නව නිපැයුම්කරුවන්ට තිබූ බාධා දැන් ඉවත් වේවි

 ඡායාරූපය:

නව නිපැයුම්කරුවන්ට තිබූ බාධා දැන් ඉවත් වේවි

අමාත්‍ය විමල් වීරවංශ

නව නිපැයුම් වෙළෙඳපොළට යෑමට තිබෙන බාධාවන් කඩිනමින් ඉවත් කරන බවත් එහි මුල් පියවර වශයෙන් පේටන්ට් බලපත්‍රය ඇපයක් ලෙස තබාගෙන නව නිපැයුම්කරුවන්ට සහනශීලී ණයක් ලබා ගැනීමට ඉඩකඩ සලසා දෙන බවත් කර්මාන්ත හා සැපයුම් කළමනාකරණ අමාත්‍ය විමල් වීරවංශ මහතා පැවසීය.

අමාත්‍යවරයා ඒ බව පැවසුවේ කර්මාන්ත හා සැපයුම් කළමනාකරණ අමාත්‍යාංශයේදී පසුගියදා ජාතික ව්‍යවසාය සංවර්ධන අධිකාරිය සහ ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය අතර අවබෝධතා ගිවිසුමකට අත්සන් තබමිනි. ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ නවෝත්පාදන සභාව (IlVCC) නියෝජනය කරමින් පැමිණ සිටි ශිෂ්‍ය නව නිපැයුම්කරුවන් එහිදී අමාත්‍යවරයා ඉදිරියේ සිය ජාත්‍යන්තර සම්මානයට පාත්‍ර වූ නිපැයුම් ඉදිරිපත් කිරීමද සිදුවිය.

ඔටිසම් දරුවන් වෙනුවෙන් නිපදවූ 'හැරී පොටර්' හිස්වැසුම, දියවැඩියා රෝගී පරික්ෂාව වෙනුවෙන් නිපදවූ මෘදුකාංග යෙදුම, කෙසෙල් ඇතුළු පලතුරු කෘත්‍රිමව ඉදවා ඇත්දැයි පරීක්ෂා කර බැලීමේ මෘදුකාංග යෙදුම (Carbide Detector) හා වකුගඩු රෝගය වැළැක්විය හැකි ජල පෙරනය ආදී සම්මානයට පාත්‍ර වූ නිර්මාණද ඒ අතර විය.

මීට අමතරව එම විශ්වවිද්‍යාලයේ මානව ශාස්ත්‍ර හා සමාජීය විද්‍යා පීඨයේ ව්‍යවසායකත්ව සංවර්ධන ඒකකය (Entrepreneur Club) විසින් තෝරාගනු ලැබූ හොඳම ශිෂ්‍ය ව්‍යවසායකයෝ දසදෙනාද මෙහිදී සිය ව්‍යාපෘති ඉදිරිපත් කළහ.

එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් අමාත්‍ය විමල් වීරවංශ මහතා මෙසේද පැවසීය.

"නව නිපැයුම් කොමිසම වෙනුවට එහි සීමාවන් අතික්‍රමණය කළ හැකි නව ආයතනයක් පිහිටුවීම සඳහා ඉදිරිපත්වූ කැබිනට් පත්‍රිකාවට පසුගිය සතියේදී අනුමැතිය ලැබුණා. ඒ තුළින් අපේ රටේ නව නිපැයුම්කරුවන්ට මෙතෙක් පැවති බාධාවන් රැසක් ඉවත් වනු ඇතැයි විශ්වාස කළ හැකියි."

එම අවස්ථාවට ජාතික ව්‍යවසාය සංවර්ධන අධිකාරියේ සභාපති අනුෂ්ක ගුණසිංහ, ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ මානව ශාස්ත්‍ර හා සමාජීය විද්‍යා පීඨයේ පීඨාධිපති මහාචාර්ය ශිරන්ත හීන්කෙන්ද, පශ්චාත් උපාධි පීඨයේ පීඨාධිපති මහාචාර්ය පද්මලාල් මානගේ, ආචාර්ය ලංකා උදුගොඩ යන මහත්ම මහත්මීහුද එක්ව සිටියහ.

News Order: 
2
මාතෘකා