රට මුහුණ දෙන තර්ජන මැඩ ගැනීමට සහයෝගයෙන් වැඩ කිරීම වැදගත්

 ඡායාරූපය:

රට මුහුණ දෙන තර්ජන මැඩ ගැනීමට සහයෝගයෙන් වැඩ කිරීම වැදගත්

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ

 

ශ්‍රී ලංකාව සහ මාලදිවයින යනු ඉන්දියන් සාගරයේ සමුද්‍ර මංසන්ධි ආසන්නයේ පිහිටි ස්වාධීන රාජ්‍යයන් දෙකක් බවත් ඉහළ යන කලාපීය ආතති, ත්‍රස්තවාදය, මුහුදු මංකොල්ල සහ මත්ද්‍රව්‍ය ජාවාරම් වැනි තර්ජනවලට දෙරටම මුහුණ දෙන බවත් එබැවින් ශ්‍රී ලංකාව සහ මාලදිවයින අතර ද්විපාර්ශ්වීය සංවාදය ශක්තිමත් කර මෙම තර්ජන සීමා කිරීමට හා පරාජය කිරීමට සහයෝගයෙන් වැඩ කිරීමේ ක්‍රමවේද සකසා ගත යුතු බවත් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.

අග්‍රාමාත්‍යවරයා මේ බව කියා සිටියේ පෙරේදා (03) මාලදිවයින් ජනරජයේ මහජන මජ්ලිස් සභාව හෙවත් පාර්ලිමේන්තුව අමතමිනි. එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් අග්‍රාමාත්‍යවරයා මෙසේද පැවසීය.

“අපගේ ජාතීන්ගේ ජනතාව පොදු සංස්කෘතික ලක්ෂණ, ආහාර සහ වාග්විද්‍යාවත් බෙදාහදා ගන්නවා. අපගේ භාෂාවන් දිවෙහි සහ සිංහල එළු ප්‍රාකෘත යන පොදු මූලයකිනුයි පැවත එන්නේ. දෙරටේම ජනතාව ශක්තිමත් ලෙස ප්‍රජාතන්ත්‍රවාදයට ඇපකැප වී සිටිනවා. මාලදිවයිනේ මහජන බලය සහ හිමිකම් ශක්තිමත් කිරීම සම්බන්ධයෙන් මාලදිවයින් ප්‍රජාතන්ත්‍රවාදී ව්‍යාපාරයේ ඉදිරිපෙළ ක්‍රියාධරයන් වන ජනාධිපති සෝලිට සහ කථානායක නෂීඩ්ට මගේ සුබපැතුම් පිරිනමනවා.

“අප දෙරටෙහිම විධායක බලතල හිමිවන්නේ ජනාධිපතිවරයාටයි. එහෙත් ශ්‍රී ලංකාවේ රජය පාලනය හා මෙහෙයවීම බාර වන්නේ ජනාධිපතිවරයාද ඇතුළත් කැබිනට් මණ්ඩලයටයි. අමාත්‍ය මණ්ඩලය පාර්ලිමේන්තුවට සාමූහිකව වගකිව යුතුයි. පාර්ලිමේන්තුවේ බහුතර සහයෝගය ඇති මන්ත්‍රීවරයා අගමැතිවරයා ලෙස පත් කිරීම ජනාධිපතිවරයාට පැවරී තිබෙනවා. ජනාධිපතිවරයා විසින් පත් කරනු ලැබුවත් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 225න් 122ක් විරුද්ධ වීම නිසා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ අගමැති ලෙස කටයුතු කිරීම අතුරු තහනම් නියෝගයක් මඟින් වැළැක්වීමෙන් ශ්‍රේෂ්ඨාධිකරණය 2018දී මෙම ස්ථාවරය තහවුරු කළා. ජනාධිපතිවරයාට පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට තිබෙන බලය සීමා කරමින් 19 වැනි සංශෝධනය මඟින් පාර්ලිමේන්තුව තවත් ශක්තිමත් කෙරුණා. පාර්ලිමේන්තුව තුනෙන් දෙකේ බහුතර ඡන්දයකින් විසුරුවා හැරීමක් ඉල්ලා සිටින්නේ නැතිනම් ජනාධිපතිවරයාට වසර හතරහමාරක් යනතෙක් පාර්ලිමේන්තුව විසුරුවා හරින්නට බැහැ. 2018 ඔක්තෝබර් මාසයේදී ජනාධිපතිවරයා විසින් එසේ පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට දරන ලද උත්සාහයක් ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ව්‍යවස්ථා විරෝධී බවට තීරණය කරනු ලැබුවා.

“19 වැනි ව්‍යවස්ථා සංශෝධනය අවශ්‍ය වුණේ පසුගිය ආණ්ඩුව විසින් සිදු කරන ලද බරපතළ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා උල්ලංඝනයන් නිසයි. නිදසුනක් ලෙස 2013දී එවකට අග්‍රවිනිශ්චයකාරවරිය වූ ශිරානි බණ්ඩාරනායක ඉවත් කළේ විධිමත් දෝෂාභියෝග ක්‍රියාවලියකින් තොරවයි. ඒ හා සමානව රාජ්‍ය සේවය සහ පොලිසිය දේශපාලනීකරණයද ඉහළ ගියා. 19 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ස්වාධීන කොමිෂන් සභා පිහිටුවීමෙන් මෙම ප්‍රශ්නය ආමන්ත්‍රණය කළා. මෙම ස්වාධීන කොමිෂන් සභාවල සාමාජිකයන් පත් කිරීම සිදු වන්නේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව මඟින්. අගවිනිසුරු, ශ්‍රේෂ්ඨාධිකරණයේ විනිසුරුවන්, පොලිස්පතිවරයා සහ නීතිපතිවරයාද පත් කිරීම් අනුමත කරන්නේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවයි.

“ජනතාවගේ තොරතුරු දැන ගැනීමේ අයිතිය ප්‍රජාතන්ත්‍රවාදයේ ප්‍රධාන අභ්‍යන්තර මූලධර්ම අතරින් එකක්. එයද 19වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය යටතේ මූලික හිමිකමක් බවට පත් කළා. ශ්‍රී ලංකාවේ පාර්ලිමේන්තුව විසින් සම්මත කරන ලද තොරතුරු දැන ගැනීමේ හිමිකම් පනත ලොව එවැනි ශක්තිමත්ම නීති අතරින් එකක් ලෙස පිළිගැනෙනවා.

“වෛරී ප්‍රකාශ සහ ව්‍යාජ පුවත් හරහා ප්‍රජාතන්ත්‍රවාදී අවකාශය අපහරණය කිරීම අලුතෙන් මතු වූ තර්ජනයක්. සමාජ මාධ්‍ය මැවුම්කරු සහ විනාශ කරන්නාද පුරාණ දෙවියකු වගෙයි. එයට නිදහසේ පණිවිඩය පැතිරවීම වගේම විනාශයට පොළඹවන පරිදි භාව ප්‍රකෝප කිරීමද සිදු කළ හැකියි. එය සයිබර් අවකාශයේ සහ ප්‍රජාතන්ත්‍රවාදයේ අර්බුදයක්. පාර්ලිමේන්තු දහසකට ගිනි තියන හිට්ලර්ලා දහසක් නිර්මාණය කිරීමේ හැකියාව එයට තිබෙනවා.

“ප්‍රවෘත්ති ප්‍රජාතන්ත්‍රීයකරණය සහ හානි සිදු වීම වැළැක්වීමේ නීතිමය වගකීම අතර තුලනයක් සොයා ගැනීම අප, ඔබ සහ බොහෝ රටවල්වලට මුහුණ දෙන්නට සිදු වී තිබෙන සංකීර්ණ ප්‍රශ්නයක්. අවසාන විසඳුම වන්නේ අන්තර්ජාලය සහ වෙබ් විසින් නිර්මාණය කරනු ලබන නිදහස පිළිබඳ මෙන්ම එමඟින් ඇති කරනු ලබන තර්ජන පිළිබඳද දැනුවත් උගත් මහජනතාවක් නිර්මාණය කර ගැනීමයි.

“ශ්‍රී ලංකාව වසර 25කට වැඩි කාලයක් ත්‍රස්තවාදයට මුහුණ දුන්නා. එහෙත් පසුගිය පාස්කු ඉරු දින අයි.එස්.අයි.එස්. (ඉස්ලාමීය රාජ්‍යය) සංවිධානයේ හිතවාදීන් විසින් එල්ල කරන ලද බෝම්බ ප්‍රහාර හාත්පසින්ම වෙනස් ත්‍රස්ත ප්‍රහාර වුණා. එම කනගාටුදායක සිදුවීමෙන් අප බොහෝ පාඩම් ඉගෙන ගත්තා. ඉස්ලාමීය රාජ්‍ය සංවිධානයේ ත්‍රස්තවාදයට ප්‍රතිප්‍රහාර දීම සඳහා ඵලදායී යාන්ත්‍රණයක් නිර්මාණය කිරීමට සියලු පාර්ශ්වකරුවන් සමඟ ක්‍රියා කිරීමට වර්තමානයේදී ශ්‍රී ලංකාව සූදානම්.

“බෝම්බ ප්‍රහාරයෙන් පසු ශ්‍රී ලංකාව බලා පැමිණි ඔබගේ නියෝජිත පිරිසට මෙම අවස්ථාවේදී මා මගේ ණයගැතිභාවය ප්‍රකාශ කළ යුතුයි. කථානායකතුමනි, ඔවුන් අපට එම අපහසු අවස්ථාවේදී දැඩිව අවශ්‍යව තිබුණු සහයෝගය ලබා දුන්නා. වර්තමානයේදී වෙළෙඳාම විවිධාංගීකරණය ශ්‍රී ලංකාව සහ මාලදිවයින අතර ද්විපාර්ශ්වීය සම්බන්ධතාවල ශක්තිමත් කොටසක් වෙනවා. සාක් රටවල් අතරින් මාලදිවයින තමයි ඉන්දියාවට හා පාකිස්තානයට පසු ශ්‍රී ලංකාවේ විශාලතම අපනයන වෙළෙඳපොළ වෙන්නේ. 2017දී ඩොලර් මිලියන 271.1ක් වූ දෙරට අතර සමස්ත වෙළෙඳාම 2018 වන විට ඩොලර් මිලියන 304.3ක් දක්වා ඉහළ ගියා. සිය ගණනක් ශ්‍රී ලාංකික වෘත්තිකයන් සහ පුහුණු ශ්‍රමිකයන් මාලදිවයින විසින් සුහදව පිළිගනු ලැබ තිබෙනවා. පසුකාලීනව ශ්‍රී ලාංකිකයන්ට මාලදිවයිනේ තිබෙන රැකියා අවස්ථා ගණන වැඩි වී තිබෙනවා. .

“ශ්‍රී ලංකාව සහ මාලදිවයින යනු ඉන්දීය සාගරයේ සමුද්‍ර මංසන්ධි ආසන්නයේ පිහිටි ස්වාධීන රාජ්‍ය දෙකක්. ඒවා ඉහළ යන කලාපීය ආතති, ත්‍රස්තවාදය, මුහුදු මංකොල්ල සහ මත්ද්‍රව්‍ය ජාවාරම් වැනි තර්ජනවලට මුහුණ දෙනවා. එබැවින් මෙම අවකාශයේදී අප අතර ද්විපාර්ශ්වීය සංවාද ශක්තිමත් කරගත යුතුයි. මෙම තර්ජන සීමා කිරීමට හා පරාජය කිරීමට සහයෝගයෙන් වැඩ කිරීම සඳහා ක්‍රමවේද සකසා ගත යුතුයි.

“වර්තමානයේදී දේශගුණික විපර්යාස යනු අප සියලු දෙනා මුහුණ දෙන ඉහළ යමින් තිබෙන තර්ජනයක්. ඉහළ යන මුහුදු මට්ටම නිසා ඔබගේ දූපත් ජලයෙන් යට වීමේ සැබෑ තර්ජනය නිසා මාලදිවයින මුහුණ දෙන සුවිශේෂ අවදානම පිළිබඳ අප දැනුවත්. මුහුදු මට්ටම ඉහළ යෑමට සහ මිහිතලය උණුසුම් වීමට එරෙහිව ඔබ කරන අරගලයේදී අප ඔබට පූර්ණ සහාය සැපයීමට සූදානම් බව මා සහතික කරනවා."

 

මාතෘකා