රට ගොඩනැඟීම සඳහා අභියෝගවලට මුහුණ දෙන රාජ්‍ය නිලධාරීන් වෙනුවෙන් පෙනී සිටිනවා

 ඡායාරූපය:

රට ගොඩනැඟීම සඳහා අභියෝගවලට මුහුණ දෙන රාජ්‍ය නිලධාරීන් වෙනුවෙන් පෙනී සිටිනවා

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ

රට ගොඩනැඟීම සඳහා රාජ්‍ය නිලධාරීන් අභියෝගවලට සාර්ථකව මුහුණ දියයුතු බවත් රට ගොඩනැඟීම වෙනුවෙන් අභියෝගවලට මුහුණ දෙන රාජ්‍ය නිලධාරීන් වෙනුවෙන් තමා පෙනී සිටින බවත් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ප්‍රකාශ කෙළේය.

ජාතික ආර්ථිකයට සහ මහජන සේවා සම්පාදනයට ඝෘජුවම දායක වන රාජ්‍ය සංස්ථා, මණ්ඩල හා ව්‍යවස්ථාපිත ආයතනවල නව සභාපතිවරු සහ ජ්‍යෙෂ්ඨ මාණ්ඩලික නිලධාරීන් සමඟ පසුගියදා පැවති හමුවකදී ජනාධිපතිවරයා ඒ බව පැවසීය.

එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා මෙසේද පැවසීය.

" රටේ ආර්ථිකය ගොඩනැඟීමේදී අපිට විශාල අභියෝගයක් තිබෙනවා. අපි 2005- 2014 කාලය තුළ සියයට 7ක ආර්ථික වර්ධනයක් සහිතව ආසියාවේ පළමු තැන තිබූ රටක්. නමුත් මේ වන විට අඩු ආර්ථික වර්ධන වේගයක් තිබෙන රටක් බවට පත්වී තිබෙනවා. මේ තත්ත්වය වෙනස් කරන්න විශාල අභියෝගයක් තිබෙනවා. නමුත් මේක අපිට කරන්න පුළුවන් දෙයක්. මොකද අවුරුදු 30ක් මේ රටේ යුද්ධයක් තිබුණු වෙලාවක කවුරුත් විශ්වාස කෙළේ නැහැ අපිට අවුරුදු දෙකහමාරකින් තුනකින් මේක ඉවර කරන්න පුළුවන් කියලා. ඒ නිසා මේවා කරන්න පුළුවන් දේවල්. කරන්න බැරි දේවල් නොවේ."

" රජයේ ආයතනවලට වෘත්තිකයන් පත්කිරීමේදී අපි පළමු වරට තෝරාගැනීමේ ක්‍රමවේදයක් අනුගමනය කරමින් එම පත්කිරීම් සිදුකිරීමට කටයුතු කළා. ඒ පිළිබඳ සිටින ප්‍රවීණයන් හඳුනා ගැනීමට තමයි දැන්වීම් පළ කරලා මණ්ඩලයක් පත් කරලා ඒ අයව තෝරා ගන්න තීරණය කෙළේ සහ තෝරා ගත්තේ. රට ගොඩනැඟීමට මෙතෙක් පැවැති ක්‍රමය වෙනස් කළ යුතුයි. එම ක්‍රමය වෙනස් කරයි කියා ජනතාව මා දෙස බලා සිටිනවා."

"මේ සියලු දේ කළේ ජනතාව මට විශාල ජනවරමක් ලබාදෙමින් තැබූ බලාපොරොත්තු ඉටු කිරීමටයි. තමුන්නාන්සේලා දන්නවා මම දේශපාලනඥයෙක් නෙවේ. දේශපාලනය කරලා නැහැ. මම අවුරුදු 30ක් රාජ්‍ය සේවයේ හිටපු කෙනෙක්. නමුත් මේ තිබෙන සංස්කෘතිය වෙනස් කරනවා කියන එක අපි ජනතාවට කිව්වා. ඒ හේතුව නිසා තමයි ජනතාව මාව පත් කරගත්තේ."

"මේ රාජ්‍ය ආයතන ගත්තොත් අපි දන්නවා සමාජයේ කතාබහට ලක්වන්නක් තමයි ඒවා පාඩු ලබන ආයතන බවට පත්වී තිබෙන බව. විශේෂයෙන් භාණ්ඩාගාරයට බරක් වන ආයතන තිබෙනවා. අපි මේවා කාර්යක්ෂම ආයතන බවට පත්කළ යුතුයි. එම ආයතන ලාභ ලබන සහ රජයට බරක් නොවන ආයතන බවට පත් කරන්න ඕනෑ."

"දෙවැනි කාරණය තමයි ලාභ ලබන්න ඕනෑ නැහැ. හැබැයි එම ආයතනවලින් ජනතාව අපේක්ෂා කරන සේවාව කාර්යක්ෂමව ඉටු කරන්න ඕනෑ. මොකද මේ හැම ආයතනයකින්ම ජනතාව යම් කිසි සේවාවක් බලාපොරොත්තු වෙනවා. ඒ සේවාව ජනතාව සතුටුවන අන්දමින් ඉටුවිය යුතුයි. උදාහරණයක් විදිහට ශ්‍රීලන්කන් ගුවන් සේවය ගත්තොත් අපිට එක පාරට ලාභ ලබන ආයතනයක් බවට පත්කරන්න අසීරුයි. නමුත් අපි බලාපොරොත්තු වෙන්නේ ශ්‍රීලන්කන් විදියට නෙවේ. ශ්‍රී ලංකාවට මොනවද එයින් කරන්න පුළුවන් කියන එක. ශ්‍රීලංකන්වලින් පුළුවන් ලෝකයටම පෙන්වන්න මේ ශ්‍රී ලංකාව ගැන. එතකොට අපිට සංචාරකයන් ගෙන්වා ගන්න වගේම ජනතාවට හොඳ සේවයක් ලබාදෙන්න පුළුවන්."

"ඒ වගේම ලාභ ලබන්න පුළුවන් ආයතන විශාල ප්‍රමාණයක් තිබෙනවා. බැංකු ක්ෂේත්‍රය ගත්තොත් ආර්ථිකය ඉදිරියට ගෙන යන්න, ඒ වගේම අපේ ව්‍යවසායකයන්ට, ව්‍යාපාරිකයන්ට සහාය වෙන්න පුළුවන් විශාල වැඩ කොටසක් කළ හැකියි. මෙම ආයතන තමයි කාර්යක්ෂම කළයුතු ආයතන. එයින් ජනතාවට සේවයක් වගේම ආර්ථිකය දිරි ගැන්වීමක් සමඟ ලාභ උපයා ගත හැකියි."

"ඒ වගේම අපි දන්නවා සමහර ආයතන තිබෙනවා අපිට විශාල වශයෙන් දියුණු කරන්න පුළුවන් ආයතන. අලුතින් හිතලා විශාල ආදායමක් අපේ රටට ගේන්න පුළුවන් ආයතන. අපේ ආර්ථිකය ඉක්මනින් ඉදිරියට ගෙන යන්න පුළුවන් එක් අංශයක් තමයි සංචාරක ක්ෂේත්‍රය. ඒ සඳහා විශාල සේවාවක් අපි සංචාරක මණ්ඩලය හරහා බලාපොරොත්තු වෙනවා. අවශ්‍ය ක්‍රියාශීලීභාවය, සංචාරකයන් ගෙන්වා ගැනීම, සංචාරකයන් රටට ආවට පස්සේ ඒ අයගේ පහසුකම් සැපයීම සහ නැවතත් සංචාරකයන් ගෙන්වා ගැනීම මේවා තමයි අපි බලාපොරොත්තු වෙන්නේ."

"ඒ වගේම ආයෝජන මණ්ඩලය ගත්තොත් ආයෝජකයන් ගෙන්වා ගැනීම, ඔවුන් පැමිණි පසු එම යටිතල පහසුකම් සපයා දීම විධිමත්ව සිදුවිය යුතුයි. ඔබ කවුරුත් දන්නවා පසුගිය කාලය තුළ විශාල චෝදනා ලැබූ ආයතනයක් තමයි ආයෝජන මණ්ඩලය. ආයෝජකයන් එනවා. එකම ආයෝජනය අවුරුදු 3,4 කල්ගත කරනවා. මේ තත්ත්වය වෙනස් කරලා ඉක්මනින්ම ඒ ආයෝජන සඳහා අවස්ථා සලසා දිය යුතුයි. මොන ආයෝජනද අපේ රටේ බලාපොරොත්තු වෙන්නේ ඒ ආයෝජන හරි විදිහට කළ යුතුයි. ඒ වගේම එම කාර්ය අතරමැදියන් නැතිව සිදුවිය යුතුයි. එක්කෙනෙක් ඉල්ලනවා සියයට 10ක්, තව එක්කෙනෙක් සියයට 5ක් ඉල්ලනවා. මේවා නැතිව ආයෝජකයෙක් ආවහම ඒ ආයෝජකයාට පහසුවෙන ආකාරයට කඩිනමින් ඒ පහසුකම් සලසා දිය යුතුයි. මේ කාර්ය කරන්න පුළුවන් පුද්ගලයන් සහ වෘත්තිකයන් තමයි අපි මෙවර ආයතනවල සභාපතිවරුන් සහ අධ්‍යක්ෂ මණ්ඩල ලෙස පත් කර තිබෙන්නේ."

"ආණ්ඩුවක් විදියට අපිට ලබා දෙන්න පුළුවන් සෑම සහායක්ම ඔබට ලබාදෙන්න ලෑස්තියි. මගේ ප්‍රතිපත්ති ප්‍රකාශනයෙන් සෑම ක්ෂේත්‍රයකම අපි ලබාගත යුතු ඉලක්කය මොකක්ද කියන එක පැහැදිලිව සඳහන් කර තිබෙනවා. ඒ ප්‍රතිපත්ති ප්‍රකාශනය මාස දෙකකින් එහෙම නැත්නම් සුමාන දෙකකින් කරපු එකක් නෙවෙයි. මහාචාර්යවරු, විද්වතුන් සෑම ක්ෂේත්‍රයකම ප්‍රවීණයන්ගේ අදහස් අරගෙන අවුරුදු 4ක කාලයක් තුළ වර්ධනය කරපු ප්‍රතිපත්ති ප්‍රකාශනයක් තමයි ඉදිරිපත් කර තිබෙන්නේ. සෑම ක්ෂේත්‍රයකම ලබාගත යුතු ඉලක්ක පිළිබඳ එහි සවිස්තරව කරුණු පැහැදිලි කර තිබෙනවා. ඒ ප්‍රතිපත්ති ප්‍රකාශනය කියවන්න, තේරුම් ගන්න. එය තේරුම් ගත්තොත් කොතනටද අපි රට ගෙනියන්නේ කියන එක පැහැදිලිව අවබෝධ කර ගන්න පුළුවන්."

"මගේ අවශ්‍යතාව ආර්ථිකය ගොඩගන්නා විට තාක්ෂණය රට තුළට ගෙන ඒමයි. අපි දන්නවා 21 වැනි ශත වර්ෂය හඳුන්වන්නේ දැනුම මුල් වූ ආර්ථිකයක් ලෙසයි. මේක අපිට හොඳ අවස්ථාවක්. සමහර කර්මාන්ත තිබෙනවා ඇගළුම් වැනි අපි ඉහළ තැනකට ආපු අංශ. නමුත් අපේ කර්මාන්ත පදනම ඉහළ තැනක තිබෙන එකක් නෙවේ. කෘෂිකර්මාන්තය හා වැවිලි කර්මාන්තය පාරම්පරික සහ සංස්කෘතික වශයෙන් අපිට බැඳුණු දියුණු කළ යුතු ක්ෂේත්‍රයක්. නමුත් අපිට විශේෂයෙන් දියුණු කරන්න පුළුවන් ක්ෂේත්‍රය තමයි තාක්ෂණය මුල්වූ ආර්ථිකයක්. මොකද අපිට බුද්ධිමත් ජනතාවක් ඉන්නවා. ඒ මිනිස් ශ්‍රමය අපි හරිහැටි පාව්චිචි කරලා නැහැ. එහෙම නම් මේ අංශය විශේෂයෙන්ම දියුණු කරගන්න ඕනෑ ක්ෂේත්‍රයක්. විශේෂයෙන්ම ඊට තාක්ෂණය ගෙන ආ යුතුයි. තාක්ෂණය හරහා කෘෂිකර්මාන්තය දියුණු කරගන්න පුළුවන්. මූලික පදනම වන්නේ අපි මොන විදියටද අපේ ආර්ථිකය සකස් කරගන්නේ කියන එකයි. එය අපි නිසි ලෙස අවබෝධ කරගත යුතුයි."

"තවත් ක්ෂේත්‍රයක් තමයි අධ්‍යාපනය. අධ්‍යාපනයට හරි විදියට යොමු කරන්නේ නැතිව අපිට පුළුවන්කමක් නැහැ තාක්ෂණය මුල් වූ ආර්ථිකයක් කරා යෑමට. රාජ්‍ය අංශය සහ පෞද්ගලික අංශය එක් වුණත් වැඩිම වුණොත් හතළිස් දහසක් පමණ තමයි අවුරුද්දකට අපේ රටේ තෘතීයික අධ්‍යපනයට යන්නේ. එහෙම ගිහිල්ලා පුළුවන්කමක් නැහැ අපි බලාපොරොත්තුවන තැනට රට ගෙන එන්න."

"ආර්ථිකය ගොඩනැඟීමේදී විශාල මිනිස් ශ්‍රමයක් අවශ්‍ය වෙනවා. ඇතැම් කාර්මික සමාගම් සමඟ සාකච්ඡා කරන විට ඒ අය කියන දෙයක් තමයි අවම වශයෙන් ඩොලර් බිලියන් 10ක ආර්ථිකයක් ගේන්න නම් තව ලක්ෂ 3ක් විතර ඒ පිළිබඳ දක්ෂතාවක් තිබෙන තරුණ තරුණියන් අවශ්‍යයි කියලා. මේ අයට උපාධියක් තියෙන්න අවශ්‍ය නැහැ. නමුත් ඒ පිළිබඳව අධ්‍යාපනයක් හා පළපුරුද්දක් අවශ්‍යමයි. මේ සඳහා කෙටිකාලීනව සහ දිර්ඝකාලීනව සැලැස්මක් හදා ගන්න ඕනෑ. ඒ සඳහා අධ්‍යාපන ක්ෂේත්‍රයේ ප්‍රමුඛත්වයක් දීලා තිබෙනවා මේ විදියට ඉදිරියට ගෙන යන්න. තෘතියීක අධ්‍යාපනය සහ තාක්ෂණික ක්ෂේත්‍රයේ අවබෝධයක්, දැනුමක් ඒ අයට ලබාදෙන්න අධ්‍යාපන ක්ෂේත්‍රය සකස් කරන්න ඕනෑ."

"රටට ආයෝජන ගෙන එන විට අපිට පුළුවන් නම් තාක්ෂණය මුල් වූ ආයෝජන ගේන්න, ඒ හරහා අපේ තරුණ තරුණියන් පුහුණු කරන්න, රැකියා ඇති කරන්න සහ තාක්ෂණය හුවමාරු කරගන්න අපේ වැඩපිළිවෙළ සාර්ථක කර ගන්න පුළුවන්. අපි ඒ ගැන අවධානය යොමු කරන්න ඕනෑ."

"ඒ වගේම තාක්ෂණය, ආයෝජන ගැන කතා කරන කොට කොළඹට සීමා වෙන්නේ නැතිව පුළුවන් තරම් පිටතට මේ ආයෝජන ගෙනයෑමත් අවශ්‍යයි. ඊට හේතුව කොළඹ තිබෙන ගැටලු නාගරීකරණය සමඟ ඇති වී තිබෙන ප්‍රශ්න විසඳන්න හැකි එක් ක්‍රමයක් තමයි ආයෝජන කොළඹින් පිට පළාත්වලට ගෙනියන එක. ඒ එක්කම රටේ අනිත් පළාත්වල දියුණුවක් ලබා ගැනීම ඉතා වැදගත්."

" හොඳ ආයෝජන කොළඹින් පිටතට ගෙනියන්න අවශ්‍ය නම් ඒ අයට අවශ්‍ය මහාමාර්ග, අධි තාක්ෂණ සන්නිවේදන පහසුකම් ඇතුළු යටිතල පහසුකම් සංවර්ධනය සිදුවිය යුතුයි. මේ සෑම දෙයක් දිහාම බලලා රාජ්‍ය ආයතන වගේම ව්‍යාපාරත් එකට එකතු වෙලා මේ කාර්ය සිදු කරන්න ඕනෑ. මතුවන ප්‍රශ්නවලට විසඳුම් ලබාදෙන්න අපි සැමවිටම කටයුතු කරනවා. රට ගැන හිතලා රටේ ජනතාව අපේක්ෂා කරන තැනට රට ගෙනියන්න අවශ්‍ය සහාය ලබාදෙන්න කියලා මම ඔබෙන් ඉල්ලා සිටිනවා."

"අවුරුදු ගණනාවක් තිස්සේ පුරුදු වූ ක්‍රමවේදයන්ගෙන් ඈත්වන්න ගොඩක් අය කැමති නැහැ. නමුත් රට හදන්න නම් අපි ඒවා බිඳගෙන ඉදිරියට යන්න ඕනෑ. මම හැමෝගෙන්ම ඉල්ලනවා ඒ අභියෝගය බාරගන්න කියලා. විශේෂයෙන් ජනතාව අප දෙස බලාගෙන ඉන්නවා. මම මැතිවරණයට ඉදිරිපත් වෙනකොට ගොඩක් අය කියපු දෙයක් තමයි “සර් මේක තමයි මේ රට ගොඩනඟන්න තිබෙන අන්තිම අවස්ථාව” කියලා. ඒ කියන්නේ ජනතාව තුළ විශාල බලාපොරොත්තුවක් තිබෙනවා, මේ ක්‍රමය වෙනස් වෙයි කියලා. අපි බලාපොරොත්තු වන රට බිහි වෙයි, මේ සියලු ආයතන රට ඉදිරියට ගෙනියන්න පුළුවන් විදියට වැඩ කරයි කියලා. ඒ නිසා තමයි දැනුමක්, පළපුරුද්දක් තිබෙන තමුන්නාන්සේලා මේ ස්ථානවලට පත්කළේ. එම නිසා තමුන්නාන්සේලාගේ වගකීම රට වෙනුවෙන් ඉටුකරන්න කියා මම ඉල්ලා සිටිනවා."

News Order: 
2
මාතෘකා