අඩු කිරීමට අපි පියවර ගන්නවා. දැනට ණය වශයෙන් එක් වසරකට ඩොලර් මිලියන 2500 ක් පමණ ගෙවීමට අපට සිදුවී තිබෙනවා. අප රටේ ආර්ථිකය ඉදිරියට ගෙන යන්නේ එවැනි තත්ත්වයක් මතයි. ඒ වගේම රටේ අපනයනය වැඩි කරමින් ආයෝජන ඉහළ දැමීමට අපට හැකියාව ලැබී තිබෙනවා. නාගරික කර්මාන්තකරණය සහ සේවා අංශය දියුණු වන විට ගම්මානවල තරුණ පිරිස නගරය වෙත පැමිණීම නැවැත්විය නොහැකියි. එම නිසා ගමේ ආර්ථිකයත් දියුණු කිරීමට අපට සිදුව තිබෙනවා. එහි එක් පියවරක් ලෙස මෙම අගය වැඩි කිරීමේ වැඩසටහන හඳුන්වා දිය හැකියි.

ඉඩම් ඔප්පු නැති පිරිසට ඔප්පු ලබාදීමේ වැඩසටහන අප ආරම්භ කර තිබෙනවා. එවිට අයිතියත්, ආදායමත් යන දෙකම ජනතාවට හිමි වනවා. ඒ තුළින් ගමේ ආර්ථිකය ශක්තිමත් කර ගෙන අපට ඉදිරියට යාමට හැකියාව ලැබෙනවා. පසුගිය වසරේ රටේ කෘෂිකර්මාන්තය ගංවතුර සහ නියඟය හමුවේ විශාල බලපෑමකට ලක් වුණා. නමුත් අපේ ආර්ථිකය කඩා වැටුණේ නැහැ. රටේ ආර්ථිකය ඉදිරියට ගෙන යෑමට අපට හැකි වුණා. මේ වැඩසටහන හරහා බලාපොරොත්තු වන්නේ එම ශක්තිය තවත් වැඩිකර ගැනීමටයි. දයා ගමගේ ඇමැතිතුමාගේ අමාත්‍යංශයට කෘෂිකර්මය සම්බන්ධ වුණත් අප එය ප්‍රාථමික කර්මාන්ත අමාත්‍යංශය ලෙස හැදින්වූවා. කෘෂි භෝගවල අගය වැඩි කරමින් කෘෂිකර්මාන්තය සංවර්ධනය කිරීමට එම අමාත්‍යංශය හරහා හැකි වීම ඊට හේතුවයි. ඒ සඳහා කෘෂිකර්මාන්තයත්, කර්මාන්තකරණයත් අගය වැඩිකිරීම පිළිබඳව දැනුම ඇති පුද්ගලයකු ලෙස අපි එතුමාට එය භාරදුන්නා. මෙය රට වෙනුවෙන් සිදු කරන විශාල කාර්යයක්. ඉදිරි දශකය තුළ මේ හරහා විශාල වෙනසක් ඇති වෙනවා. අපනයනය හා විදේශ ආයෝජන වැඩි කිරීමෙන් පමණක් අප සෑහීමකට පත් වන්නේ නැහැ. අපේ රටේ විදේශ විනිමය දෙගුණයකින් තුන් ගුණයකින් වැඩි කර ගත යුතුයි. විදේශ ආයෝජන, අපනයන ආදියත් ඒ ආකාරයෙන්ම වර්ධනය කර ගත යුතුයි. මේ රටේ දුප්පත්කම තුරන් කරමින් ශක්තිමත් ආර්ථිකයක් නිර්මාණය කිරීමට හැකි වන්නේ ඒ හරහායි. ඒ වෙනුවෙන් දයා ගමගේ ඇමැතිතුමාත්, අමාත්‍යාංශයත් සිදු කරන සේවය මම අගය කරනවා.”

[නිමාෂා සඳරුවනි]

මාතෘකා