අධිකරණය පිළිබඳ ජනතා විශ්වාසය රැකගත යුතුයි

 ඡායාරූපය:

අධිකරණය පිළිබඳ ජනතා විශ්වාසය රැකගත යුතුයි

පාර්ලිමේන්තු මන්ත්‍රී චන්දිම වීරක්කොඩි

වෝහාරික විගණන වාර්තාව විශේෂඥ වාර්තාවක් බැවින් එය කොටස් වශයෙන් නිකුත් කිරීම වැරදි බව ගාල්ල දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුවේ සභාපති හා ගාල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී චන්දිම වීරක්කොඩි මහතා පැවසීය.

එම සම්පූර්ණ වාර්තාව ජනතාවට ලබාදිය යුතු බවත් සම්පූර්ණ වාර්තාව පරිශීලනය කිරීමෙන් අනතුරුව ඒ සම්බන්ධව මතයක් ප්‍රකාශ කළ හැකි බවත් මන්ත්‍රීවරයා සඳහන් කළේය.

ගාල්ලේ පැවති මාධ්‍ය හමුවකදී මන්ත්‍රීවරයා ඒ බව ප්‍රකාශ කළ අතර එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් හෙතෙම මෙසේද පැවසීය.

“රජයක් විදියට නීතිපතිවරයාගේ ස්වාධීන ක්‍රියාකලාපයට ඇඟිලි ගහන්න, මැදිහත් වෙන්න, නියෝග දෙන්න කිසිවකුට ඉඩදිය යුතු නැහැ. ඒ වගේම නීතිපතිවරයා කැබිනට් මණ්ඩලය නියෝජනය කරන කිහිපදෙනකු හා වෙනත් කණ්ඩායම් ඉදිරියට ගෙනවිත් අර විදියට කරන්න මේ විදියට කරන්න කියලා රජයට බලකරන්න බැහැ. පසුගිය රජය කරපු දේවල් අපි කරන්න සූදානම් නැහැ. ගත්තු තීන්දුව පිළිබඳ රටේ යම් ප්‍රශ්න ඇතිවෙලා තියෙන නිසා අද නීතිඥ ප්‍රජාව යම් විරෝධතාවල නියැළෙනවා. යම් තීන්දුවක් සම්බන්ධව නැවත සලකා බලන්න කියන ඉල්ලීම රජය හැටියට, පුරවැසියන් හැටියට අපිට කරන්න හැකියාව තියෙනවා. නමුත් බලපෑම් කරන්න, අරහෙම කරන්න, මෙහෙම කරන්න කියන්න බැහැ. අපි විශ්වාස කරනවා රටේ නීතිපතිවරයා ස්වාධීනව රටේ නීතියට අනුව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුකූලව ඔවුන්ගේ කටයුතු ඉටුකරාවි කියලා. ඒ විශ්වාසය ජනතාව තුළ ආරක්ෂා කළ යුතුයි.

"නමුත් අද සිදුවී ඇත්තේ හඬ ප්‍රශ්නයත් එක්ක රටේ ජනතාව තුළ ජනතාව අතර අධිකරණය, පොලිසිය හා අනිකුත් රාජ්‍ය ආයතන ගැන විශ්වාසය බිඳ වැටීමක් තිබීම. එවැනි මොහොතක හැම ආයතනයක්ම හැම නිලධාරියෙක්ම බොහෝ පරීක්ෂාකාරීව, වගකීමෙන් හා බුද්ධිමත්ව තීන්දු තීරණ ගත යුතුයි.

"මේ රටේ තියෙන්නේ ස්වාධීන අධිකරණයක්. එක් නිලධාරියකුගේ දෙදෙනකුගේ ක්‍රියාකලාපය අනුව සමස්ත පද්ධතිය පිළිබඳ විශ්වාසය තියන්න බැහැ කියලා තීරණය කිරීමට උත්සාහ ගන්න එක රටට එරෙහිව කරන කටයුත්තක් කියලා අපි තෙරුම්ගත යුතුයි. නමුත් මොන ආයතනය හෝ විධායකය හෝ ව්‍යවස්ථාදායකය හෝ අධිකරණයේ නීතියට පටහැනිව කටයුතු කළ යම් අයකු සිටිනවා නම් ඔහුට විරුද්ධව නීත්‍යනුකූල පියවර ගැනීම මේ මොහොතේ හැමදෙනාගේම වගකීමයි. නැතිනම් අධිකරණ පද්ධතිය පිළිබඳ මහජන විශ්වාසය ආරක්ෂා කිරීම අපහසු විය හැකියි.

"භාණ්ඩ මිල පාලනය කිරීම සඳහා මෙම රජය තරම් කඩිනමින් පියවර ගත් රජයක් නැහැ. ආණ්ඩුව බලයට පත්වී සති දෙකක් තුළ වී සඳහා සහතික මිලක් තීන්දු කළා. නමුත් එළවළු මිල පිළිබඳ ප්‍රශ්නයක් තියෙනවා. පසුගිය අපේ රජය කාලයේ 'අපි වවමු රට නඟමු' වැඩසටහන යටතේ හැම ගෙදරකම වගා කළා. යහපාලන රජය ඒ සඳහා නායකත්වය ලබාදුන්නේ නැහැ. වවන්න ජනතා මනස හැදුවේ නැහැ. වැවීමට අවශ්‍ය පහසුකම් දුන්නේ නැහැ. ඒ නිසා තමයි රට මේ තත්ත්වයට පත්වෙලා තියෙන්නේ. මේ සියල්ල පසුගිය රජය කාලයේ සැලසුමක් නැතිව වැඩකිරීමේ ප්‍රතිඵලයි. නමුත් අද මේ රජය ඒ සඳහා සැලසුම් සකස් කර තිබෙනවා. ඒ වැඩපිළිවෙළ ආරම්භ කර තිබෙනවා. තව මාස කිහිපයක් යන විට මේ ප්‍රශ්න සියල්ලට සැලසුම් සහගත විසඳුම් ලැබෙනවා. ඒ වගකීමෙන් රජය මිදිලා නැහැ. එළවළු ටික, සහල් ටික ලාභයට ගන්න සතොස විවෘත කර තිබෙනවා. ඒ සඳහා ජංගම රථ ක්‍රියාත්මක වෙනවා.

"බැඳුම්කර හොරු අල්ලන එක ගැන කිසිදු ප්‍රමාදයක් නැහැ. රජයක් හැටියට ඉතා පැහැදිලිව කියන්න ඕන රජය මැදිහත්වෙලා නඩු දමන්න හෝ නඩු නොදාන්නත් මොන මොන නඩුවලට ප්‍රමුඛත්වය දෙනවාද යන්න තීරණය කරන රජයක් නෙවෙයි මේක. රජයට කියන්න පුළුවන් බැඳුම්කර මගඩිය සම්බන්ධ කටයුතු කළ හැකි උපරිම වේගයෙන් ඉටුකරන්න කියන එකයි. බැඳුම්කර මගඩිය පිළිබඳ ප්‍රශ්නය ආරම්භ කළෙත් අපි. ඒ ගැන ඇසුවෙත් අපි. ඒ වෙනුවෙන් අපි මැදිහත් වුණා වගේම ඉදිරියටත් ඒ කටයුතු සිදුවෙනවා.”

News Order: 
6
මාතෘකා