ඡන්දය දුන් සියලු දෙනාට ස්තුතියි

 ඡායාරූපය:

ඡන්දය දුන් සියලු දෙනාට ස්තුතියි

නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජනපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස

රටේ පොදු ජනතාවගේ තීරණයට හිස නමමින් 7 වැනි විධායක ජනාධිපතිවරයා ලෙස පත් වන ගෝඨාභය රාජපක්ෂ මහතාට සිය සුබ පැතුම් පිරිනමන බවත් තමාගේ ජයග්‍රහණය වෙනුවෙන් කටයුතු කළ සියලු දෙනාටම ඒ මහතා සිය ස්තුතිය පුද කර සිටින බවත් ඊයේ (17) 2019 ජනාධිපතිවරණයේ අවසන් ප්‍රතිඵල නිකුත් කිරීම සඳහා මැතිවරණ කොමසාරිස් කාර්යාලයේ පැවති රැස්වීමෙන් අනතුරුව නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඒ මහතා මෙසේද පැවසීය.

"පුරා වසර 25ක් මුළුල්ලේ මගේ දේශපාලන දිවියේ ප්‍රධානතම අරමුණ වුයේ මාතෘභූමියේ ජනතාවට සේවය කිරීමයි. දිවා රෑ නොබලා මගේ ප්‍රතිපත්ති ජයග්‍රහණය කරවීමට කටයුතු කළ සියලු දෙනාටම මාගේ ස්තුතිය හා ප්‍රණාමය පුද කරන්න කැමතියි. පසුගිය වසර 5 පුරාවට ස්ථාපනය වූ ස්වාධීන මැතිවරණ කොමිසන් සභාවත්, ආයතනික ප්‍රතිසංස්කරණත් ඒ වගේම සිදු වූ ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රතිසංස්කරණවල ප්‍රතිඵලයක් ලෙස අතිශයින්ම නිදහස් හා සාමකාමී මැතිවරණයක් භුක්ති විඳින්නට සියලු දෙනාටම පුළුවන්කම ලැබුණා. තවදුරටත් මේ ස්වාධීනත්වයේ ශක්ති සම්පන්නභාවය තහවුරු කරමින් එම ආයතන හා ක්‍රියාදාමයන් ශක්තිමත් කිරීමට කටයුතු කරන ලෙස මම ජනාධිපතිතුමාට යෝජනා කර සිටිනවා. ඒකීය ශ්‍රී ලංකාවක් තුළ සියලුම ජාතීන් එක්සේසත් කරගෙන සෞභාග්‍යසම්පන්න, ස්වෛරී සොඳුරු මාතෘභූමියක් නිර්මාණය කරන්න සිවිල් පුරවැසියෙක් ලෙස ලබා දිය හැකි උපරිම දායකත්වය ලබා දීමට මම කටයුතු කරනවා."

News Order: 
1
මාතෘකා