මේක වැඩ කරන ආණ්ඩුවක්

 ඡායාරූපය:

මේක වැඩ කරන ආණ්ඩුවක්

අමාත්‍ය ප්‍රසන්න රණතුංග

මධ්‍යම ආණ්ඩුව හා පළාත් සභාව ලෙස බෙදී වෙන්වී රටට වැඩ කළ නොහැකි බවත් 'එක රටක් එක ප්‍රතිපත්තියක් හා එක වැඩපිළිවෙළක්' යන සංකල්පය රට තුළ ක්‍රියාත්මක කිරීම රජයේ අපේක්ෂාව බවත් කාර්මික අපනයන, අායෝජන ප්‍රවර්ධන, සංචාරක හා ගුවන් සේවා අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පැවසීය.

පසුගියදා පැවති සංචාරක සංවර්ධන ජාතික සැලැස්ම සැකසීමේ සමුළුවට ප්‍රධාන ආරාධිතයා ලෙස සහභාගි වෙමින් අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා ඒ බව සඳහන් කළේය.

එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් අමාත්‍යවරයා මෙසේද පැවසීය.

"සංචාරක විෂය බෙදුණු විෂයක්. මධ්‍යම ආණ්ඩුවට වගේම පළාත් සභාවටත් මේ විෂය පැවරිලා තියෙනවා. මේ පාර්ශ්ව දෙක කටයුතු කරන්නේ දෙයාකාරයකටයි. මේ නිසා සංචාරක කර්මාන්තය වගේම වෙනත් විෂයන්වලත් විවිධ පරස්පරතා පවතිනවා. මම හිටපු මහ ඇමතිවරයෙක්. මධ්‍යම ආණ්ඩුව සහ පළාත් සභා අතර පවතින පුංචි පුංචි මත ගැටුම් ගැන මම හොඳින් දන්නවා. අපි හැමෝගෙම අරමුණ රටට යහපතක් කිරීමයි. හිටපු ආණ්ඩුව වගේ රට විනාශ වෙද්දි අහක බලාගෙන සිටීමේ පුරුද්දක් අපට නැහැ.

"පාස්කු ප්‍රහාරයත් එක්ක මේ රටේ සංචාරක ව්‍යාපාරය කඩා වැටුණා. සංචාරක ව්‍යාපාරය විතරක් නෙවෙයි; තව බොහෝ දේ කඩා වැටුණා. අපි දැන් උත්සාහ කරන්නේ පාස්කු ප්‍රහාරය නිසා වගේම පසුගිය රජයේ අදූරදර්ශී වැඩපිළිවෙළ නිසා කඩා වැටුණු අපේ සංචාරක ව්‍යාපාරය නැවත යථා තත්ත්වයට පත් කිරීමටයි. ඒ වෙනුවෙන් අපේ ජනාධිපතිතුමා අපට ඉලක්කයක් ලබා දී තිබෙනවා. ඒ 2025දී ඇමෙරිකානු ඩොලර් බිලියන 10 දක්වා අපේ සංචාරක ආදායම ඉහළ දැමීමයි. අපි මේ ජාතික සමුළුව හරහා සිදු කරන්නේ ඒ ඉලක්කය සපුරාලීමේ මුල් පියවර තැබීමයි.

"මේ සකස් කරන ජාතික ක්‍රියාකාරී සැලැස්ම තමයි අපේ සංචාරක කර්මාන්තය නංවාලීමේ අත්පොත විය යුත්තේ. අපි ලෝක සංචාරක ක්ෂේත්‍රයේ අලුත් ප්‍රවණතාවත් හඳුනාගත යුතුයි. ඒ අලුත් ප්‍රවණතාවන් අපේ සංස්කෘතියට, සදාචාරයට ගැළපෙන ලෙස සකස් කර ගත යුතුයි. ඒ සඳහායි අපි මේ ජාතික සමුළුව කැඳවනු ලැබුවේ. මේ සමුළුව හරහා හඳුනාගනු ලබන සංචාරක සැලැස්ම ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය ප්‍රතිපාදන රජය විසින් ලබාදෙනවා.

"මෙරටට පැමිණෙන සංචාරකයන් විවිධ අතවරයන්ට ලක්වූ බවට අපට සමහර වෙලාවට තොරතුරු ලැබෙනවා. රට පුරා සංචාරක කලාප ආශ්‍රිතව විවිධ මාෆියාවන් ක්‍රියාත්මක වන බවටත් අපිට තොරතුරු ලැබී තිබෙනවා. අපි එක්ව කටයුතු කළහොත් මේ ඕනෑම මාෆියාවක් පරාජය කළ හැකියි.

"සංචාරක කර්මාන්තය සංවර්ධනය කිරීම සඳහා අපට හැකියාව සහ සම්පත් තියෙනවා කියන කතාව අපි නිතර කියනවා. නමුත් හැකියාව සහ සම්පත් තිබෙන බව කීම පමණක් ප්‍රමාණවත් නැහැ. ඒ වගේම කතා කර කර ඉඳීමෙන් පමණක් රටක් සංවර්ධනය කරන්න බැහැ. ඒ නිසා ඒ සඳහා ක්‍රියාත්මක වැඩපිළිවෙළක් සැකසිය යුතුයි. ඒ ඒ අනුව සුදුසු ව්‍යාපෘති හඳුනාගෙන ඒවා ක්‍රියාත්මක කිරීමේ ක්‍රමවේදයක් සැකසිය යුතුයි. අපි මේ සමුළුව කැඳවූයේ ඒ අරමුණ ඇතිවයි.

"ගෝඨාභය රාජපක්ෂ, මහින්ද රාජපක්ෂ සුසංයෝගයෙන් සමන්විත මේ ආණ්ඩුව කථා කර කර ඉන්න ආණ්ඩුවක් නොවන බව මතක තබාගන්න. මේ ආණ්ඩුව වැඩ කරන ආණ්ඩුවක්. ඒ සඳහා අපි සියලු දෙනා එක්ව කටයුතු කළ යුතුයි."

News Order: 
4
මාතෘකා