රටේ නායකත්වය ගැන පොදුජන මතය

රටේ නායකත්වය ගැන පොදුජන මතය

ජනාධිපති අපේක්ෂකයෝ මේ මොහොත වන විට තම මැතිවරණ ව්‍යාපාර රට වටා සංවිධානය කරමින් සිටිති. ඔවුන්ගේ සෑම ප්‍රකාශනයක් තුළින්ම පිළිබිඹු වන්නේ රටේ සාමාන්‍ය වැසියාගේ ජීවන මට්ටම ඉහළ දැමීම පිණිස ඔවුන් ගොඩනඟන වැඩපිළිවෙළයි. ඒ සියල්ල අසා සිටින්නේත් ඔවුන්ගේ ක්‍රියාවන්හි ප්‍රතිවිපාක විඳින්නේත් රටේ සාමාන්‍ය ජනතාවයි. රටක පොදු ජනතාව සතු වන පරමාධිපත්‍ය බලය පරීක්ෂාවට ලක් කරන මැතිවරණය නොබෝ දිනකින් එළැඹීමට නියමිතය. එකී නායකත්වය හා දේශපාලන ක්‍රියාවලිය පිළිබඳ රටේ පොදු ජනතාව දරන අදහස් මෙසේ සටහන් කරමු.

කවුරු ආවත් පොඩි මිනිහා තැ‍ෙළනවා

පූජා රාජිනී ඉඩම්පිටිය

-බද්දේගම

(ලොතරැයි විකුණන්නියක්)

කාට ඡන්දෙ දුන්නත් පොඩි මිනිහට නම් තැනක් නෑ. අපේ ඡන්දෙන් ඒගොල්ලො පත්වෙලා ඒගොල්ලො සැප විඳිනවා හැරෙන්න අපට හම්බවෙන දෙයක් නෑ. අපි මේ ලොතරැයි ඇණ ගහන එක, හෙටත් ඇණ ගහනවා. කිසිම සහනයක් නෑනෙ. මට අවුරුදු පනහක් වෙනවා දැන්. කාලයක් තිස්සෙ ඡන්දෙ දීලා තියෙනවා. මේ සැරේ නං දෙන්න එපාම වෙලා තියෙන්නෙ. ඡන්දෙ පස්සෙ මං එළවන්නෙ නෑ. මොන ඡන්දෙ ආවත් එච්චරයි.

දැන් දේශපාලකයො නෙවෙයි ව්‍යාපාරිකයොයි ඉන්නෙ

ශාන්ති හපුගලගේ

ගාල්ල

ගොඩාක් දුරට යුරෝපියන්ස්ලගෙන් මේ රට පාලනය කරන්න ගත්ත අය හරි ආකාරව ඒක කළේ නෑ. සුදු මහත්තුරුන්ගෙ තිබ්බ කළමනාකරණය මේගොල්ලො හරියට ඉගෙනගත්තෙ නෑ. දැන් ඉන්නෙ ධනවත්තු නෙවේ ධනවැද්දො. දේශපාලකයො නෙවේ ව්‍යාපාරිකයො ඉන්නෙ. කවුරු ආවත් ඔය තත්ත්වෙන් රට ගොඩගන්න බෑ. ඔය ආදර කතා බොරු. ජාතික කතාවල් බොරු. මේ යන රටාවත් එක්ක මිනිස්සු තේරුම් ගන්න ඕනෙ එක එක්කෙනාගෙ පස්සෙ ගිහිල්ලා ඒ අයව බලාපොරොත්තුවෙන් ඉඳලා බෑ කියලා. අපේ කාලෙ දැන් ගියා. ඉස්සරහ පරම්පරාවට රටක් ඕනෙ.

 

සමබරව රට ගෙනියන අයෙක් අවශ්‍යයි

චන්දන වන්නිආරච්චි

රටට අවශ්‍ය ත්‍රස්තවාදී බිය නැති කරන කෙනෙක්. රටේ දරුවන්ට යහපතක් වෙන නායකත්වයක් තමයි ඕන කරන්නෙ. පහුගිය කාල සීමාව එච්චර සාර්ථක නැහැ. ඒක පැහැදිලියි. හැම දෙයක්ම සමබරව ගෙනියන කෙනෙක් තමයි ඕනෙ. රටේ සංවර්ධනය වුණත් හරියට නැහැනෙ.

 

කාටවත් ඡන්දෙ දෙන්නෙ නෑ

අනෝමා මහරගම

(ලී බඩු සාප්පු හිමිකාරිණී)

පොඩි අයට ඇත්තටම සහනයක් නෑ. නිකං කඩවල් ඇරන් ඉඳලා හරියන්නෙ නැහැනෙ. පඩි දෙන්න විදියක් නෑ. මේ රට උකස් කරගෙන හරි, රට විකුණලා හරි ඒගොල්ලො වැජඹෙනවා. පොඩි මිනිහා ගැන හිතන්නෙම නෑ. බිස්නස් නැතුව කඩවල් වැහෙනකොට ඒ මිනිස්සුන්ට රස්සා දෙන්නෙ කවුද? ඔය එක ඇමති කෙනෙක් එනවද? කවුරු ආවත් අපි ගැන බලන්න කට්ටිය නෑ. බලය නැතිකොට මොළේ තියෙනවා, බලය ලැබුණම මොළේ නෑ. එකෙකුටවත් ඡන්දෙ නම් දෙන්නෙ නෑ. දීලා වැඩක් නෑ. අපේ ළමයා ගමේ ඉස්කෝලෙට දාගන්න බෑනෙ. මීටර් අච්චර මදි මෙච්චර මදි කියනවා. මොන පක්ෂෙ ආවත් ඔච්චරයි.

එන්න ඕන වැඩක් කරන කෙනෙක්

එච්.එම්. නිමල්

කඳාන

ආර්ථිකය සම්පූර්ණයෙන්ම වැටිලා තියෙන්නෙ. එන්න ඕනෙ අලුත් නායකයෙක් නෙවෙයි. වැඩක් කරන නායකයෙක්. මම දෙන්නෙ එහෙම කෙනෙක්ට. ගොඩාක් දුරට දැන් අපේ බිස්නස් වැටිලා තියෙන්නෙ. එදා වේල හම්බ කරන්නෙ අමාරුවෙන්. ජීවත් වෙන්නෙ අමාරුවෙන්.

 

අපේ දරුවන්ට රටක් ඕනෙ

මාලි සිගේරා

පන්නිපිටිය පැලන්වත්ත

අපි රට බේරගන්න ඕනෙ. දැන දැන අපිට අමාරුවේ වැටෙන්න බෑනෙ. ඒ නිසා අපේ දරුවන්ට රටක් ඕනෙ. එක එක්කෙනා එක එක විදියට වැඩ කරනවා. එහෙම රටක් ගෙනියන්න බැහැනෙ. දැන් රුපියල් පන්දාහක් ගත්තම එක ෂොපින් බෑග් එකක බඩු ගෙනියන්න පුළුවන්. හාල් කිලෝවක් කීයද? ඔය 70ට 80ට තියෙන හාල් කන්නෙ කොහොමද? බල්ලෙක්වත් කන්නෙ නෑ. අපේ ළමයා විශ්වවිද්‍යාලෙ ගිහිං තාම ගෙදර. රස්සා දෙනවා කියනවා. ලැබෙන්නෙ නෑ. අරවට මේවට රෙජිස්ටර් වෙන්න කියලා සල්ලි ඉල්ලනවා. මොකද්ද මේ? මේ හැමදේම හොයලා බලන ජනාධිපතිතුමෙක් තමයි දැන් අවශ්‍ය කරන්නේ.

 

පරිපූර්ණ නායකයෙක්

එච්.එම්.එච්. බණ්ඩාර

අද ව්‍යාපාරික ලෝකය ගත්තොත් ඒ පැත්ත වැටිලා තියෙන්නෙ. මොන ආණ්ඩුවවත් හොඳ නෑ. මහින්ද රාජපක්ෂ ආණ්ඩුව කම්කරු ජනතාවට රැකියා නැති කළා. මං දන්න විදියට චීනයෙන් ශ්‍රමිකයො මෙහාට ගෙනාවා. ඒක රටකට අලාභයක්.

 

අපේ දේ ගැන හිතන නායකයෙක් අවශ්‍යයි

නිට්ටඹුව අත්තනගල්ල ප්‍රදේශවාසියෙක්

මේ රටේ දැන් කන්න බොන්න තියෙනවද හරියට? ඔක්කොම විස. මං ඒ කාලේ රස්සාව කළේ පේෂකර්මාන්තය සම්බන්ධව. ඊට පස්සෙ කෘෂි කර්මාන්තයට අදාළව. ඒ මැතිනියගෙ කාලේ. ඒ කාලේ මැතිනිය අපේ දේවල්වලින් ආර්ථිකය ශක්තිමත් කරන වැඩපිළිවෙළක් හැදුවා. මේ පොළව හරි සරු පොළවක්. අද කෝ ඒ පොළව? මනුස්සයකුට කන්න දෙයක් තියෙනවද ලංකාවෙ. රබර් පටිය පවා ගෙන්නන්නෙ පිටරටින්. මං කියන්නෙ මේ වෙලාවෙ අපේ දේ ගොඩනඟන්න පුළුවන් නායකත්වයක් ඕනෙ කියන එක. අනෙක් කාරණාව ආරක්ෂාව. කවුද දන්නෙ මේ අපි ඉන්න තැන අහල පහළ බෝම්බ තියෙනවද කියලා. ඒ තරම් බයෙන් මිනිස්සු ජීවත් වෙන්නෙ. අපේ දේ ගැන හිතන කෙනකුට මම ඡන්දෙ දෙනවා.

[සසංකා විතානගේ]

News Order: 
4
මාතෘකා