මැකෝගේ නීති, පක්ෂ සහ අපි

 ඡායාරූපය:

මැකෝගේ නීති, පක්ෂ සහ අපි

රටට ගැලපෙන නීති සම්පාදනය කරන්නේ පාර්ලිමේන්තුවයි. පාර්ලිමේන්තුවට තේරී පත්වන්නේ මහ මැතිවරණයකිනි. එබැවින් මැතිවරණ හරහා පාර්ලිමේන්තුවට තේරී පත්වන සියලු දෙනාටම මැතිවරණය ඉතාම සංවේදී මාතෘකාවක් බව පුදුමයක් නොවේ. 


මැතිවරණ නීති සම්පාදනය කරන්නේද ඒ පාර්ලිමේන්තුවමය. දැනට බල පැවැත්වෙන නීති හදිසියේ අලුතින් බිහි වූවා නොවේ. පළාත් පාලන මැතිවරණය උදෙසා ක්‍රියාත්මක වන මාධ්‍ය උපමාන ද එලෙස ඕපපාතිකව බිහි වූ ඒවා නොවේ. එම උපමානද පවත්නා මැතිවරණ නීති පද්ධතිය තුළින්ම උකහා ගත් උපදෙස් මාලාවකි. 


පළාත් පාලන මැතිවරණ ප්‍රචාරණ කාල සීමාව තුළදී නීති තදින් ක්‍රියාත්මක කිරීම සහ මාධ්‍ය උපමාන අනුව ක්‍රියා නොකරන පුද්ගල සහ ආයතනවලට විරුද්ධව ක්‍රියාමාර්ග ගැනීම සම්බන්ධව ස්වාධීන මැතිවරණ කොමිසමට දෝෂාරෝපණ එල්ල වන තත්ත්වයක් නිර්මාණය වී තිබේ.  අඟහරුවාදා (9) දින පැවැති කැබිනට් රැස්වීමේදී ද ජනාධිපතිවරයාට සහ අගමැතිවරයාට යහපාලන රජයේ පාර්ශ්වකාර පක්ෂ දෙකෙන්ම එකසේ දුක් ගැනවිලි සහ චෝදනා අසන්නට සිදු වී ඇත. ඒ මැතිවරණ කොමිසම විසින් මැතිවරණ නීති මෙලෙස ක්‍රියාත්මක කරවීම මගින් සිය පළාත් පාලන අපේක්ෂකයන්ට සිදුවන දුෂ්කරතා සහ අපහසුතා සම්බන්ධයෙනි. ඒකාබද්ධ විපක්ෂයේ විමල් වීරවංශ මන්ත්‍රීවරයාද මැතිවරණ රැළි සම්බන්ධයෙන් ක්‍රියාත්මක නීති පිළිබඳව ස්වාධීන මැතිවරණ කොමිසමට දෝෂාරෝපණය කර තිබේ.  


පවතින මැතිවරණ ප්‍රචාරණ ක්‍රමවේදයන් ගැන පොදු මහජනතාව තුළ ඇත්තේ ඡන්ද අපේක්ෂකයන්ට තිබෙන අදහසට සම්පූර්ණයෙන් ප්‍රතිවිරුද්ධ අදහසකි. බුද්ධිමත් ඡන්ද දායකයා අපේක්ෂකයන්ගෙන් බලාපොරොත්තුවන්නේ ප්‍රතිපත්ති පැහැදිලි කිරීමකි. බල ප්‍රදේශය සංවර්ධනය කිරීම සඳහා වැඩ පිළිවෙලකි. පවත්නා මැතිවරණ නීති තුළ ඒ සඳහා බාධාවක් ඇති බව නොපෙනේ.  


සිය ගණන් එක් රැස් වී ගෙයින් ගෙට යමින් බලය පෙන්වීම මේ ක්‍රමයෙන් අහුරා ඇත. මානසික අල්ලස් ලබා දී ඡනද දායකයා මැතිවරණයේ සැබෑ අරමුණින් විතැන් කරවීමට උත්සහ කරන්නන්ට නම් මේ මැතිවරණ නීති බාධාවකි. බඩුමළුවලට, ටකරමට ඡන්දය කොල්ල කෑමට බලාපොරොත්තු වන අයට මෙය සැබෑම වදයකි. 


ඊළඟට නැගිය හැකි තර්කය වන්නේ, එවැනි මැතිවරණ ප්‍රචාරක ක්‍රමවේදයක් අප වැනි රටකට ගැලපේද යන්නයි. බැලූ බැල්මට නම් එය සාධාරණ පැනයකි. 


මනුෂ්‍ය ඝාතන, පහර දීම්, කාර්යාල ගිනිතැබීම්, කටවුට් ඉරා දැමීම් වලින් අපි හෙම්බත් වී සිටිමු. පොදු මහජනතාවගේ ඉල්ලීම වන්නේ එවැනි ක්‍රියා නතර කරන ලෙසයි. එවැනි ජරාජීර්ණ සංස්කෘතියක් අවසන් කිරීමට, අද විරුද්ධ වන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ම විසින් සම්පාදනය කරන ලද පවතින මැතිවරණ නීති ක්‍රියාත්මක කිරීමට ස්වාධීන මැතිවරණ කොමිසම සහ පොලීසිය ගන්නා උත්සාහය ගැන පොදු මහජනතාව නම් සතුටු වන බව නොඅනුමානය.


ජනප්‍රිය ලිපි