සිවාජිලිංගම්ට ටෙලෝ දොර වසයි

සිවාජිලිංගම්ට ටෙලෝ දොර වසයි

ජනාධිපතිවරණයට නාමයෝජනා ලබා දුන් එම්.කේ. සිවාජිලිංගම් මන්ත්‍රීවරයාගේ පක්ෂ සාමාජිකත්වය ටෙලෝ සංවිධානයේ මධ්‍යම කාරක සභාව විසින් අහෝසි කර තිබේ.

ටෙලෝ සංවිධානයේ නායක, දෙමළ ජාතික සන්ධානයේ වන්නි දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී සෙල්වම් අඩෙයිකලනාදන් මහතා පැවසුවේ ඔහුගේ පක්ෂ සාමාජිකත්වය නාමයෝජනා බාරදුන් 7 වැනිදා සිට අහෝසි කිරීමට තීරණය කළ බවත් ලබන 12 වැනිදා ටෙලෝ සංවිධානයේ මධ්‍යම කාරක සභාව රැස්ව ඔහු පක්ෂ සාමාජිකත්වයෙන් නිල වශයෙන් ඉවත් කරන බවත්ය.

"දෙමළ ජාතික සන්ධානයේ උතුරු පළාත් සභා මන්ත්‍රීවරයකුව සිටි එම්.කේ. සිවාජිලිංගම් මහතා ටෙලෝ පක්ෂයේ සාමාජිකයෙක්. ටෙලෝ පක්ෂයේ ප්‍රතිපත්ති හා නීතිරීතිවලට පටහැනිව පක්ෂය කිසිදු දැනුවත් කිරීමක් සිදු නොකොටයි ඔහු ජනාධිපතිවරණය සඳහා ඉදිරිපත් වුණේ. මින් ඉදිරියට සිවාජිලිංගම් ටෙලෝ සංවිධානයට කිසිම සම්බන්ධයක් නැහැ. නිසැකවම ටෙලෝ මධ්‍යම කාරක සභාව රැස් වෙලා සිවාජිලිංගම්ට එරෙහිව ක්‍රියාමාර්ගයක් ගන්නවා. ඒ වගේම තවත් දෙයක් කියන්න ඕනෑ. ජනාධිපතිවරණයට තරග කිරීම සඳහා සිවාජිලිංගම් ඉදිරිපත් වුණේ ස්වාධීන අපේක්ෂකයකු විදිහටයි. පක්ෂයට පටහැනිව එලෙස නාමයෝජනා බාරදීම විශාල වරදක්. ඒ සම්බන්ධයෙන් නිසැකවම විනය ක්‍රියාමාර්ගයක් ගන්නවා" යනුවෙන් අඩෙයිකලනාදන් මන්ත්‍රීවරයා කියා සිටියේය.

[රසුල දිල්හාර ගමගේ]

මාතෘකා