සමහරු ත්‍රස්තවාදයේ මුවාවෙනුත් දේශපාලනය කරනවා : ඇමතිනී තලතා අතුකෝරළ

 ඡායාරූපය:

සමහරු ත්‍රස්තවාදයේ මුවාවෙනුත් දේශපාලනය කරනවා : ඇමතිනී තලතා අතුකෝරළ

ත්‍රස්තවාදය මුවාවෙන් දේශපාලනය කරන පිරිසක් මේ රටේ ඉන්නවා. සුළු ජාතීන් කොටවන්නේ කොහොමද කියලා බලාගෙන ඉන්නවා. අපි සමඟියෙන් ජීවත් විය යුතුයි. බෞද්ධයෝ කියන්නේ පළි ගන්න ජාතියක් නෙමෙයි. අපිට ඕන මේ රට සංවර්ධිත රටක් කරන්නයි. මේ ත්‍රස්තවාදය නිසා ගම්වල අපි කලහ කර ගත යුතු නැහැ. මේක අන්තවාදී ත්‍රස්තවාදයක්. මේක ආවේ කොහොමද, මේවාට සල්ලි ආවේ කොහොමද කියලා හොයන්න ඕන. ජාත්‍යන්තර ත්‍රස්තවාදය ඉතා භයානකයි. මේ ත්‍රස්තවාදීන් අපි දවස් දෙක තුනක් ඇතුළත අත්අඩංගුවට ගත්තා. හිටපු ජනාධිපතිතුමා කිවුවා මාධ්‍ය නිදහස ඇති කරලා තියෙනවා කියලා. ඒ කාලේ තිබුණ මාධ්‍ය නිදහස ගැන අපි දන්නවා.” යැයි අධිකරණ හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍ය තලතා අතුකෝරළ මහත්මිය පැවසුවාය.

අමාත්‍යවරිය මේ බව ප්‍රකාශ කළේ ඊයේ (14) රන් මාවත් මාර්ග වැඩ සටහන යටතේ රුපියල් ලක්ෂ 500ක මුදලක් වැය කරමින් කාපට් කර සංවර්ධනයට නියමිත බලංගොඩ බෙලිහුල්ඔය ලඳුයාය මාර්ගය කාපට් කිරීම ආරම්භ කළ අවස්ථාවට එක්වෙමිනි. මේ යටතේ කිලෝමීටර් 3.4ක් සංවර්ධනය කිරීමට නියමිතය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරිය මෙසේද සඳහන් කළාය.

“මාධ්‍ය අද වල් බූරූ නිදහසක් භුක්ති විඳිනවා. විශේෂයෙන් පෞද්ගලික මාධ්‍ය. එදා වගේ සුදු වෑන් සංස්කෘතියක් අද නැහැ. අද උදේ ඉඳන් හවස් වෙනකල් ජනාධිපතිතුමාටත් අගමැතිතුමාටත් බණිනවා. මේ රජය බාර ගන්නකොට බිලියන දහ දාහක ණයක් තිබුණා. ස්වාභාවික විපත් ආවා. නාය ගියා. කුණු කඳු කඩා වැටුණා. අපි ඒවාට මුහුණ දුන්නා. අනිත් අයට බලය පාවිච්චි කරලා අපි දේශපාලනය කරන්නේ නැහැ. කුමන්ත්‍රණ කරලා ආණ්ඩු පෙරළන්න බැහැ.

ඡන්දයෙන් ආණ්ඩු ගෙදර යවන්න පුළුවන්. මේ පාරවල් හදන්න ඕන පළාත් සභාවෙන් නැත්නම් ප්‍රාදේශීය සභාවෙන්. ඒත් ඒ අයට ඒක කරන්න බැරි වුණා. අපි ආණ්ඩු ගත්තේ වගකීම් ඉටු කරන්න. එදා 2015 ජනාධිපතිවරණය වෙලාවේ අපිට මේ ප්‍රදේශවල දේශපාලනය කරන්න බැරි වුණා. ඒත් අපි විපක්ෂයේ අයට කෙනෙහිලිකම් කරන්නේ නැහැ. අද අවුරුදු පනහ හැට ඔප්පු නැති අයට ඔප්පු දෙනවා. රජයක වගකීම ජනතා අවශ්‍යතා උපරිම ආකාරයට ඉටු කිරීමයි.

“රන් මාවත් ව්‍යාපෘතිය යටතේ අද දිනය තුළ රට පුරාම මාර්ග සංවර්ධන ව්‍යාපෘති පටන් ගන්නවා. එහි ජාතික උත්සවය අගමැතිතුමාගේ ප්‍රධානත්වයෙන් ශ්‍රී පාද මාර්ගයේ වැඩ පටන් ගෙන ආරම්භ කළා. පසුගිය ජනාධිපතිවරණය වෙලාවේ අපිට මේ පළාතේ ඇතැම් අය බාධා කළා. අපිට හොඳට සැලකුවා. අපිට ඒවාට මුහුණ දෙන්න පුළුවන්. මොකද අපි ජනතාව තලලා පෙළලා මිනිස්සුන්ට බොරු පොරොන්දු දීලා ඡන්ද පොරයකට වැටිලා නැහැ. අපි ජනවාරි 08 වැනිදා මේ රටේ වෙනසක් ඇති කළා. අපි පසුගිය ජනාධිපතිවරණය වෙලාවේ මේ මාර්ගය හදා දෙනවා කියලා පොරොන්දු වුණා.

ඒ අනුව අපි අද එය කළා. තව මාස තුනක් හතරක් යනකොට මෙහි වැඩ අවසන් කිරීමට නියමිතයි. මේ ප්‍රදේශයේ සමහර අය කියලා තියෙනවා පාර හදලා දුන්නොත් තමයි පක්ෂයට ඡන්දය දෙන්න එන්නේ කියලා. එහෙම ඕන නැහැ. බලෙන් අපි අපේ පක්ෂයට බඳවා ගන්නේ නැහැ කරුණු අවබෝධ කර ගෙන අපේ පක්ෂයට එන්න. අපි අනිත් අය වගේ නෙමෙයි අපි බොරු පොරොන්දු දෙන්නේ නැහැ. පසුගිය කාලය තුළ දැවැන්ත සංවර්ධනයක් මේ බලංගොඩ හා නිවිතිගල කොට්ඨාස තුළ අපි කරලා තියෙනවා. විශාල පාලම් සංඛ්‍යාවකුත් අපි ඉදි කළා.”

මාතෘකා