වෙන විකල්ප නෑ රට ගොඩගන්න පුළුවන් ජාතීන් අතර සමඟියෙන් විතරයි : කරු ජයසූරිය

 ඡායාරූපය:

වෙන විකල්ප නෑ රට ගොඩගන්න පුළුවන් ජාතීන් අතර සමඟියෙන් විතරයි : කරු ජයසූරිය

දිගු කලක් පුරා තිබූ ආර්ථික පසුබෑමෙන් මි‍දී රුපියල යළි ශක්තිමත් වෙමින් තිබූ අවස්ථාවක සහ සංචාරක කර්මාන්තයෙන් ලෝකයේ විශිෂ්ටතම ස්ථානය අප රටට හිමි වී තිබූ මොහොතක සිදු වූ ත්‍රස්ත ප්‍රහාරය අප මාතෘ භූමිය වසර ගණනාවක් ආපස්සට ඇද දැමූ නමුත් ජාතීන් අතර සමඟිය, සහජීවනය තුළින් එම අභියෝගයන් ජය ගැනීම හැර වෙනත් කිසිඳු විකල්පයක් නොමැති බව කතානායක කරූ ජයසූරිය මහතා සඳහන් කළේය.

කතානායකවරයා මේ බව ප්‍රකාශ කළේ ශ්‍රී ලංකාවේ ජාතික ආගමික සංහිඳියාව ගොඩනැඟීම සඳහා වූ පාර්ලිමේන්තුවේ පූර්ණ බලැති විශේෂ කාරක සභාවේ සිව්වන සමුළුව අමතමිනි.

ජාතික ආගමික සංහිඳියාව සඳහා වන පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවට‌ පක්ෂ විපක්ෂ සහාය ලැබීම පටු දේශපාලනය අමතක කර රට වෙනුවෙන් එකඟත්වයකට පැමිණි වැදගත් අවස්ථාවක් බවත් එතුළින් අනාගතය පිළිබඳව සුබවාදී බලාපොරොත්තු ජනිත කර ඇති බවත් කරු ජයසූරිය මහතා පැවසීය.

ඊළඟ පරපුරට අප විඳි අමිහිරි අත්දැකීම්වලින් තොර නිදහස් සමෘද්ධිමත් දේශයක් උරුම කර දීමට මෙම ප්‍රවේශය තුළින් හැකි වනු ඇති බව තම විශ්වාසය බවද හෙතෙම සඳහන් කළේය. ලෝකයේ දියුණු සෑම රටක්ම අත්පත් කර ගත් ජයග්‍රහණ පිටුපස තිබෙන රහස ජාතික හා ආගමික සමඟිය තුළින් ගොඩනැඟූ තිරසාර ජාතික ප්‍රතිපත්ති යැයි පෙන්වා දුන් කරු ජයසූරිය මහතා කෙටි කලකින්ම ත්‍රස්තවාදය අකර්මණ්‍ය කිරීමට හැකි වීම සහ එහිදී මුස්ලිම් ජනතාව ත්‍රස්තවාදයට එරෙහිව ලබා දුන් සහාය අගය කරන බවද සඳහන් කළේය.

ඊට එක් වූ විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා පැවසුවේ විපක්ෂයක් ලෙස සෑම කටයුත්තකටම විරුද්ධ වීම සිය ප්‍රතිපත්තිය නොවන බව සහ මෙම කාරක සභාවට විපක්ෂයේ පූර්ණ ආශිර්වාදය පළ කරන්නේ රටේ අනාගතය වෙනුවෙන් විශාල යුතුකමකට දායක වීම සඳහා බවයි. මහින්ද රාජපක්ෂ මහතා වැඩිදුරටත් පෙන්වා දුන්නේ පාස්කු ප්‍රහාරය නිසා සියවස් ගණනාවක් පැරණි සිංහල මුස්ලිම් ජනතාව අතර ඇති බැඳීමට සිදු වූ කැළල මකා දැමිය හැක්කේ අන්‍යෝන්‍ය

අවබෝධය තුළින්ම පමණක් බවත් ඒ සඳහා වන දිගුකාලීන සැලසුම් කතානායකවරයාගේ මූලිකත්වයෙන් නිර්මාණය වුණු ශ්‍රී ලංකාවේ ජාතික ආගමික සංහිඳියාව ගොඩනැගීම සඳහා වූ පාර්ලිමේන්තුවේ පූර්ණ බලැති විශේෂ කාරක සභාව විසින් යෝජනා කරනු ලැබ ඇති බවත් එම යෝජනා 24 සහ දියවන්නා ප්‍රකාශය කෙරෙහි පාර්ලිමේන්තුවේ සියලුම පාර්ශ්වයන්හි එකඟතාවය පළ වීම විශාල ජයග්‍රහණයක් බවත්ය.

ජාතික ආගමික සංහිඳියාව සඳහා පාර්ලිමේන්තුව තුළින් ඇති කරගත් එකඟතාවයන් සමාජයේ සෑම ස්ථරයක් වෙතම ගෙන යා යුතු බවත් විශේෂයෙන්ම අනාගතයේ රට භාර ගන්නා පාසැල් දරුවන් වෙත අන් සංස්කෘතීන්ට ගරු කිරීමේ අවබෝධය හා හැඟීම ශක්තිමත් කිරීමට වැඩසටහන් දියත් කළ යුතු බවත් හෙතෙම සඳහන් කළේය.

මෙම අවස්ථාවට එක් වූ බුද්ධ ශාසන අමාත්‍ය ගාමිණී ජයවික්‍රම පෙරේරා මහතා කියා සිටියේ එකම ශ්‍රී ලාංකික ජාතියක් ලෙස බටහිර අධිරාජ්‍යවාදයෙන් නිදහස් වීමට සටන්වදින විට සිංහල, ද්‍රවිඩ, මුස්ලිම් නායකයන් එක්ව සිටි ජාතික සංගමය මුල්කර ගනිමින් බිහි වූ එක්සත් ජාතික පක්ෂයට කිසිවිටෙකත් ජාතිවාදය අනුමත කළ නොහැකි බවයි. පක්ෂයේ නිර්මාතෘ ඩී.එස්. සේනානායකයන්ද ආරම්භයේදීම නිවැරදිව ඒ සඳහා මඟ පෙන්වා ඇති බවත්ද ඒ මහතා කියා සිටියේය.

ප්‍රවාහන රාජ්‍ය අමාත්‍ය අශෝක් අබේසිංහ, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන එස්.බී. නාවින්න, අනුර ප්‍රියදර්ශන යාපා, අලි සහීර් මවුලානා, ඒ.එච්.එම්. ෆවුසි, තුෂාර ඉඳුනිල් යන මහත්වරුන් සහ හිටපු පළාත් සභා මන්ත්‍රීවරුන් මෙන්ම කුරුණෑගල දිස්ත්‍රික්කයේ පළාත් පාලන ආයතන ප්‍රධානීන් පිරිසක්ද එක්ව සිටියහ.

මල්වතු පාර්ශ්වයේ අනුනායක දිඹුල්කුඹුරේ විමලධම්ම ස්වාමීන් වහන්සේ මෙහිදී විශේෂ අනුශාසනාවක් කළ අතර ඉස්ලාම් ආගමික කටයුතු අමාත්‍යාංශය සහ අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම්වරුන්ද සමුළුව අමතමින් මේ වන විට ස්වකීය අමාත්‍යාංශය මඟින් ගෙන ඇති පියවර පැහැදිළි කළේය.

මාතෘකා