අනාගතය බාරගන්න දරුවන් වෙනුවෙන් මේ රටේ දේපළ අපි ආරක්ෂා කරනවා

 ඡායාරූපය:

අනාගතය බාරගන්න දරුවන් වෙනුවෙන් මේ රටේ දේපළ අපි ආරක්ෂා කරනවා

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ

පසුුගිය ආණ්ඩු සමයේ රාජ්‍ය දේපළ විකිණීමට කටයුතු කළ අතර ආරම්භ කර තිබූ සංවර්ධන ව්‍යාපෘති රැසක් අතර මඟ නතර වූ බවත් රටේ අනාගතය භාර ගැනීමට සිටිනා දරු පරපුර වෙනුවෙන් රාජ්‍ය දේපළ ආරක්ෂා කරන බවත් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසයි.

අග්‍රාමාත්‍යවරයා මෙසේ පැවසුවේ හෝමාගම මහින්ද රාජපක්ෂ විද්‍යාලයේ අධ්‍යාපන පොදු සහතික පත්‍ර උසස්පෙළ සිසු ඇගයීම් උලෙළ (2019) සහ එම පාසල දස වර්ෂයට පා තැබීම නිමිති කරගෙන පැවැති උත්සවයට එක්වෙමිනි. එහිදී අග්‍රාමාත්‍යවරයා අතින් සිසු දරුදැරියන් සඳහා තිළිණ සහ සහතික පත්‍ර ප්‍රදානය කළ අතර අග්‍රාමාත්‍යවරයාටද සමරු තිළිණයක් පිළිගන්වනු ලැබීය.

උත්සව සභාව ඇමතූ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා තවදුරටත් මෙසේද පැවසීය.

"අද මේ පාසල වසර 10ට පා තබනවා. අපි මේ පාසල පටන් ගත්තේ මහින්ද චින්තනය යටතේ. මට මතකයි මීට අවුරුදු 10කට කලින් මේ පාසල ගොඩනගන්න ආරම්භ කරපු වකවානුව. ඒ වෙනකොට තිස් වසරක යුද්ධය නිමා කරමින් තිබුණේ. රටේ ජනතාවගේ හදවතේ තිබුණ මරණ බිය තුරන් වුණ වකවානුවක් ඒක. ත්‍රස්තවාදය නිසා ඇති වූ මරණ බිය තුරන් කළාට තවත් බියක් මේ රටේ අම්මලා තාත්තලාට එදා තිබුණා. ඒ බය තමයි තමන්ගේ දරුවට හොඳ පාසලක් ලැබෙයිද කියන බය. හොඳ ජාතික පාසලකට දරුවා ඇතුළත් කරගන්න බැරිවෙයිද කියන බිය දෙමාපියන්ගේ හදවතේ ඒ කාලේ බොහොම තදින් තිබුණා. දේශපාලනඥයන් හැටියට පහුගිය කාලේ අපේ ළඟට වැඩි පිරිසක් ආවේ දරුවාව පාසලට ඇතුළත් කර දෙන්න කියලා. ඒ බිය තවමත් සම්පූර්ණයෙන් මේ රටෙන් තුරන් කරන්න පුළුවන් වෙලා නෑ කියලා අපි දන්නවා. ඒ නිසා දරුවෙක් ඉස්කෝලෙකට දාගන්න ගියාම තමයි මේ රටේ වැඩිපුරම ව්‍යාජ ලේඛන හැදෙන්නේ. වැඩිපුරම අසත්‍ය ප්‍රකාශ කරන්නේ දරුවෝ ඉස්කෝලවලට දාගන්න ගියාම. මේවා කරන්නේ දෙගුරුන් විසින්. ගුරුවරු ඉන්නේ ඉස්කෝලේ. ගෙදර ඉන්නේ දෙගුරුන්. දරුවෙක් ඉස්කෝලේ දාගන්න ඕනේ වුණහම ඒ දෙගුරුන්ට දැවැන්ත බොරු කියන්න, කරන්න වෙනවා. ඒක මේ රටේ දෙමාපියන්ගේ වරදක් නෙමෙයි. ඒක අපේ රටේ තිබුණ ක්‍රමයේ වරදක්. ඒ ක්‍රමය වෙනස් කරන්න අපිට ඉදිරි දැක්මක් තිබුණා.

"එදා මහින්ද චින්තනය යටතේ එක පළාතකට එක ජාතික පාසලක් බැගින් පළාත් නවයට පාසල් නවයක් ඉදිකරන්න අපි බලාපොරොත්තු වුණා. පාසල් 9ක් නෙමෙයි හැම දිස්ත්‍රික්කයකටම එක් පාසල බැගින් ලබා දිය යුතුයි කියලා එදා යෝජනා වුණා. ඒ අවස්ථාවේ බන්දුල ගුණවර්ධන අමාත්‍යවරයා ඉදිරිපත් වුණ නිසා තමයි ඇත්ත වශයෙන්ම මේ හෝමාගම මහින්ද රාජපක්ෂ විද්‍යාලය හැදෙන්නේ.

"2015 ජනවාරි 08 වැනිදා වනවිට අපි මේ රටේ දැවැන්ත සංවර්ධන ව්‍යාපෘති රැසක් ක්‍රියාත්මක කළා. සමහර ව්‍යාපෘති අපි අවසන් කරලා තිබුණා. සමහර ව්‍යාපෘති අපට අවසන් කරන්න බැරි වුණා. තමුන්නාන්සේලාට මතක ඇති එදා පාසල් රාශියකට මහින්දෝදය විද්‍යාගාර 1000ක් අපි ලබා දීලා තිබුණා. ඒ කටයුත්තේ දීත් බන්දුල ගුණවර්ධන මැතිතුමාගේ මැදිහත් වීම සිහිපත් කළ යුතුයි. ඒ සමඟ පාසල් සඳහා විද්‍යාගාරවලට අමතරව භාෂාගාරත් ලැබුණා. ගණිතාගාරයත් ලැබුණා. හුඟාක් ගම්වලට ඒ තත්ත්වය ලබා දෙන්න අපිට පුළුවන් වුණා. තවමත් විවෘත නොකරපු මහින්දෝදය විද්‍යාගර 150ක් තියෙනවා. පහුගිය අවුරුදු 5ට ඒවා විවෘත කරන්නවත් ඔවුන් උනන්දු වුණේ නෑ. මගේ නම ගැලෙව්වාට කමක් නෑ. නමුත් ඒ දරුවන්ගේ දේවල් දරුවන්ට ලැබෙන්න ඕනේ. ඒ ආණ්ඩුවට වෙන වැඩක් කරන්න පුළුවන් වුණේ නෑ, මගේ නම ගලවන එක විතරයි කරන්න පුළුවන් වුණේ.

"ඒ විතරක් නෙවෙයි පහුගිය ආණ්ඩුව අපි පටන් ගත්ත හැම ව්‍යාපෘතියක්ම නතර කළා. පොහොර සහනාධාරය යටතේ දීපු පොහොර මිටිය නතර කළා. මත්තල ගුවන් තොටුපල නවත්තලා ඒකේ වී ගබඩා කළා. කොළඹ හදපු පාවෙන වෙළෙඳ සංකීර්ණය බංකොළොත් වෙන්න ඇරියා. අධිවේගී මාර්ගය වටා දෙපැත්තේ කැලේ වැවෙන්න ඇරියා. වාසනාවකට මේ පාසැල් දෙක වහන්නේ නැතිව ඉතුරු කළ එක ගැන ඒ අයට අපි ස්තූතිවන්ත වෙනවා. බන්දුල ගුණවර්ධන මැතිතුමා පෞද්ගලිකවම මේ පාසල ගැන සොයා බලන නිසා මේ පාසල වහගන්න පුළුවන්කමක් ලැබුණේ නෑ.

"අපි ඒ වෛරක්කාර පළිගන්නා යුගය අවසන් කරලා තියෙනවා. අපි ඒ ගොල්ලො පත් කළ ඉහළ ප්‍රධාන පෙළේ තනතුරු එහෙමම තියාගෙන තමයි රට කරගෙන යන්නේ. කවුරු පත් කළත් ඔවුන් හරියට තමන්ගේ සේවය ලබා දෙනවා නම් එම සේවය ලබා ගත යුතුව තිබෙනවා. පාර්ලිමේන්තුවේ කථානායකතුමාගේ ඉඳන් වැඩිහරියක් ඉන්නේ විපක්ෂයේ අය. අපිට පාර්ලිමේන්තුවේ ඉන්නේ 96ක් වගේ පිරිසක්. ඒ නිසා සමහර පනත් අපි ගේන්නේ නැතිව ඉන්නවා. මේ තත්ත්වය වෙනස් වෙයි කියලා අපි බලාපොරොත්තු වෙනවා. වෙනස් කරලා රටට අවශ්‍ය විදියට අපේ ප්‍රතිපත්ති එක්ක පසුගිය ආණ්ඩුවට වඩා වෙනස් වැඩපිළිවෙලක් දියත් කරන්න අපි අපේක්ෂා කරනවා. අපේ වැඩපිළිවෙල රටේ අති බහුතරය මේ වනවිට අනුමත කරලා තියෙනවා. එහිදී රටේ දේපළ අපි විකුණන්නේ නෑ. අපි වරායක් හැදුවා. ඒ වරාය විකුණුවා. කොළඹ නගරය ගොඩ කරලා අලූත් නගරයක් ඉදි වෙමින් පවතිනවා. මේ දේවල් "පසුගිය කාලයේ ආපස්සට ඇදුණා. දැන් නැවත වාරයක් ඉතා ඉක්මනින් ඒවා අවසන් කිරීමට පියවර ගනිමින් ඉන්නවා. අපි ඒවා කරන්නේ මේ රටේ අනාගතය භාර ගන්න ඉන්න දරුවන් වෙනුවෙන්. රටේ සම්පත් රැකගෙන ඒවා වැඩිදියුණු කරන්න පුළුවන් පිරිසක් මේ පාසලේ ඉන්නවා. ඒ දරුවන්ට සුබ අනාගතයක් ප්‍රාර්ථනා කරන අතරේ මුළු ලංකාවෙන්ම දිවීමෙන් දෙවෙනි තැනට පත් වුණ මේ පාසලේ දරුවාටත් සුභාශිංසන එකතු කරමින් ඔබ සැමට සුබ අනාගතයක් ප්‍රාර්ථනා කරනවා. "

මෙම අවස්ථාවට අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා, පාර්ලිමේන්තු මන්ත්‍රී තිලංග සුමතිපාල මහතා, හෝමාගම මහින්ද රාජපක්ෂ විද්‍යාලයේ විදුහල්පති එම්.ආර්.ඞී.කේ ගුණරත්න මහතා, ගුරු දෙගුරුන් සහ සිසු දරු දැරියන් ඇතුළු රැසක් සහභාගී වූහ.

News Order: 
2
මාතෘකා