වැරදි කළ තෝරු මෝරුන්ට දඬුවම් කළොත් රටේ අපරාධ මඩින්න පුළුවන් : ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන

 ඡායාරූපය:

වැරදි කළ තෝරු මෝරුන්ට දඬුවම් කළොත් රටේ අපරාධ මඩින්න පුළුවන් : ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන

යහපත් රාජ්‍ය පාලන සංකල්පය තුළ රටක් ලෙස ඉදිරියට යෑමට තිබෙන ප්‍රධානතම අභියෝගය වංචාව සහ දූෂණය නම්, එය වැළැක්වීමට රටට ආදරය කරන සියලු පාර්ශ්වයන් එක්විය යුතු බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.

ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කළේ පසුගිය සඳුදා (18) කොළඹ ෂැන්ග්‍රිලා හෝටලයේ පැවති අල්ලස හා දූෂණය තුරන් කිරීමේ පස් අවුරුදු ජාතික ක්‍රියාකාරී සැලැස්ම එළිදැක්වීමේ අවස්ථාවට එක් වෙමිනි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපතිවරයා මෙසේද කීය.

“මුළු මානව සමාජය පිළිබඳව ඉතිහාස කතාවෙත් දූෂණය අල්ලස පිළිබඳ කතන්දරයත් එක්වී ඇති බව කවුරුත් පිළිගන්නාවූ දෙයක්. එහෙත් අප ගන්නාවූ මෙවැනි ප්‍රතිපත්තිමය හා ප්‍රායෝගික ක්‍රියාකාරකම් තුළින් සමාජයේ යහපත් බව, විනය, හික්මීම අල්ලසින් දූෂණයෙන් තොර සමාජයක් බිහි වීම සිද්ධ වෙනවා. එසේ ඇතිවන මහා සමාජ සෝදාපාළුව වැළැක්වීම සඳහා කරන බැම්මක් බැඳීමක් වගේ දෙයක් තමයි මේ පස් අවුරුදු සැලැස්මක් තුළින් සිදු කෙරෙන්නේ කියා මා විශ්වාස කරනවා. අපි අන්තර් ජාතික වශයෙනුත් ජාතික වශයෙනුත් මෙම ප්‍රතිපත්තීන් ක්‍රියාත්ම කිරීම සඳහා සැමවිටම බැඳී සිටිනවා.

කොමිෂන් සභා සම්බන්ධයෙන් ජනතාවගේ බලාපොරොත්තු කඩ වෙලා තිබුණේ. ‍ජනාධිපති කොමිෂන් සභා වෙන්න පුළුවන්, වෙනත් පාර්ලිමේන්තුවෙන් සම්මත කරන ලද කොමිෂන් සභා වෙන්න පුළුවන් ඒ කොහොම වුණත් කොමිෂන් සභා පත් කරලා ඉන් පසුව එහි කිසිම ප්‍රතිඵලයක් නැතෙයි කියන ජනතාවගේ සිත් තුළ ධාරණය වී තිබූ කරුණු මත කොමිෂන් සභා සම්බන්ධයෙන් විශ්වාසය සම්පුර්ණයෙන් කඩවෙලා තිබුණා. නමුත් මහ බැංකු බැඳුම්කර වංචාව පිළිබඳ කොමිෂන් සභාව පත් කරපු වෙලාවෙම පාර්ලිමේන්තුව තුළත් මේ රටේ මාධ්‍ය තුළත් සාමාන්‍ය ජනතාව තුළත් කියවුණු ප්‍රකාශයක් තමයි "මීට පෙර මේ වගේ කොමිෂන් සභා පත් කරලා තිබෙනවා. නමුත් මහ බැංකු බැඳුම්කර කොමිෂන් සභාව පත් කරලා, වැඩ කටයුතු ආරම්භ කරලා, සාක්ෂි විමසලා, පරීක්ෂණ කරලා, විමර්ශන කරගෙන යන විට ජනතාවගේ කොමිෂන් සභා සම්බන්ධයෙන් තිබූ බලාපොරොත්තු කඩ වීමේ තත්ත්වය සම්පුර්ණයෙන් වෙනස් වුණා." කියන එක. මේ රටේ මා දන්නා පරිදි මහ බැංකු බැඳුම්කර කොමිෂන් සභාව තරම් ජනතාවගේ දැඩි අවධානයක් යොමු වෙච්ච, ජනතාවගේ සාකච්ඡාවට ලක්වෙච්ච කොමිෂන් සභාවක් නැහැ කියලයි මම විශ්වාස කරන්නේ. මම මේක කියන්නට ඕන. මැති ඇමැතිවරුන්ගේ දුරකථන පරීක්ෂා කළා කියලා විරුද්ධ වුණා. එම දුරකථන පරීක්ෂා කිරීම වැරදියි කියලා ඒ පරීක්ෂණ කරපු නිලධාරීන්ට විරුද්ධව පරීක්ෂණ පැවැත්වුවා.

මේවා කතා කරන්නට ඕන. පස් අවුරුදු ප්‍රතිඥා හදනවා. ඒ ප්‍රතිඥා කියවනවා. මේවා මේ තත්ත්වයෙන් වගේම පසුගිය අවුරුදු හතරේ ගත්තාම මේ විමර්ශන කරපු නිලධාරීන්ට විරුද්ධව පරීක්ෂණ කරන්න තරම් අපි මේ රටේ රාජ්‍ය පාලනය තුළ පහළට වැටුණා කියන එක මට කනගාටුවෙන් හරි කියන්න සිද්ධ වෙනවා. මහ බැංකු බැඳුම්කර කොමිෂන් සභාවේ කටයුතු කරපු ප්‍රධානම ජ්‍යේෂ්ඨ නිලධාරීන් සමහර අය මා ගාවට ඇවිත් කිව්වා සර්, අපිට රට යන්න හදලා දෙන්න කියලා, මට ජීවිත තර්ජනයක් තිබෙනවා කිව්වා. සමහර නිලධාරීන් පොලිසිවල පැමිණිලි දානවා ජීවිත තර්ජන තිබෙනවා කියලා. පොත්වල සටහන් කරනවා අනාගත ආරක්ෂාව සඳහායි මෙසේ පොත්වල පැමිණිලි දාන්නේ කියලා. ඒ පරීක්ෂණ කරපු ප්‍රධාන ජ්‍යේෂ්ඨ නිලධාරීන්ගේ පවුල්වල දරුවන් ඔවුන්ගේ භාර්යාවන් මා හමුවෙන්න ඇවිල්ලා මේ ප්‍රශ්න තියෙනවා, අපිට මරණීය තර්ජන තියෙනවා කියලා කියපු අය ඉන්නවා. ඒකට හේතුව තමයි ඒ නිලධාරීන්ට විරුද්ධව පාර්ලිමේන්තුවේ වරප්‍රසාද යටතේ මැති ඇමැතිවරුන්ගේ කටයුතු කිරීම.

දේශපාලන ක්ෂේත්‍රය ගත්තාම හැම කෙනෙක්ම හොර, වංචා, දූෂිතයෝ නෙවෙයි. රාජ්‍ය සේවය ගත්තාම සෑම කෙනෙක්ම හොර, වංචා, දූෂිතයෝ නෙවෙයි. බහුතරයක් සුපිළිපන්නයි. නමුත් මේ සුළු පිරිසක් විසින් කරන ලද කාරණය සමාජ පිළිලයක් විදියට සමාජය තුළ ගලා යනවා. ඒ තත්ත්වය වෙනස් කරන්න තමයි මේ පස් අවුරුදු සැලැස්ම අද ප්‍රකාශයට පත් කරලා මේ කාරණයට තමුන්නාන්සේලා ප්‍රතිඥා දීලා සිටින්නේ.

ඒ වගේම තමයි කොමිෂන් සභා හතරක් මම පත් කෙරුවා. වර්තමාන රජයේ අවුරුදු හතරක රාජ්‍ය අංශයේ සිදුවූ දූෂණ වංචා සොයන්න මම කොමිෂන් සභාවක් පත් කරන්න ගැසට් කරලා ඒ ගැසට් නිවේදනය නිකුත් කළා. ඊට පස්සේ කැබිනට් මණ්ඩල රැස්වීමට ගියාම ඒ කැබිනට් මණ්ඩල රැස්වීමෙදි කිහිප දෙනෙක්ම එකපාරටම මගෙන් ඇහුවා ජනාධිපතිතුමා මේ ආණ්ඩුවේ වංචා දූෂණ පිළිබඳ කොමිෂන් සභාවක් පත් කරලා තිබෙනවා, ඇයි කලින් ආණ්ඩුවේ ඒවා හොයන්න කොමිෂන් සභාවක් පත් නොකළෙ කියලා මගෙන් ඇහුවා. මට ඒ වෙලාවේ ඇත්තටම හිතුණා එහෙම අහපු අය යහපත් සිහි කල්පනාවෙන්ද ඉන්නේ කියලා. ඒ මොකද ඒ ගොල්ලන්ට අමතකයි කලින් ආණ්ඩුවේ දූෂණ වංචා සොයන්න මම කොමිෂන් සභාවක් පත් කරලා ඒ වාර්තාව පාර්ලිමේන්තුවටත් ඉදිරිපත් කළා කියලා. මේගොල්ලන්ට ඒවා මතක නෑ. මම ඉන් පස්සේ කිව්වා ඇයි මතක නැද්ද මේ ආණ්ඩුවේ වංචා දූෂණ සොයන්න මේ කොමිෂන් සභාව පත් කළා වගේම මම බලයට පත් වෙලා පළමුවෙනි අවුරුද්දේ කලින් ආණ්ඩුවේ වංචා දූෂණ සොයන්න කොමිසමක් පත් කරලා විභාග කරලා ඒ වාර්තාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළා කියලා. මට ඒක ඒ ඇමැතිවරුන්ගෙන් අහන්න සිද්ධ වුණා. ඒ තරම් යහපත් සිහි කල්පනාවක් තියෙන අය ඉන්නවා ඇමැති මණ්ඩලයේ.

මේ කරුණු කාරණා ගත් විට ඉතාම පැහැදිලිව අපි තේරුම් ගන්න ඕන මෙහි තිබෙන අභියෝගය කොතෙක්ද කියන කාරණාව. අපි දැන් මහ බැංකු පිළිබඳ කොමිෂන් සභාවක් පත්කර තිබෙනවා. ඒ පරීක්ෂණ පිළිබඳ එදා සතුටු වුණා වගේම ඒ පරීක්ෂණ අදත් කෙරීගෙන යනවා. නීතිපති දෙපාර්තමේන්තුව, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ගැන මම සතුටු වෙනවා.

නමුත් අපිට තවම පුළුවන් වෙලා නැහැ ප්‍රධාන වග උත්තරකාරයා අල්ල ගන්න. මම ඇත්තටම ගියේ සිංගප්පුරු රජ‍ය සමඟ සාකච්ඡා කරන්න. මහ බැංකු වංචාව පිළිබඳ ප්‍රධාන වග උත්තරකාරයා අපිට බාර දීම පිළිබඳව සිංගප්පූරු රජයේ ප්‍රතිපත්තිය කුමක්ද කියා විමසන්න. මම සිංගප්පූරු අගමැතිතුමාට පෞද්ගලිකව කතා කළා. මම එතුමාගෙන් ඇහුව්වා මේ විදියේ නිවේදන නිකුත් කරලා තිබෙන, අන්තර්ජාතික වරෙන්තු නිකුත් කරලා තිබෙන කෙනෙක්, මේ රටේ පුරවැසියෙක්, සම්බන්ධයෙන් අපි ඉල්ලීමක් කරලා තිබෙනවා අපිට ලබාදෙන්න කියලා.

සිංගප්පුරු අගමැතිතුමා මට කිව්වේ සංගප්පූරු පුරවැසියෙක් වුණත් එවැනි ප්‍රශ්නයකට සම්බන්ධ කෙනෙක් නම් අපි ඒ සම්බන්ධව කිසිසේත් පසුබට වෙන්නේ නැහැ කියලයි. නමුත් මට තිබෙන කනගාටුව තමයි අද වෙනකල් සිංගප්පූරු රජය මේ පිළිබඳ පැහැදිලි ප්‍රකාශයක් විවෘතව කරලා නැහැ.

අල්ලස, දූෂණය ඒ වගේම මත්ද්‍රව්‍ය, පාතාලය මේ ඔක්කොම එකම පීල්ලක තමයි යන්නේ. ඒ නිසා අපි මේ කරුණුවලදී මේ රට හොඳ රටක් වෙන්න නම් අපේ යුතුකම් ඉෂ්ට කරන්නට ඕනෑ. මේ රටේ ප්‍රශ්නයක් තිබෙනවා. මොකක්ද මේ ප්‍රශ්නය, ඔය කියන තෝරු මෝරු අල්ලලා දඬුවමක් දීලා නැහැ. එයයි මේ රටේ ප්‍රශ්නය”

මාතෘකා