සමෘද්ධියේ අරමුණ දුප්පත්කම පවත්වාගෙන යෑම නොවේ : ඇමතිනී තලතා අතුකෝරළ

 ඡායාරූපය:

සමෘද්ධියේ අරමුණ දුප්පත්කම පවත්වාගෙන යෑම නොවේ : ඇමතිනී තලතා අතුකෝරළ

සමෘද්ධියේ අරමුණ දුප්පත්කම පවත්වාගෙන යෑම නොවන බවත් ජීවිත සවිබල ගැන්වීමෙන් තවත් කෙනෙකුට අත නොපා ජීවත් වීමට හැකි අයුරින් ආර්ථිකය ශක්තිමත් කිරීම බවත් අධිකරණ හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍ය නීතිඥ තලතා අතුකෝරළ මහත්මිය පැවසුවාය.

අමාත්‍යවරිය මේ බව ප්‍රකාශ කළේ ඊයේ (18) ප්‍රාථමික කර්මාන්ත හා සමාජ සවිබල ගැන්වීමේ අමාත්‍යාංශය යටතේ දිවයින පුරා පවුල් ලක්ෂ 06කට සමෘද්ධි ප්‍රතිලාභ ලබා දීමේ වැඩසටහන යටතේ රත්නපුර දිස්ත්‍රික්කයේ සමෘද්ධි ප්‍රතිලාභීන් සඳහා සමෘද්ධි හිමිකම් ලබා දීමේ අවස්ථාවට පැල්මඬුල්ල ගන්කන්ද විද්‍යාලයේදී එක්වෙමිනි. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරිය මෙසේද පැවසුවාය.

“1991 රණසිංහ ප්‍රේමදාස මහතා ආරම්භ කළ ජනසවිය ව්‍යාපාරයෙන් පසුව දේශපාලනයෙන් තොරව දුප්පත්කම නැති කරන්නට අහිංසක ජනතාවට ලබා දෙන පළමුවන අවස්ථාව මෙයයි. එදා ප්‍රේමදාස ජනාධිපතිතුමා ජනසවිය පටන් ගත්තේ අහිංසක අඩු ආදායම්ලාභී උදවියට අවුරුදු 2ක් ජනසවිය ලබා දීලා අවුරුදු 2ක් ආහාර මල්ලක් ලබා දීලා ඒ අයගේ ජීවිත සවිබල ගැන්වීමක් කරන්න. එදා සවිබල ගැන්වුණු ව්‍යාපාරයක් 1994න් පස්සේ දේශපාලනීකරණය කළා. මෙතන අද ඉන්න 4,500 ඒ අතුරින් ඉතාම අඩු ආදායම්ලාභී අයයි. තමන්ට කරකියා ගන්න දෙයක් නැතිව දේශපාලන පළිගැනීමට ලක්වූ උදවිය අද මෙතන ඉන්නවා. සමහර වෙලාවට එක්සත් ජාතික පාක්ෂිකයන් වීම නිසාම මේ හිමිකම නැති වුණා. සමහරු මේක දේශපාලන අතකොලුවක් බවට පත් කර ගත්තා. දුප්පත්කම පවත්වා ගෙන යන ව්‍යාපාරයක් බවට සමෘද්ධි ව්‍යාපාරය පත් වුණා. අහිංසක මිනිස්සු සවිබල ගැන්වීමේ ව්‍යාපාරය වෙනුවට හැමදාම දුප්පත්කම පවත්වා ගෙන යන ව්‍යාපාරයක් බවට පත් වෙනකොට එක පිරිසක් මේ අහිංසක මිනිස්සුන් මෙහෙයවන ක්‍රියාදාමයකට අවතීර්ණ වෙලා හිටියා.

“මේ වැඩපිළිවෙළ දුප්පත්කම පවත්වාගෙන යන්න නෙවෙයි. මේ දෙන දීමනාව හරහා අඩුම තරමේ දුප්පත්කම නැති කර මේ හැම කෙනෙක්ම සවිබල ගැන්වෙන තවත් කෙනෙක්ට අත නොපා එහෙම නැත්නම් මැතිවරණ කාලයක් ආවහම මේ අහිංසක මිනිස්සුන්ගේ ආත්මගරුත්වය බත් පැකට් එකටයි අරක්කු බෝතලේටයි විනාශ කරන කොටසක් ඉන්න රටක ඒක වෙනස් කරන්න කියලා මම ඉල්ලනවා.

මාතෘකා