අපි දැන් පිල් බෙදුණොත් ත්‍රස්තවාදීන්ට වාසියි මේ ත්‍රස්තයන් අනෙක් රටවලට කළ දේ ලංකාවට කරන්න දෙන්නේ නෑ : ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන

 ඡායාරූපය:

අපි දැන් පිල් බෙදුණොත් ත්‍රස්තවාදීන්ට වාසියි මේ ත්‍රස්තයන් අනෙක් රටවලට කළ දේ ලංකාවට කරන්න දෙන්නේ නෑ : ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන

මෙවැනි ජාතික ව්‍යසනයකදී පැමිණෙන ප්‍රශ්නවලට සියලු දෙනා සාමූහිකව මුහුණ දිය යුතු බවත් පිල් බෙදී, එකිනෙකා විවේචනය කරමින්, එකිනෙකාට ඇඟිල්ල දිගු කරමින් සිටින විට එමඟින් ත්‍රස්තවාදීන් ශක්තිමත් වන බවත් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පැවසීය.

මධ්‍යම පළාතේ දේශපාලන නායකත්වය, රාජ්‍ය නිලධාරීන් සහ ආරක්ෂක අංශ ප්‍රධානින් සමඟ හමුවක් පසුගියදා (10) ජනාධිපති මන්දිරයේදී පැවති අතර එහිදී ජනාධිපතිවරයා මේ බව පැවසීය.

එහිදී ජනාධිපතිවරයා වැඩිදුරටත් අදහස් දක්වමින් මෙසේද කීය.

“අප්‍රේල් 21 වැනිදා සිදුවූ ත්‍රස්තවාදී ප්‍රහාරය සමඟම මම ඊට පසුවදා 22 උදේ මුලින්ම කළේ මේ සිදුවීම සිදුවූ හේතු සහ මෙම සිදුවීමට අදාළ ආරක්ෂක අංශවල එහෙම නැත්නම් දේශපාලන අංශවල කොහේ හෝ තැනක වැරැද්දක් අඩුපාඩුවක් දුර්වලතාවක් ඇති වුණාද කියලා සොයා බැලීමයි. ශ්‍රේෂ්ඨාධිකරණ විනිශ්චයකාරතුමකුගෙන් සමන්විත ඉහළම බලය තිබෙන පරීක්ෂණ මණ්ඩලයක් පත් කිරීමත් කළා. මේ පරීක්ෂණ මණ්ඩලයේ මේ වන විට අතුරු වාර්තා දෙකක් ලැබිලා තිබෙනවා. මම හිතනවා ලබන සතියේ අවසන් වාර්තාව මට ලැබෙයි කියලා. ලැබුණු අතුරු වාර්තා දෙකම අලුත් නීතිපතිතුමාට බාර දීලා තිබෙනවා අතුරු වාර්තාවල සඳහන් කරුණු අනුව ඉදිරි අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීම සඳහා.

“මම බස්නාහිර පළාතේ පොලිස් ස්ථානාධිපතිවරු ඇතුළු සියලුම පොලිස් නිලධාරීන්ව පසුගිය 24 වැනිදා රාත්‍රී 9.00ට කැඳෙව්වා. ඒ වගේම ත්‍රිවිධ හමුදා ප්‍රධානින්, පොලිසිය, බුද්ධි අංශ ඊට අදාළ අනෙකුත් රාජ්‍ය ආයතන, ප්‍රධාන රාජ්‍ය නිලධාරීන් ඒ සියලු දෙනා සමඟ දවසේ පැය 24 මම අඛණ්ඩව වරින් වර සාකච්ඡා කරමින් අද රට පත්වී තිබෙන තැනට රට ගන්නට අවශ්‍ය කටයුතු කළා. ත්‍රස්තවාදය පිළිබඳව අත්දැකීම අප සියලු දෙනාටම තිබෙනවා. වසර 30ක් අපි බෝම්බත් සමඟ ජීවත් වුණා. මේ රටේ මට කලින් සිටි සෑම ජනාධිපතිවරයකුගේම කාලවල බෝම්බ පුපුරලා තිබෙනවා. දිනපතා බෝම්බ පුපුරනවා. 21 වැනිදා බෝම්බ පිපිරීම අලුත් අත්දැකීමක් නොවෙයි. නමුත් එය ඉසිලිය නොහැකි ඉතාම බරපතළ ඛේදවාචකයක්. මහා ජාතික ඛේදවාචකයක අපට උසුලන්න බැරි වේදනාවක්. අපේ හිත්වලින් යන්නේ නැති කනගාටුවක්.

“පොලිසිය, යුද, නාවික, ගුවන් ත්‍රිවිධ හමුදාව, සිවිල් ආරක්ෂක, බුද්ධි අංශ මේ සිදුවීමෙන් පසුව කටයුතු කළ ආකාරය පිළිබඳව එදා වසර 30ක යුද ජයග්‍රහණයේදී වගේම මුළු මහත් ජාතියේ ගෞරවය ප්‍රණාමය ඔබ සියලු දෙනාටම පිරිනැමෙනවා. ඔවුන්ගේ කැපවීම, උනන්දුව, උත්සාහය, අධිෂ්ඨානශීලීභාවය, සටන්කාමීත්වය, වීරත්වය මේ තත්ත්වය පාලනය කරන්න දැඩි ලෙස බලපෑවා. අපේ රටේ ලෝකයේ තිබෙන බොහෝ රටවල්වල නොතිබෙන සමාජ සංස්කෘතික, දේශපාලන ලක්ෂණ තිබෙනවා. ඒ තමයි ලෝකයේ බොහෝ රටවල් ජාතික ආපදාවක් ජාතික ව්‍යසනයක් වූ විටක සියලු දෙනා එකට සිට ගන්නවා. අපේ අද සියයට අනූනවයක් එකට හිටගෙන තියෙනවා මේ ප්‍රශ්නය විසඳන්න. නමුත් තැන් තැන්වලින් කීප දෙනෙක් මාධ්‍ය හරහා වීරත්වයක් පෙන්වන්න හදනවා තමන් තමයි දක්ෂයෝ කියලා. මෙවැනි ප්‍රශ්නයකදි අපේ පාර්ලිමේන්තුව පිළිබඳව තිබෙන්නේ දැඩි කනගාටුවක් සහ වේදනාවක්. ප්‍රශ්නයක් තේරුම් නොගෙන කතා කිරීම සහ හැසිරීම පිළිබඳව. අප්‍රේල් 21 ප්‍රහාරයත් අප්‍රේල් 26 පිපිරීමත් ගැටුමත් අපේ රටේ ප්‍රශ්නයක් නොව, ලෝකයේ ප්‍රශ්නයක් ජාත්‍යන්තර ප්‍රශ්නයක් කියන එක අපි පැහැදිලිව තේරුම් ගන්නට ඕනෑ.

“මේ දිනවල ජාත්‍යන්තර ත්‍රස්තවාදය මර්දනය කිරීමේ බුද්ධි විශේෂඥයන් විදේශවලින් පැමිණෙනවා. ඒ අය අපේ අය සමඟ වැඩ කරනවා. අපේ ආරක්ෂක අංශ ඉතාමත් දක්ෂ වුණා රට තුළ ත්‍රස්තවාදීන්ගේ මූලස්ථාන හොයා ගෙන වැටලීම් කරන්න, අත්අඩංගුවට ගන්න. අපට යුද ශක්තියක් නැහැ ඔවුන්ගේ මූලස්ථාන හොයාගෙන යන්න. අප කළ යුත්තේ අපේ රට රැකගන්න එකයි. ඒ නිසා කළ හැකි ඉහළම සේවය අපේ බුද්ධි අංශ කළා. රට තුළ ත්‍රස්තවාදීන් මර්දනය කරන එක හා විනාශ කරන එක ඔවුන් කළා. මරාගෙන මැරුණු ගැටුම්වලින් ඔවුන් විශාල පිරිසක් මියගියා. මේ වනවිට 70ක් විතර අත්අඩංගුවේ ඉන්නවා. මියගිය හා අත්අඩංගුවට ගත් පිරිස බැලුවම අපි මේ වැටලීම්වල ඉහළම සාර්ථකත්වයක් අත් කරගෙන ඉන්නවා. අපි අනවශ්‍ය බියක් ඇති කර ගත යුතු නැහැ.

“අපි ආණ්ඩුවක් විදියටත් විපක්ෂය විදියටත් ඒ සඳහා එකට වැඩ කරනවා. ඒ ගැන මා ඉතාමත් සතුටු වෙනවා. ආණ්ඩුවත් විපක්ෂයත් මේ ප්‍රශ්නයේදී ත්‍රස්තවාදය විනාශ කරන්න එකඟත්වයකින් කටයුතු කරනවා වගේම දෙපැත්තෙම ඉන්නවා අරහෙන් මෙහෙන් පනින අය. ඒවා තමයි මාධ්‍ය වැරදි විදියට පාවිච්චි කරන්නේ. අපිට අද ජාතික ආරක්ෂාව පිළිබඳව ස්ථාවර තත්ත්වයක් පවත්වාගෙන යාමේදී මිනිසුන්ගේ මනස සන්සුන් කිරීමේ ලොකුම අභියෝගය වන්නේ සමාජ වෙබ් අඩවි හා මාධ්‍යයි. මාධ්‍ය කොතෙක් දුරට සදාචාරාත්මකව කටයුතු කරනවාද කියන ප්‍රශ්නයයි. මීට වසර දෙකකට පෙර සිංහල හා මුස්ලිම් ජනතාව අතරේ ගැටුමේදී මම සමාජ මාධ්‍ය අවහිර කළා. ඒකට ලොකු විවේචන ආවා. හැබැයි අද සමාජ මාධ්‍ය අවහිර කළාට වැඩක් නැහැ. තියෙන තාක්ෂණය මඟින් වෙනත් පැත්තකින් ආපහු එනවා. ඒ ඇවිත් යහපත් දෙයක් කරනවා නම් හොඳයි. නමුත් ඉතා අසත්‍ය තොරතුරු මඟින් ජනතාව නොමඟ යවනවා සමාජ මාධ්‍ය විසින්. විශේෂයෙන්ම පෞද්ගලික නාලිකා සුදුසු දේ වගේම නුසුදුසු දේද පෙන්වනවා. රට සන්සුන් කරන්න ආරක්ෂක අංශ සිදුකරන මෙහෙයුම්වලදී ඒ ඇතිවන අවුල් සහගත තත්ත්වය බාධාවක් වෙනවා.

“අපි සියලු දෙනාටම අවශ්‍ය වෙලා තිබෙන්නේ සාමකාමී රටක්. ජාත්‍යන්තර ත්‍රස්තවාදී ව්‍යාපාර ලෝකයේ කිසිම රටක ස්ථීර ලෙස පැවතුණේ නැහැ. එක අපි දන්නවා. ත්‍රස්තවාදය විනාශ වෙනවා. අපේ රටෙත් ත්‍රස්තවාදය විනාශ වුණා. ජාත්‍යන්තර වශයෙනුත් විනාශ වෙනවා ඒ ජාත්‍යන්තර වශයෙනුත් විනාශ වන තෙක් අපි අපේ රට රැකගත යුතුයි. අපේ රට රැකගන්න ත්‍රිවිධ හමුදාව, පොලිසිය, සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුව, බුද්ධි අංශ සිදුකරන ව්‍යුහාත්මක, සංවිධානාත්මක වැඩපිළිවෙළ පිළිබඳව වගේම දිස්ත්‍රික්කය විදියට, පළාත විදියට ඔබේ වගකීමේදී මෙතෙක් කර ඇති සේවයට මම ඔබ සියලු දෙනාට ස්තූතිවන්ත වෙනවා වගේම ඔබ තවත් මේ සඳහා සංවිධානය විය යුතු බව මම හිතනවා.

“රටක පාසල් වහලා තියෙනවා නම් එය ඒ රටේ විශාල පරාජයක්. අපි පාසල් අරින්න කිව්වේ යම් කිසි වගකීමකින්. රජයේ ආයතන වහලා පාසල් වහලා සියලු දෙනා එළියට එන්නේ නැතිව ඉන්නවා කියන්නේ ත්‍රස්තවාදීන්ට රට ගිහින් කියන එක. වැඩපිළිවෙළක් හදාගෙන අපි එළියට එන්න ඕනෑ. මේ සිදුවීමෙන් පස්සේ රාජ්‍ය ආයතන ප්‍රධානින් සමඟ, මහජනතාව සමඟ කතා කළා. මුස්ලිම් තරුණ තරුණියන්ට එන්න කියලා මම ඒ අය එක්ක වෙනම සාකච්ඡා කළා. මේ ප්‍රශ්නයේදී අපේ පෙර අත්දැකීම් අපි ගන්න ඕනෑ. ඇයි එල්ටීටීඊ යුද්ධය වසර 30ක් ඇදී ගියේ කියන කාරණය පිළිබඳ කල්පනා කළොත් එල්ටීටීඊ සංවිධානය ශක්තිමත් වෙන්න කාරණය තමයි කළු ජූලිය. එල්ටීටීඊ සංවිධානයට කිසිම සම්බන්ධයක් නැති ඉහළ පෙළේ ව්‍යාපාරිකයන්, තරුණයන්, සාමාන්‍ය ජනතාව කොයිතරම් විනාශ කළාද ඒ කළු ජූලියේදී. මේ මහනුවර අයටත් එහෙම වුණා.

“මේ ප්‍රශ්නයේදී විශේෂයෙන්ම සිංහල, දමිළ, මුස්ලිම් ජන කොටස්වල තිබිය යුතු ඒ සංහිඳියාව, ආගමික සංහිඳියාව මේක ඉතාමත් වැදගත් වෙනවා. මං ආණ්ඩුකාරතුමාලටත් කිව්වා පළාත් සභා කැඳවලා නගර සභා, ප්‍රාදේශීය සභා සභාපතිතුමාලා කැඳවලා කතා කරන්න, සාකච්ජා කරන්න තමාගේ බල ප්‍රදේශයේ තිබෙන නගර සභාවක් නම් නගර සභාවේ ප්‍රාදේශීය සභාවේ සභාපතිතුමාලා ප්‍රාදේශීය සභාවේ සභා බල ප්‍රදේශයේ තමන්ගේ බල ප්‍රදේශයේ ඉන්න බෞද්ධ, හින්දු, ඉස්ලාම්, ක්‍රිස්තියානි සියලුම පූජකතුමන්ලා ගෙන්නන්න එක තැනකට. ගෙනල්ලා සාකච්ඡා කරන්න. ඔබේ ගමේ සිංහල ගමක් මුස්ලිම් ගමක්, දෙමළ ගමක් ඒ විදියට ඒ එක් එක් ජාතීන් නියෝජනය වෙන ගම්මාන තියෙනවා නම් ඒ ගම්මාන එකට එකතු කරලා සාකච්ඡා කරන්න.

අපි මේ වැඩ කොටස් ටික බෙදා ගන්න ඕන. රටක තියෙන මෙවැනි වේලාවක මේ ඇති වෙලා තියෙන ජාතික ව්‍යසනයකදී ඛේදවාචකයදී ඒ ප්‍රශ්නයට අපි මුහුණ දෙන්න ඕන. මෙතැනදි අපි බෙදෙන්න හොඳ නැහැ. එකිනෙකා විචේනය කරගන්න හොඳ නැහැ. එකිනෙකාට ඇඟිල්ල දික් කරගන්න හොඳ නැහැ. එහෙම වුණොත් අපි ඔක්කොම විනාශ වෙනවා. එහෙම වුණොත් ශක්තිමත් වෙන්නේ ත්‍රස්තවාදීන්. අපි බෙදුණොත් අපි කැඩුණොත් අපි වෙන්වුණොත් දේශපාලන පක්ෂ විදියට හෝ භාෂා වශයෙන් හෝ ආගම් වශයෙන් මේ වගේ වේලාවක කවුද ජයග්‍රහණය කරන්නේ. ජයග්‍රහණය කරන්නේ සතුරා. සතුරා කියන්නේ ත්‍රස්තවාදය. ඒ නිසා ඒ සතුරා විනාස කරන්න අපි සියලු දෙනා එකතු වෙමු.

“අපිට ආණ්ඩු කරන්න රටක් තියෙන්න ඕන. පළාත් සභාව කරන්න පළාතක් තියෙන්න ඕන. ප්‍රාදේශීය සභාවක් කරන්න ප්‍රාදේශීය සභා බල ප්‍රදේශයක් තියෙන්න ඕන. හැබැයි ලෝකයේ සමහර ත්‍රස්තවාදී ව්‍යාපාර නිසා රටවල්වල සිදුවෙලා තිබෙන මේ විනාශයන් එක්ක අපේ රටත් ඒ තත්ත්වයට අපි ඇද දාන්න ඕන නෑ. අපි ඔක්කොම එකට එකතු වෙලා ප්‍රශ්නයට මුහුණ දෙන්න කල්පනා කළ යුතුයි. ඒකට අපි ඔක්කොම එකට එකතු වෙන්න ඕන. අනෙක් ප්‍රශ්න තියෙන ඒවා ඔක්කොම විවේචන විදියට දෙවැනියට තුන්වැනියට දානවා. මේ ප්‍රශ්නේදි එකට අත්වැල් බැඳගන්නවා. මොන පක්ෂය වුණත් මොන ආයතන ප්‍රධානියා වුණත් ඒ සෑම කෙනෙක්ම පොලිසියත් හමුදාවත් එක්ක එකට එකතු වෙලා සාකච්ජා කරලා තමාගේ ප්‍රදේශයේ ගමේ තත්ත්වය සැලකිල්ලට අරගෙන ඒ අවශ්‍ය වැඩපිළිවෙළ කරන්නකළ යුතුයි.”

මාතෘකා