ජනතාව අපට බලය දෙන්නේ සේවයක් බලාපොරොත්තුවෙන් : අමාත්‍ය සජිත් ප්‍රේමදාස

 ඡායාරූපය:

ජනතාව අපට බලය දෙන්නේ සේවයක් බලාපොරොත්තුවෙන් : අමාත්‍ය සජිත් ප්‍රේමදාස

රාජ්‍ය බලය යනු ඉතාම වටිනා බලයක්. රටේ ජනතාව අපව පත් කරන්නේ විශ්වාසයක් මත. අප හොරකම්, කොල්ලකෑම් සිදු නොකරාවි කියා ජනතාව විශ්වාස කරනවා. ජනතාව අපට බලය ලබාදී බලාපොරොත්තු වන්නේ ඔවුන්ට සේවයක් ඉටු කර ගැනීම. අද මෙහි ඉඩම් ලැබුණු අය අපෙන් වැඩක් වුණාද කියලා හිතලා බලන්න කියලා මම ඉල්ලනවා. අද ඔබට ලැබුණු මෙම ඉඩම් කෝටි ගණනක් වටිනවා.” යැයි නිවාස ඉදිකිරීම් හා සංස්කෘතික කටයුතු අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා පැවසීය. අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ ඊයේ (28) හම්බන්තොට දිස්ත්‍රික්කයේ ලුණුගම්වෙහෙර, පහළ මත්තල ඉදි වූ ‘ඇත්රජගම’ උදා ගම්මානය ජනතා අයිතියට පත්කිරීමේ අවස්ථාවට එක්වෙමිනි. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා මෙසේද කීය.

“‘ඇත්රජගම’ උදා ගම්මානය මා දකින්නේ ඓතිහාසික ගම්මානයක් ලෙසයි. මෙම ගම්මානය පිහිටි ඉඩම ඇතුළු මෙහි ඉඩම් සම්පත බෙදා දීමට සැ,සුම් කර තිබුණේ අගනුවර කෝටිපති ව්‍යාපාරික කණ්ඩායම් රැසකටයි. ඓතිහාසික ඉඩම් කොල්ලයක් සිදුකර මෙම ඉඩම් බොහෝ අපූරුවට මැන පිඹුරුපත් සකස් කර තිබුණා. අද අප මෙම අභිමානවත් ‘ඇත්රජගම’ ඉදිකර පොඩි මිනිසාට බෙදා දෙන්නේ මෙම ප්‍රදේශයේ පොදු ජනතාව සතු ඉඩම් කෝටිපති ව්‍යාපාරිකයන්ට බෙදා දෙන කූට වැඩසටහන පරාජය කිරීමෙන් පසුවයි.

“ආණ්ඩු පත්වන්නේ කෝටිපතියන් ආරක්ෂා කිරීමටද? පාලකයන්ට ඉඩම් කොල්ලයන් ක්‍රියාත්මක කරන්නටද? නැතිනම් නැති බැරි මිනිසුන්ට භේදයකින් තොරව ඉඩම් බෙදා දෙන්නටද කියා රටේ ජනතාව තීන්දු කළ යුතුයි. අප මෙම ඉඩම් සියල්ල බෙදා දෙන්නේ ජාති, ආගම්, පන්ති, පක්ෂ භේදයෙන් තොරවයි. කිසිදු දවසක මෙලෙස පරාර්ථකාමී අපක්ෂපාතී සේවාවක් මෙරට සිදු වී නැහැ. නමුත් 2015දී රටේ ජනතාව වෙනත් තීන්දුවක් ගත්තා නම් ඔබ වැනි පොඩි මිනිසුන්ට අද මෙම ඉඩම් හිමිවනවා තියා මේවාට ළං වීමටවත් හැකි වන්නේ නැහැ.

“සජිත් ප්‍රේමදාස මෙම ඉඩම් එක් එක් අයට බෙදා දෙනවා.’ කියා ඇතැමුන් මට විරුද්ධව චෝදනා කළා. පෙත්සම් ගැසුවා. මා කිසිවිටක මෙම ඉඩම් එක් එක් අයට බෙදා දුන්නේ නැහැ. මා මෙම ඉඩම් ලබා දුන්නේ ඉඩම් නොමැති, කුලියට, බද්දට, ජීවත් වන නිවාස නොමැති සහ මහගෙදර ජීවත් වුණු පවුල්වලටයි. පසුගිය පාලකයන් මෙන් අප මෙම ඉඩම් කිසි කෙනකුට පාවා දුන්නේ නැහැ. එළිපිට හෝ අත යටින් විකුණුවේ නැහැ. ඉඩම් කොල්ලවලට අප ඉඩ දුන්නේ නැහැ. පොදු ජනතාව වන ඔබට එය තේරෙනවාද කියා මා දන්නේ නැහැ. අද ඔබට ලැබෙන මෙම වටිනා ඉඩම් ටික අහිමි වුණා නම් තමයි එය හොඳින් ඔබට දැනෙන්නේ. මෙම ඉඩම් මා කිසිවිටෙක මාගේ ආරක්ෂකයන්ට හෝ මගේ පවුලේ සාමාජිකයන්ට බෙදා දී නැහැ. මා කිසිම විටක එසේ කරන්නෙත් නැහැ. ඒ මක්නිසාද අප හොඳින් දන්නවා ජනතා මනාපයේ වටිනාකම. අපට ඒ පිළිබඳව තක්සේරුවක් තිබෙනවා. ජනතා ආශිර්වාදය අපට හුඟක් වටිනවා. මා මෙහි ඉඩම් මට හෝ මගේ පවුලේ සාමාජිකයන්ට මාළිගා සාදා ගන්නට වෙන්කර ගෙන ඇති බව ඔබ කිසිවිටක අසා තිබෙනවාද? නමුත් දුටු දුටු තැන ඉඩම් අල්ලා ගන්නා යුගයක් තිබුණා. බොරු නම් මහවැලි සංවර්ධන කලාපයට, මයුරපුරට ගිහින් බලන්න ඉඩම් කට්ටි 20කට වඩා ආරක්ෂකයකුට ලබා දී තිබෙනවා.

“අද මට සමහරු චෝදනා කළාට, විවේචන කළාට තවත් වසර 10කින් පමණ මෙම ඉඩම් තක්සේරු කරන විට මෙහි වටිනාකම බලන විට අප සිදු කළ සේවය ඔබටම තේරුම් යාවි. අගනුවර සිටින කෝටිපතියන්ට ව්‍යාපාරික පැලැන්තියට මෙම ඉඩම් බෙදනවා වෙනුවට යහපාලනයේ නාමයෙන් මෙම වටිනා සම්පත පුංචි මිනිසුන්ට බෙදා දී ඉතාම අලංකාර උදා ගම්මාන නිර්මාණය කිරීමට හැකි වීම අප ලැබූ සුවිශාලම ජයග්‍රහණයයි. අද අපි ‘ඇත්රජගම’ හරහා යථාර්ථයක් බවට පත් කළේ පොඩි මිනිසාගේ මාළිගා සිහිනයයි.

“යහපාලන රජය ආරම්භ කළ යළි පිබිදුනු ගම් උදාව වැඩසටහන යටතේ දිවයිනේ ජනතා අයිතියට පත්වන 192 වැනි උදා ගම්මානය වන්නේ ‘ඇත්රජගම’ උදා ගම්මානයයි. මෙම උදා ගම්මානය හම්බන්තොට දිස්ත්‍රික්කයේ ලුණුගම්වෙහෙර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පහළ මත්තල ප්‍රදේශයේ පිහිටා ඇති මෙය හම්බන්තොට දිස්ත්‍රික්කයේ ජනතා අයිතියට පත්වන වන උදා ගම්මානයයි. අද දින ජනතා අයිතියට පත් වන ‘ඇත්රජගම” උදා ගම්මානය නව නිවාස 68කින් සමන්විතයි. ඉඩමක් හා නිවසක් නොමැති පවුල් 68කට අප මෙම ගම්මානයෙන් නොමිලේ ඉඩම් ලබාදී නිවාස ඉදිකර ගැනීම සඳහා ජාතික නිවාස සංවර්ධන අධිකාරිය හරහා ඉතා සුළු පොලී ණය මුදල්ද ලබා දුන්නා. ඔවුන් ඊට තම මුදල්ද එක්කර අද ඉතා වටිනා නිවාස ඉදිකර ගෙන තිබෙනවා. ඒ ප්‍රජා සහභාගීත්ව නිවාස සංවර්ධන වැඩසටහන යටතේයි. මෙම උදා ගම්මානයේ කටයුතු අංග සම්පූර්ණව නිම කිරීම සඳහා රුපියල් ලක්ෂ 589ක පමණ මුදලක් වැය කර තිබෙනවා. පිරිසුදු පානීය නල ජලය, විදුලිය, ප්‍රවේශ මාර්ග හා විධිමත් අභ්‍යන්තර මාර්ග පද්ධතියක් ඇතුළු සියලු යටිතල පහසුකම්වලින් ‘ඇත්රජගම’ උදා ගම්මානය සමන්විතයි.

“අද අප නිවාස ඉදිකිරීම් හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශය ලෙස රට පුරා ඉලක්ක සහිත ඉතාම ශීඝ්‍රගාමී නිවාස සංවර්ධනයක් ක්‍රියාත්මක කරමින් සිටිනවා. අපේ මූලික ඉලක්කය වන්නේ වසර 2025 වන විට රටේ සැමට සෙවණ ලබා දීමයි. අපගේ පළමු ඉලක්කය වන්නේ 2019 වසරේ සැප්තැම්බර් මස අවසන් වන විට රට තුළ උදා ගම්මාන 2,500ක් ඉදිකිරීමයි. ඒ අනුව පළමු අදියරේදී උදා ගම්මාන 2,500ක් දෙවන අදියරේදී උදා ගම්මාන 5,000ක් තුන්වැනි අදියරේදී උදා ගම්මාන 10,000ක් සහ සිව්වන අදියරේදී නැවත උදා ගම්මාන 2,500ක් වශයෙන් අප ආරම්භ කිරීමට බලාපොරොත්තු වෙනවා. ඒ අනුව වසර 2025 වන විට රටේ උදා ගම්මාන 20,000ක් ඉදි කර ජාති, කුලමල, පන්ති, පක්ෂ, පාට භේදයෙන් තොරව සැමට සෙවණ ලබා දීමට කටයුතු කරන බව මා සතුටින් ප්‍රකාශ කරන්නට කැමතියි. මේ වන විට දිවයින පුරා උදා ගම්මාන 2,319ක පමණ ඉදිකිරීම් කටයුතු අප ආරම්භ කර තිබෙනවා. අපගේ ගම්මාන 2,500 පළමු ඉලක්කය වෙත යන්නට තවත් ගම්මාන 181ක් අප ඉදි කළ යුතුයි. අතිගරු ජනාධිපතිතුමාගේ සහ ගරු අගමැතිතුමාගේ ශක්තිය හා ආශිර්වාදය මත කුමන බාධා විවේචන එල්ල වුවද මා කෙසේ හෝ මෙම ඉලක්කය ජය ගන්නා බව ප්‍රකාශ කරනවා.

“‘ඇත්රජගම’ උදා ගම්මානය ජනතා අයිතියට පත් වීමත් සමඟ මෙම ප්‍රදේශයේ ජනතාවට ප්‍රතිලාභ රැසක් ලබා දීමට අප කටයුතු කරනවා. අද දින මෙම ගම්මානයේ පවුල් 68ට නිවාස අයිතිය මෙන්ම රුපියල් ලක්ෂ 408ක් වටිනා බිම් කොටස් 68ක අයිතිය හිමි වනවා. ප්‍රදේශයේ අඩු ආදායම්ලාභී පවුල් 500කට රුපියල් ලක්ෂ 1,000ක් වටිනා ‘විසිරි නිවාස ණය’ ලබා දෙනවා. පවුල් 50කට රුපියල් ලක්ෂ 250ක් වටිනා ‘ග්‍රාම ශක්ති’ නිවාස ආධාර ලබා දෙනවා. ප්‍රතිලාභීන් 6 දෙනකුට රුපියල් ලක්ෂ 29ක් වටිනා ‘විරුසුමිතුරු’ නිවාස ආධාර ලබා දෙනවා. පවුල් 10කට සින්නක්කර ඉඩම් ඔප්පු ලබා දෙනවා. ප්‍රදේශයේ සිටින දෘශ්‍යාබාධ සහිත පුද්ගලයන් 45 දෙනකුට නොමිලේ ඇස් කණ්ණාඩි ලබා දෙනවා.”

මාතෘකා