ආරක්ෂාවක් නෑ කියා ලලිත් - කූගන් නඩුව මඟහැරි ගෝඨාභය ජනපති සටනට යාපනේ ගිහින්

 ඡායාරූපය:

ආරක්ෂාවක් නෑ කියා ලලිත් - කූගන් නඩුව මඟහැරි ගෝඨාභය ජනපති සටනට යාපනේ ගිහින්

කුමාර් ගුණරත්නම්   

 

ගෝඨාභය රාජපක්ෂ මහතා තමන් බලයේ සිටි කාලයේ ලලිත් - කූගන් අතුරුදන් කිරීම සම්බන්ධයෙන් අධිකරණය මඟහැර ගියද ජනාධිපතිවරණ ප්‍රචාරක කටයුතු සඳහා යාපනයේ ගොස් ඇති බව පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ ප්‍රධාන ලේකම් කුමාර් ගුණරත්නම් මහතා පෙරේදා (28) පිළියන්දල පැවති එම පක්ෂයේ ජනරැලිය අමතමින් ප්‍රකාශ කළේය.

අතුරුදන් වීම් ගැන සාක්ෂි දීමට ධෛර්යයක් හෝ පිටකොන්දක් නොමැති වීම හේතුවෙන් ඔහු උසාවිය මඟහැර යන බව කී කුමාර් ගුණරත්නම් මහතා මෙසේද පැවසීය.

"අපි ඔබ අමතන වෙලාවේ ගෝඨාභය රාජපක්ෂයි මහින්ද රාජපක්ෂයි යාපනයේ ජනාධිපතිවරණ ප්‍රචාරක රැස්වීමක් අමතනවා. අපට ප්‍රශ්නය ඒක නෙවෙයි. සැප්තැම්බර් 27 වැනිදා ගෝඨාභයට යාපනය උසාවියට එන්න කිව්වාම ආවෙ නෑ. අපේ පක්ෂයේ ලලිත් සහෝදරයයි, කූගන් සහෝදරයයි 2012 දෙසැම්බර් මාසෙ 9 වැනිදා පැහැරගෙන ගියේ ගෝඨාභය රාජපක්ෂ ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් ලෙස වගකීම දරද්දි. මහින්ද රාජපක්ෂ ආරක්ෂක ඇමති විදියට හමුදාව පොලිසිය පාලනය කරද්දි. ඒ නිසා අපි කියනවා ගෝඨාභය මේ අතුරුදන් වීමට වගකිව යුතු කෙනෙක්. යාපනය අධිකරණය ඔහුට එන්න කිව්වේ සාක්ෂි දෙන්න.

“සැප්තැම්බර් 27 උසාවි යන්න තියෙන නිසා ගෝඨාභය 24 වැනිදා අභියාචනාධිකරණයට ගිහින් කිව්වා ආරක්ෂාව පිළිබඳ ප්‍රශ්නයක් නිසා යාපනය උසාවියේ කැඳවීමට වාරණයක් දෙන්න කියලා. ඒ වාරණය අරගෙන ගෝඨාභය උසාවිය මඟඇරියේ ආරක්ෂාව ප්‍රශ්නයක් නිසා නෙවෙයි කියලා අපි කිව්වා. අද යාපනේ ගිහින් ජනාධිපතිවරණ ප්‍රචාරක රැස්වීම අමතන්න ගෝඨාභයට පුළුවන් වුණාට උසාවියට ගිහින් ලලිත් සහ කූගන් අතුරුදන් වීම ගැන කියන්න බෑ. මොකද ඔහු ජාතික ආරක්ෂාවයි විනයයි ගැන මොනවා කිව්වත් ඔහුගේ හෘදසාක්ෂිය දන්නවා ඔහුගේ කාලයේ කොහොමද ලලිත්ලා, කූගන්ලා අතුරුදන් වුණේ කියලා. අද මොනවා කිව්වත් ඔහු දන්නවා මාධ්‍යවේදීන් අතුරුදන් කළ හැටි, ඝාතනය කළ හැටි. ආරක්ෂක ඇමති මහින්ද රාජපක්ෂ අයියයි, අමාත්‍යාංශයේ ලේකම් ගෝඨාභය රාජපක්ෂ මල්ලියි මේ රටේ අතුරුදන්වීම් වලට විරුද්ධ මතධාරීන්ට කළ හිරිහැර, පහරදීම් සහ ඝාතනවලට වගකිව යුතුයි. ඒක අපි එදත් කිව්වා, අදත් කියනවා. ලලිත් සහ කූගන් සහෝදරවරු අතුරුදන් කිරීම සම්බන්ධයෙන් අපි පැවරූ නඩුව විභාගයට ගන්නකොට කෙහෙළිය කිව්වා ඒ අය අත්අඩංගුවේ හිටියා කියලා. ඒ ගැන ආරක්ෂක කවුන්සිලය දැනගෙන හිටියා කියලා. ගෝඨාභයට උසාවියට ඇවිත් සාක්ෂි දෙන්න කිව්වම ගෝඨාභය මුල්ම අවස්ථාවේ පුද්ගලික හේතුවක් කියලා ආවේ නෑ. දෙවැනි වතාවේ අසනීපයි කියලා ආවේ නෑ. තුන්වැනි වතාවේ අභියාචනාධිකරණයට ගිහින් කිව්වෙ අනේ මට ආරක්ෂාව ප්‍රශ්නයක්, යාපනේ උසාවියට නම් යන්න බෑ කියලා."

[ශිවන්ති ප්‍රනාන්දු]
 

News Order: 
1
මාතෘකා