ජාති ආගම් බෙදීමෙන් වෙන්නේ රට පිරිහෙන එකයි : අමාත්‍ය සජිත් ප්‍රේමදාස

 ඡායාරූපය:

ජාති ආගම් බෙදීමෙන් වෙන්නේ රට පිරිහෙන එකයි : අමාත්‍ය සජිත් ප්‍රේමදාස

අප රට කෑලි කෑලිවලට වෙන් කරනු ලබන්නේ නොහැකියාවෙන් පෙළෙන, සේවාවක් සිදු කිරීමට නොහැකි, ජනතාව අතරට යන්නට බැරි ජනතා සේවකයන් ලෙස කටයුතු කිරීමට අකමැති දේශපාලනඥයන් කොට්ඨාසයක් විසින් බවත් රටක් ජාතීන් සහ ආගම් වශයෙන් බෙදා වෙන් කිරීමෙන් රට පරිහානිය කරා යන බවත් නිවාස ඉදිකිරීම් හා සංස්කෘතික කටයුතු අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ පසුගියදා (15) මඩකලපුව දිස්ත්‍රික්කයේ එරාවුර්පත්තු, මීච්නගර්හි යූ.එල්. දාවුද් ග්‍රාමම් 202 වැනි උදා ගම්මානය ජනතා අයිතියට පත් කිරීමේ අවස්ථාවට එක් වෙමිනි. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා මෙසේද කීය.

“මෙරට ජීවත් වන සියලු දෙනාම මේ රට ආරක්ෂා කර ගත යුතුයි. පාලකයන් වන අප පුරවැසියන් සුරකිමින් මේ රට ප්‍රගතිය කරා ගෙන යා යුතුයි. ජාති, ආගම්, පක්ෂ භේදයෙන් තොරව ශක්තිමත් ශ්‍රී ලංකාවක් ගොඩනඟන්නට අවශ්‍යයයි. රටක් තුළ සෞභාග්‍ය නිර්මාණය කිරීමට, සතුට වර්ධනය කිරීමට නම් එකමුතුභාවය ශක්තියක් වෙනවා. රටක් ඉදිරි ගමනක් යන විට ජාතීන් අතර සහෝදරත්වය ශක්තියක් වෙනවා. එකමුතුව කටයුතු කරන අපේ රටේ ජනතාව කෑලි කෑලිවලට වෙන් කරනු ලබන්නේ නොහැකියාවෙන් පෙළෙන, සේවාවක් සිදු කිරීමට නොහැකි, ජනතාව අතරට යන්නට බැරි ජනතා සේවකයින් ලෙස කටයුතු කිරීමට අකමැති දේශපාලනඥයන් කොට්ඨාසයක් විසිනුයි. රටක් දිනවන්නට එකමුතු වන්නට ඕනෑ කියා සියලු දෙනාම පිළිගන්නවා. එය ශක්තියක් කියා දැන දැන විවිධ දේශපාලනඥයන් ජාතීන්, ආගම් භේදයක් නොමැතිව එකමුතුව සිටින ජනතාව වෙන් කරනවා. රටක් තුළ මෙසේ ජාතීන් සහ ආගම් වෙන් කිරීම සුදුසු කාර්යයක් නොවෙයි. එවිට රට පරිහානිය කරා යනවා. ජාති, ආගම් භේද ඇති කිරීමට කටයුතු කිරීම නිසා සෑමදා කලකෝලාහල, විනාශකාරී ක්‍රියාවන් නිර්මාණය වෙනවා. විනාශකාරී ක්‍රියා තුළින් රට ගිනිබත් වීමෙන් රටකට ඉදිරි මාර්ගයක් නොමැති වන බව සියලු දෙනා දන්නවා. රට ගිනි ගන්නෙත් ගිනි තබන්නෙත් රට සංවර්ධනය කරන්නට නොහැකි, ජනතා සේවාව සිදුකිරීමට කම්මැළි දේශපාලනඥයන් කොට්ඨාසයක්. මේ ජාතියේ, මේ ආගමේ අය කොන් කරන්න ඒ අය මේ අයගේ පිරිස යැයි අද පවසනවා.

“මා සුපිරිසුදු සිංහල බෞද්ධයෙක්. එය හංගන්නට මා උත්සාහ කරන්නේ නැහැ. ලොව්තුරා බුදුරජාණන් වහන්සේගේ ප්‍රතිපත්ති අකුරට, තිතට ක්‍රියාත්මක කරනවා. සිංහල බෞද්ධයින් පමණක් සුවපත් වෙත්වා කියා උන්වහන්සේ දේශනා කළේ නැහැ. අනෙකුත් ජාතීන් විනාශ වේවා කියා උන්වහන්සේ දේශනා කළේත් නැහැ. කාඩ්බෝඩ් බෞද්ධයන් කොට්ඨාසයක් වැඩ කළ නොහැකි, මහන්සි වන්නට නොහැකි කොට්ඨාසයක් දේශපාලනික වශයෙන් ගහන අවසන් තුරුම්පුව ජාතිය, ආගම කේන්ද්‍ර කරගෙන ගහනවා. පොඩ්ඩක් හරි පපුව රිදෙන විට එම පිරිස ප්‍රතිකාර ලබා ගැනීමට සිංගප්පූරුවට යනවා. සිංගප්පූරුවේ මහා පෞද්ගලික රෝහලේ සිටින්නේ දමිළ වෛද්‍යවරයෙක්. ඔහු වෙත ගොස් ඔවුන් ප්‍රතිකාර ලබා ගන්නවා. ඔහු වෙතට ගොස් ප්‍රතිකාර ලබා ගන්නට හොඳයි, නමුත් ලංකාවට පැමිණි පසු දෙමළ ජාතිකයන් සියල්ලක්ම භංග වේවායි මුස්ලිම්, බර්ගර් ජාතිකයන් විනාශ වේවායි අප පමණක් වැජඹේවායි පවසනවා. එය දිව දෙකේ දේශපාලනයයි. මේ දිව දෙකේ දේශපාලනය සජිත් ප්‍රේමදාස ළඟ නැහැ. ජාති, ආගම්, වර්ග, වර්ණ, කුල, පන්ති යන භේදයන් සියල්ල විනාශ කර පිරිසුදු, එකමුතුභාවය, සහෝදරත්වය රජවන ශ්‍රී ලංකාවක් දිවංගත රණසිංහ ප්‍රේමදාස මැතිඳුන්ගේ පුතණුවන් වන මා නිර්මාණය කරනවා කියා වගකීමෙන් යුතුව ප්‍රකාශ කරනවා. සුපිරිසුදු බෞද්ධයකු ලෙසම අනෙකුත් ජාතීන්, ආගම් රැක ගන්නවා කියා පොරොන්දු වනවා.

“යහපාලන රජය ආරම්භ කළ ‘යළි පිබිදුණු ගම් උදාව’ වැඩසටහන යටතේ දිවයිනේ ජනතා අයිතියට පත් වන 202 වැනි උදා ගම්මානය වන්නේ ‘යූ.එල්. දාවුද් ග්‍රාමම්’ ආදර්ශ ගම්මානයයි. මෙම උදා ගම්මානය පිහිටා ඇත්තේ මඩකලපුව දිස්ත්‍රික්කයේ, එරාවුර්පත්තු ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේයි. අද ජනතා අයිතියට පත් කළ ‘යූ.එල්. දාවුද් ග්‍රාමම්’ උදා ගම්මාන නිවාස 25කින් සමන්විතයි. අද අප නිවාස, ඉදි කිරීම් සහ සංස්කෘතික කටයුතු අමාත්‍යාංශය හරහා රට පුරා ඉලක්ක සහිත පැහැදිලි, ශීඝ්‍රගාමී නිවාස සංවර්ධනයක් ක්‍රියාත්මක කරමින් සිටිනවා. අපේ මූලික ඉලක්කය වන්නේ වසර 2025දී ‘සැමට සෙවණ’ ලබා දීමයි. අපගේ පළමු ඉලක්කය වන්නේ මෙම වසරේ සැප්තැම්බර් මස අවසන් වන විට රට තුළ උදා ගම්මාන 2,500ක් ඉදි කිරීමයි. මේ වන විට දිවයින පුරා උදා ගම්මාන 2,495ක පමණ ඉදි කිරීම් කටයුතු අප ආරම්භ කර තිබෙනවා. ගම්මාන 2,500ක ඉලක්කය වෙත යන්නට තවත් ගම්මාන 05ක් අප ඉදිකළ යුතුයි. අප කෙසේ හෝ මෙම ඉලක්කය ජය ගන්නවා. ඒ අනුව පළමු අදියරේදී උදා ගම්මාන 2,500ක්, දෙවන අදියරේදී උදා ගම්මාන 5,000ක්, තුන්වැනි අදියරේදී උදා ගම්මාන 10,000ක් සහ සිව්වැන අදියරේදී නැවත උදා ගම්මාන 2,500ක් වශයෙන් ආරම්භ කිරීමට අප බලාපොරොත්තු වනවා. ඒ අනුව වසර 2025 වන විට රටේ උදා ගම්මාන 20,000ක් ඉදිකර ජාති, කුල මල, පන්ති, පක්ෂ, පාට භේදයෙන් තොරව ‘සැමට සෙවණ’ ලබා දෙන්නට කටයුතු කරන බව මා සතුටින් ප්‍රකාශ කරන්නට කැමතියි.”

මාතෘකා