දෙවැනි වතාවටත් මේ මිනිස්සු මරා දමන්න එපා : සන්ධ්‍යා එක්නැලිගොඩ | ඇස පාදන රැස


දෙවැනි වතාවටත් මේ මිනිස්සු මරා දමන්න එපා : සන්ධ්‍යා එක්නැලිගොඩ

 ඡායාරූපය:

දෙවැනි වතාවටත් මේ මිනිස්සු මරා දමන්න එපා : සන්ධ්‍යා එක්නැලිගොඩ

මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩ අතුරුදන් කර මෙම ජනවාරි 24 දිනට වසර අටක් සපිරේ. 2010 ජනවාරි 24 ප්‍රගීත් එක්නැලිගොඩ අතුරුදන් කිරීම පිළිබඳ නඩුවෙහි පරීක්ෂණයට අදාළ ලිපි ගොනු අතුරුදන් කළ නිලධාරීන් සම්බන්ධ තොරතුරු හමුදාපතිවරයා රහස් පොලිසිය මාර්ගයෙන් අධිකරණයට ඉදිරිපත් නොකිරීම යුක්තිය ඉටු නොවීමට හේතුවක් වී ඇත. පසුගිය ආණ්ඩුවෙන් යුක්තියක් ඉටු නොවුණද මෙම ආණ්ඩුවෙන් යම් සාධාරණයක් ඉටු වේයැයි තබාගෙන ඇති බලාපොරොත්තු ද මේ වන විට බොඳවෙමින් පවතී. මෙම අතුරුදන්වීම සම්බන්ධයෙන් තවමත් යුක්තිය ඉටු නොවීම පිළිබඳ ප්‍රගීත්ගේ බිරිඳවන සන්ධ්‍යා එක්නැලිගොඩ ‘රැසට’ අදහස් දැක්වූවාය.  

මේ වෙද්දි නඩුවේ තත්ත්වය කොහොමද?
741710 අංකය දරන නඩුව ජනවාරි 16 වැනිදා විභාගයට ගැනුණා. ඒත් සුපුරුදු ආකාරයටම හමුදාව විසින් තොරතුරු ලබාදීමක් සිදු වුණේ නැහැ. ඒ නිසා නඩුව සති තුනකට කල් ගියා. ඊළඟ නඩු දවස පෙබරවාරි හය වැනිදායි (06).  

යුක්තිය ප්‍රමාද ඇයි?  
ඒක මං රජයෙන් අහන්න ඕන ප්‍රශ්නයක්. මේ නඩුව ඇදි ඇදී යනවා. දැනට අවුරුදු 08ක් වෙනවා. හැමෝම කාට හරි වගකීම පවරනවා. අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව කියන්නේ හමුදාව තොරතුරු දුන්නොත් මාස 02කින් පරීක්ෂණ අවසන් කරනවා කියලා. ඒත් හමුදාව තොරතුරු දීමක් කරන්නේ නැහැ.  

මේ ආණ්ඩුවෙන් සාධාරණයක් වෙන්නෙ නැද්ද?  
පහුගිය වර්ෂයේ ජනවාරි මාසේ මම ජනාධිපතිතුමාට සහ අගමැතිතුමාට පුද්ගලිකව මේ පිළිබඳ ලිපියක් වෙන වෙනම භාර දුන්නා. "මේ මගේ අවසාන ලිපිය" කියලා ඒ ලිපිය මම යොමු කළේ. එදා මට සාධාරණයක් කරනවා කියලා පොරොන්දු වුණා. ඒත් අදටත් පිළිතුරක් නැහැ.  

දැන් ආණ්ඩුවේ ඉන්න බොහෝ අය විපක්ෂයේ ඉද්දි යුක්තිය ඉටු කරන්න දීපු පොරොන්දු ගැන මොකද හිතන්නේ?  
දැන් ඇමතිවරු වෙලා ඉන්න අය අපට දුරයි.   

දේශපාලනමය උදවු ලබාගැනීම අත්හැරලා ද තියෙන්නේ?  
නැහැ. උදවු දෙනවා නම් අපි උදවු බලාපොරොත්තු වෙනවා. ඒත් දැන් අපි හෙම්බත් වෙලා.  

රජයෙන් ඉල්ලන්න දෙයක් තියෙනවාද?  
මං ඉල්ලන්නේ අඩුම ගානේ පරීක්ෂණ අවසන් කරන්න හරි රාජ්‍ය මැදිහත්වීම ලබාදෙන්න කියලා. ව්‍යවස්ථාදායකය අපරාධකරුවන් වෙනුවෙන් පෙනී සිටිනවා. ඒත් රජයක වගකීම තමයි ඒ අපරාධය හොයන්න උදවු කරන එක.  

ඡන්ද වේදිකාවල මේ සිදුවීම කේවල්කරන එක ගැන මොකද හිතන්නේ?  
ලංකාවේ දේශපාලනය කියලා කියන්නේ මේ වගේ සිදුවීම් වේදිකාවල විකුණන එක තමයි.  

අවසාන වශයෙන් ඔබට කියන්න දෙයක් ඇති?  
ප්‍රගීත් ඇතුළු අතුරුදන් වුණු අයට අවශ්‍ය යුක්තියයි. එය ලබා නොදී දෙවැනි වතාවටත් මේ මිනිස්සු බලහත්කාරයෙන් මරා දමන්න එපා කියලයි මට කියන්න තියෙන්නේ. 

මාතෘකා