අමාත්‍ය මණ්ඩලයට යළි එක්වන්නැයි සජිත්ගෙන් කබීර්ට ආරාධනාවක්

 ඡායාරූපය:

අමාත්‍ය මණ්ඩලයට යළි එක්වන්නැයි සජිත්ගෙන් කබීර්ට ආරාධනාවක්

හිටපු අමාත්‍ය කබීර් හෂීම් මහතාට කඩිනමින් අමාත්‍ය මණ්ඩලය සමඟ එක්වන ලෙසත් එසේ එක් වී නව දේශපාලන අනාගතයක් උදෙසා සමස්ත ශ්‍රී ලංකා ජනතාව වෙනුවෙන් ඔහුගේ වගකීම් බාර ගන්නා ලෙසත් නිවාස, ඉදිකිරීම් හා සංස්කෘතික කටයුතු අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

අමාත්‍යවරයා ඊයේ (16) ලිපියක් මඟින් මේ බව දන්වා සිටියේය. අද අන් කවරදාටත් වඩා කබීර් හෂීම් මහතා වැනි පළපුරුදු, උගත්, වෘත්තීයභාවයෙන් යුත් නායකයන්ගේ අවශ්‍යතාව රටට දැනෙන යුගයක් වන බවද එහි සඳහන්ය. රට සංවර්ධනය කිරීමටත් රටේ පුරවැසියන් අතර එකමුතුභාවය ගොඩනැංවීම සඳහාත් ව්‍යාජ ලෙස නිර්මාණය කර ඇති සංස්කෘතික බාධාවන් පරාජය කිරීම සඳහාත් කබීර් හෂීම් මහතා වැනි නායකයන්ගේ අවශ්‍යතාව තදින් ජනතාවට දැනෙන යුගයක් ලෙස මෙම කාලය හැඳින්විය හැකි යැයිද එම ලිපියේ සඳහන්ය.

ලිපියේ තවදුරටත් මෙසේද සඳහන් වේ.

“ශ්‍රී ලංකාවේ වෙසෙන දේශපාලනඥයන් බල ලෝභීත්වයෙන් යුතු, තමන් ගැන පමණක් සිතන කොට්ඨාසයක් යැයි මෙරට පුරවැසියන් විශ්වාස කරමින් සිටින යුගයක එක්සත් ජාතික පක්ෂයේ සභාපති කබීර් හෂීම් මහතා දේශපාලන නායකයන්ට ආදර්ශයක් සපයමින් පසුගියදා තමන් දැරූ සියලු කැබිනට් අමාත්‍ය ධුරයන්ගෙන් ඉල්ලා අස් වූයේ මුස්ලිම් සමාජයේ එකමුතු බව වෙනුවෙනි. අන්තවාදී හෝ යම් වැරදි සහගත දෙයක නිරත වූ බවට කිසිඳු චෝදනාවක් හෝ නොලත් කැබිනට් අමාත්‍යවරයකු වශයෙන් ඔහුගේ එම අධිෂ්ඨානශීලී ක්‍රියාව අවංක අභිලාෂයෙන් ගත් එකක් ලෙස මම විශ්වාස කරමි. කබීර් හෂීම් මහතා මෙම ක්‍රියාවලියට එළඹුණේ ඇයිද යන්න තේරුම් ගත හැකිය. ඔහුගේ සහෝදර කැබිනට් සාමාජිකයන් ජන වර්ග සහ ආගමික පාර්ශ්වයෙන් සලකා වෛරී ප්‍රකාශයන්ට සහ සාමූහික අපවාදයන්ට ලක්වද්දී වැදගත් යුක්තිගරුක සහ ප්‍රතිපත්තියකින් යුත් නීතිගරුක පුද්ගලයකු වශයෙන් කබීර් හෂීම් මහතා තම සහෝදර අමාත්‍යවරුන් වෙනුවෙන් සෘජුව නැඟී සිටියේය.

ඒ මහතා කෑගල්ල දිස්ත්‍රික්කයේ වෙසෙන සිංහල, දෙමළ සහ සියලු ආගම් අතර වෙසෙසින් බෞද්ධ, හින්දු සහ ක්‍රිස්තියානි ජනතාව ඇතුළු විවිධ ජන කොට්ඨාස විසින් අවස්ථා ගණනාවකදී ජනතා නියෝජිතයකු වශයෙන් පාර්ලිමේන්තුවට තෝරා පත්කර ගන්නා ලද නායකයෙකි. කෑගල්ල දිස්ත්‍රික්කය තුළ පැවැති ජනතා ඉල්ලීම්වලින් ප්‍රකාශ කෙරුණේ කබීර් මහතා යළි අමාත්‍ය ධුරය භාරගෙන ජනතාවට සේවය කරන ලෙසටය. එයින් ප්‍රකාශ කෙරුණේ තවමත් ජනතාව තුළ කබීර් හෂීම් මහතා සම්බන්ධයෙන් පවතින විශ්වාසයයි. ඔහුගේ හැකියාවන් අඳුරේ සඟවා තැබීමට මේ සුදුසු කාලය නොවේ. දැන් ඇත්තේ නායකයන් පෙරට පැමිණිය යුතු සමයකි. එසේ පැමිණ කළ යුත්තේ තමන්ගේ වගකීම ඉටු කිරීම සහ එක්සත් ජාතික පක්ෂයේ මෙන්ම රටේ අනාගතය වෙනුවෙන් කටයුතු කිරීමයි.”

[රසිකා හේමමාලි]

මාතෘකා