ආර්ථික වර්ධන වේගයේ ප්‍රතිලාභ සෑම පුරවැසියකුටම ලබා දෙනවා - අමාත්‍ය සජිත් ප්‍රේමදාස

 ඡායාරූපය:

ආර්ථික වර්ධන වේගයේ ප්‍රතිලාභ සෑම පුරවැසියකුටම ලබා දෙනවා - අමාත්‍ය සජිත් ප්‍රේමදාස

බලපොරයේ කොටස්කාරයෙක් වෙන්නේ නැහැ

කථානායක කියයිආර්ථික වර්ධන වේගයේ ප්‍රතිලාභ සෑම පුරවැසියකුටම හිමිවන අයුරින් නව ක්‍රමවේදයක් සකස් කරන බව නිවාස, ඉදිකිරීම් හා සංස්කෘතික කටයුතු අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ පසුගියදා (06) මාතර දිස්ත්‍රික්කයේ ඉදිකළ ‘හස්තිරාජගම උදා ගම්මානය’ ජනතා අයිතියට පත්කිරීමේ අවස්ථාවට එක්වෙමිනි. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා මෙසේද කීය.

"විවිධ ආණ්ඩුවල විවිධ ආර්ථික ප්‍රතිපත්ති ඔබ දැක තිබෙනවා. මෙරට බහුතරයක් ජනතාව එම ආර්ථික ප්‍රතිපත්තිවලින් බැට කාපු අවස්ථාත් තිබෙනවා. අද අප ගම් නියම්ගම් සිසාරා රට පුරා යන විට ජනතාව පවසන්නේ කුමක්ද? කෙතරම් ආර්ථික ප්‍රතිත්ති, ආර්ථික වර්ධන වේගය, සංඛ්‍යා ලේඛන ගැන කතා කළත් නගරයේ, ගමේ අයට එය දැනෙන්නේ නැහැ කියායි. ආර්ථික වර්ධන වේගය සියයට 5ක් කියා පසුගිය කාලය පුරාම පසුගිය පාලකයන් කතා කළා ඔබට මතක ඇති. ඔවුන් නැවත කිව්වා ආර්ථික වර්ධන වේගය සියයට 6යි කියා. පාලකයන් එසේ කියන විට, ප්‍රතිපක්ෂවල අය කියනවා, අපි ආර්ථික වර්ධන වේගය සියයට 7, 8 කරනවා කියා. ආර්ථික වර්ධන වේගය කෙතරම් ඉහළ මට්ටමක තිබුණත් එය ගමේ, නගරයේ සිටින පවුල් පරපුරට, තරුණ පරපුරට සහ ඔවුන්ගේ මුදල් පසුම්බියට දැනෙන්න අවශ්‍යයි. එසේ නොමැති විට ආර්ථික වර්ධන වේගය තුළ විෂමතාවන් රැසක් පවතිනවා.

"පක්ෂ විපක්ෂ කවුරුන් හෝ ආර්ථික වර්ධන වේගය සියයට 5යි 6යි 7යි 8යි යනාදි වශයෙන් ප්‍රකාශ කරන විට එය ගමේ, නගරයේ මිනිසුන්ට දැනෙන්නට අවශ්‍යයි. ආර්ථික වර්ධන වේගයේ ප්‍රතිඵල සාමාන්‍ය ජනතාවට දැනෙනවා නම් ඔවුන්ට තම දූ දරුවන්ට හොඳ පෝෂ්‍යදායි ආහාර වේල් තුනක් ලබා දෙන්නට පුළුවන්. නමුත් අද කුමක්ද සිදුව ඇත්තේ? කාලයක් පුරාවටම දේශපාලනඥයන් ආර්ථික වර්ධන වේගය ගැන විවිධ ප්‍රකාශ සිදු කරනවා.නමුත් මුදල් පසුම්බිය දෙස බලන විට මුදල් පසුම්බියට මුදල් ඇවිත් නැහැ.

"ආර්ථික වර්ධන වේගය තුළින් ජාතික ආදායම ඉහළ යන විට එහි වැඩිම මස් රාත්තල යන්නේ රටේ කෝටිපතියන්ටයි. එහි වැඩිම ප්‍රතිලාභය හිමිවන්නේ රටේ සිටින ධනවතුන්ටයි. ආර්ථික වර්ධන ක්‍රමවේදය තුළින්ම මෙරට ඇති හැකි - නැති බැරි පරතරය නිර්මාණය වනවා. මෙම ක්‍රමය වෙනස් කළ යුතුයි. මෙම ක්‍රමය වෙනස් කිරීමට නම් රටේ පාලකයන් ඊට සෘජුව මැදිහත් විය යුතුයි. රට තුළ සංගණනයක් සිදු කර පවුල් ලක්ෂ 61හිම ජීවන මට්ටම අප හඳුනාගත යුතුයි. රටේ පුරවැසියන් ලක්ෂ 220හිම තොරතුරු සොයා බැලිය යුතුයි. ඊට වෙනම දෙපාර්තමේන්තුවන් රජය සතුව තිබෙනවා. එම දෙපාර්තමේන්තුව හරහා මෙරට සෑම පුරවැසියකුගේම නිවැරදි දත්ත තොරතුරු කෙටි කාලයක් තුළ ලබා ගත යුතුයි. එසේ තොරතුරු ලබා ගෙන සෑම පවුලක්ම කේන්ද්‍ර කර ගනිමින් සංවර්ධන වැඩපිළිවෙළක්, සෑම පවුල් ඒකකයක්ම මුල් කරගත් ආර්ථික සංවර්ධන රටාවක්, සෑම පුරවැසියකුම සවිබල ගන්වන ආර්ථික සංවර්ධන රටාවක් අප ක්‍රියාත්මක කළ යුතුයි.

"එම නව ආර්ථික සංවර්ධන රටාව දියත් කිරීමේ සැලසුම අප සතුව තිබෙනවා. ඒ හරහා එක් පැත්තකින් රටක් ලෙස අප ධනය නිර්මාණය කළ යුතුයි. ධනය ඉපැයීමට ඇති හොඳම ක්‍රමය වන්නේ ධනවාදී ආර්ථික ක්‍රමයයි. නමුත් ධනය, සම්පත් බෙදා හැරීමට ධනවාදී ආර්ථික ක්‍රමය උචිත වන්නේ නැහැ. එම ක්‍රමය හරහා සම්පත් බෙදී යෑමේදී විෂමතාවක් ඇති වීම නිසා රටේ සිටින දුප්පත්, අසරණ ජනතාව ආර්ථික ක්‍රියාවලියෙන් පැත්තකට විසි වී යනවා. එම නිසා මා විශ්වාස කරන පරිදි රටට වඩාත් සුදුසු ආර්ථික ක්‍රමය වන්නේ, ධනවාදී ආර්ථික ක්‍රමය මඟින් උපයාගත් ආදායම සමාජවාදී ආර්ථික ක්‍රමය හරහා රටේ ජනතාව පෙරටුකොට ගනිමින්, රටේ සෑම පුරවැසියකුටම බෙදා දිය හැකි මිශ්‍ර ආර්ථික ක්‍රමයක් නිර්මාණය කිරීමයි. මෙම සත්‍ය ජනතාවට කිසිවකු කියා දෙන්නේ නැහැ.

"රට ඉදිරියට ගෙන යෑමට හැකි නව ආර්ථික සැලැස්ම අපි නිර්මාණය කරනවා. එම නව ආර්ථික සැලැස්ම තුළ කිසිවකු පරදින්නේ නැහැ. කිසිවකු කොන් වන්නේ නැහැ. කිසිවකු පැත්තකට විසි වන්නේ නැහැ. අපේ නව ආර්ථික සැලැස්ම තුළ සැවොම දිනනවා. අපි අපේ නව ආර්ථික සැලැස්ම දියත් කරන්නේ ආර්ථික වර්ධන වේගයේ ප්‍රතිලාභ ගමේ සිටින පොඩි මිනිහට දැනෙන විදිහටයි. නොවැම්බර් මාසයේ, දෙසැම්බර් මාසයේ සිදුවන දේශපාලන විප්ලවයේදී පොදු ජනතාව කොන් නොකරන සියලු දෙනාම ඉහළට ගෙන එන ජාතික ව්‍යාපාරයට ඔබේ සහාය ලබා දෙන්න කියා මා ප්‍රකාශ කරනවා. එවිට අනිවාර්යයෙන්ම මෙරට සෑම පවුලක්ම සෑම පුරවැසියෙකුම රැක බලා ගන්නට සහ ආර්ථික වර්ධන වේගයේ ප්‍රතිලාභ සෑම පුරවැසියකුගේම දෙපතුළ ළගට ගෙන එන්නට මා ඇපකැප වන බව ප්‍රකාශ කරන්නට කැමතියි."

මාතෘකා