මාලදිවයින හා ලංකාව අතර වීසා සීමා ලිහිල් කෙරේ

 ඡායාරූපය:

මාලදිවයින හා ලංකාව අතර වීසා සීමා ලිහිල් කෙරේ

 

මාලදිවයිනේ සෞඛ්‍ය ක්ෂේත්‍රය නඟා සිටුවීම සඳහා පුහුණු ශ්‍රමය ශ්‍රී ලංකාවෙන් ලබා දෙමින් ඒ සඳහා අවශ්‍ය ආයතනයක් මාලදිවයිනේ පිහිටුවීමටත් ශ්‍රී ලංකාව සහ මාලදිවයින අතර වීසා සම්බන්ධයෙන් පවතින සීමාවන් තවදුරටත් ලිහිල් කිරීමටත් සිය මාලදිවයින් සංචාරයේදී තීරණය කළ බව අගමැති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.

අගමැති මාධ්‍ය අංශය නිවේදනයක් මඟින් කියා සිටියේ එම තීරණයත් සමඟ මාලදිවයින් සිසු සිසුවියන්ට ශ්‍රී ලංකාවට පැමිණ අධ්‍යාපනය ලැබීම සඳහා වන පහසුකම් තවදුරටත් පුළුල් වන බවද අගමැතිවරයා සඳහන් කළ බවයි. නාවික ගමනාගමන කේන්ද්‍රස්ථානයක පිහිටීම ප්‍රයෝජනයට ගනිමින් ගෝලීය ත්‍රස්තවාදය සහ මත්ද්‍රව්‍ය ජාවාරම මර්දනය කිරීම සඳහා ශ්‍රී ලංකාව සහ මාලදිවයින එක්ව විසඳුම් සෙවිය යුතු බවත් මාලදිවයිනේ ආර්ථිකය ශක්තිමත් කරගන්නේ කෙසේදැයි සැලසුම් කළ යුතු බවත් අගමැතිවරයා එහිදී ප්‍රකාශ කළේය.

මාලදිවයින් ජනාධිපති මන්දිරයේදී එරට ජනාධිපති ඊබ්‍රහිම් මොහොමඩ් සෝලි මහතා හමු වී සාකච්ඡා කිරීමෙන් අනතුරුව දෙරට නායකයන් දෙපළ ඒකාබද්ධ ප්‍රකාශයක් කළ අතර ශ්‍රී ලංකා සහ මාලදිවයින් සහයෝගිතාව වර්ධනය කර ගැනීම සඳහා අවශ්‍ය බව පැවසූ අගමැතිවරයා මෙසේද පැවසීය.

"අපගේ මූලික අරමුණ වන්නේ ශ්‍රී ලංකාව සහ මාලදිවයින අතර දැනට පවතින සබඳතා තවදුරටත් ශක්තිමත් කර ගැනීමයි. දෙරට අතර මෙතෙක් පැවැති සබඳතා තවදුරටත් සමාලෝචනය කරමින් ඉදිරියට යෑමට අප අදහස් කරනවා. දෙරට අතර විධිමත් සබඳතා වර්ධනය කරගත හැකි නව ක්ෂේත්‍ර පිළිබඳවද අප මෙහිදී අවධානය යොමු කළා. ශ්‍රී ලංකාව සහ මාලදිවයින යන රටවල් දෙකම පිහිටා තිබෙන්නේ ඉන්දියන් සාගරයේ නාවික ගමනාගමන කේන්ද්‍රස්ථානයකයි. එම පිහිටීම ප්‍රයෝජනයට ගනිමින් එයින් දෙරටේම ආර්ථිකය ශක්තිමත් කර ගන්නේ කෙසේදැයි අප කල්පනා කළ යුතුයි. ඒ තුළින් දෙරටේම ආර්ථිකය තව තවත් ශක්තිමත් කර ගැනීමට අවස්ථාව උදා වෙනවා."

[ශිවන්ති ප්‍රනාන්දු]

මාතෘකා