කතා කළ යුතු සංග්‍රාම කොතෙක් තිබුණත් කතා කරන්නේ වෛරයේ සංග්‍රාමයයි : ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන

 ඡායාරූපය:

කතා කළ යුතු සංග්‍රාම කොතෙක් තිබුණත් කතා කරන්නේ වෛරයේ සංග්‍රාමයයි : ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන

අපි කතා කළ යුත්තේ වාපී සංග්‍රාමය. කෘෂි සංග්‍රාමය, අධ්‍යාපන සංග්‍රාමය, කර්මාන්ත සංග්‍රාමය පිළිබඳව වුවත් කතා කරන්නේ ‘වෛරයේ සංග්‍රාමය’ යැයි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පැවසීය.

ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කළේ පෙරේදා (12) ‘සාරවත් දේශයක වාපී සංග්‍රාමය’ එල්ලංගා පද්ධති ප්‍රතිසංස්කරණ වැඩසටහනේ කුරුණෑගල දිස්ත්‍රික් සමාරම්භක අවස්ථාවට එක්වෙමිනි. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපතිවරයා මෙසේද කීය.

“එල්ලංගා පද්ධතිය කියන එක අපේ ශබ්ද කෝෂයේ පැරණි වචන මාලාවේ තිබූ වචනයක්. මොරගහකන්ද කළු ගඟ ජලාශය විදේශ ආධාර සමඟ රුපියල් කෝටි 23,000ක් වැය කරලා හැදෙනවා වගේම ඒ ඉංජිනේරුවරුන් සැලසුම් කළා මහ වැව්, මධ්‍ය ප්‍රමාණයේ වැව්, සුළු වැව් ආදියත් ප්‍රතිසංස්කරණය කරන්න. වාරි පද්ධතියක් සකස් වීම තුළ ප්‍රධාන වශයෙන්ම අපේ ආර්ථිකය ගොඩනැඟෙනවා. කෘෂි ආර්ථිකය අපේ ජීවන තත්ත්වය යහපත් තත්ත්වයකට පත් වෙනවා. මූලිකම දේ තුන් වේල කන්න, බඩගින්න නැතිව යමක් තමන්ට නිෂ්පාදනය කර ගන්න ඒ සඳහා අවශ්‍ය මාර්ගය පෑදෙනවා. වැවේ අමුණේ, ඇළේ දොළේ, කුඹුරේ, ළිඳේ වතුර ටික තියෙනවා නම් තුන් වේල කෑම ප්‍රශ්නයක් නෑ. නමුත් බඩගින්න දැනෙන්නේ වතුර නැතිව ගියාම. වර්ෂාව නැතිව ගියාම. වර්ෂාව ජලය ජලමූලාශ්‍ර රැකෙන්නේ මොන විදියටද?

“අපි කළ යුත්තේ අපේ තිබෙන ගහකොළ ආරක්ෂා කර ගන්න එක. වනාන්තරය ආරක්ෂා කර ගන්න එක. වනාන්තරයට ආදරය කරපු ගැමියා සැම විටම තමන්ගේ ප්‍රදේශය තුළ ජලය ආරක්ෂා කර ගත්තා. ඒ ගැමි සංස්කෘතිය තුළ තිබුණ ප්‍රධාන දෙයක් තමයි වනය ආරක්ෂා කර ගන්නා එක. කැලය ආරක්ෂා කර ගන්නා එක. දැන් අපි අලුත් නීති රීති හැදුවේ ඇයි වනාන්තරය ආරක්ෂා කර ගන්න. අලුත් නීති රීති හැදුවේ මිනිසුන්ට හුස්ම ගැනීමේ අයිතිය ලබා දෙන්න. අද ලෝකයේ අධි තාක්ෂණයෙන් ඉහළම දියුණුවක් තියෙන රටවල්වලින් ළඟම තියෙන රටක් තමයි චීනය. දුප්පත්කම ඇති වුණත් තාක්ෂණයෙන් ඉහළයි ඉන්දියාව. යුරෝපයට සමාන රටවල්වලත් ජපානයේ පවා ප්‍රධාන නගරවලත් කරේ එල්ලගෙන යන ඔක්සිජන් බෑග් එක අද සුලභ දෙයක්. ඒකට හේතුව වනාන්තර විනාශ කිරීම, ජලය නොමැතිකම. වැව හදනවා වගේම, අමුණ හදනවා වගේම ප්‍රධාන වශයෙන්ම ජලය කොහොමද අපි ලබා ගන්නේ කියන කාරණාවට අපේ හිත යොමුවෙන්නට ඕන.

“අපි අලුත් නීති රීති හඳුන්වලා දුන්නම ඒකත් අපිටම වැරදි වෙනවා. මම හිතන්නේ අතේ ජංගම දුරකථනය තියෙන අය දන්නවා පහුගිය සතිය තුළ මොන තරම් ප්‍රහාර මට එල්ල වුණාද කියලා. අපි මේ කතා කරන්නේ වාපි සංග්‍රාමය ගැනයි. ජලය පිළිබඳව සංග්‍රාමයටයි මේ අද අපි එකතු වෙලා ඉන්නේ. වාපී සංග්‍රාමය, කෘෂි සංග්‍රාමය, අධ්‍යාපන සංග්‍රාමය, කර්මාන්ත සංග්‍රාමය, මේවා රටේ සංවර්ධනයට අවශ්‍යයි. නමුත් වාපී සංග්‍රාමය යට ගිහින්, කෘෂි සංග්‍රාමය යට ගිහින්, අධ්‍යාපනයේ සංග්‍රාමය යට ගිහින්, මත්ද්‍රව්‍ය විරෝධී සංග්‍රාමය යට ගිහින් උඩට එන්නේ මොනවාද? වෛරයේ සංග්‍රාමය. කුහකකමේ සංග්‍රාමය, පෞද්ගලික දේශපාලන න්‍යායපත්‍රවල සංග්‍රාමය. ඒ තුළ තමයි විශේෂයෙන්ම ඔබට ජීවත් වෙන්න වෙලා තියෙන්නේ. දැන් අපි මේ ගමක එකතු වෙලා යහපත් දේ, අවශ්‍ය දේ, ජීවන තත්ත්වය උසස් කරන්න අවශ්‍ය දේ මොන තරම් කතා කළත් හවසට රූපවාහිනියෙන් දකින්නෙත් අතේ තිබෙන ජංගම දුරකථනයේ සමාජ වෙබ් අඩවිවල දකින්නෙත් සෝෂල් මීඩියාවල දකින්නෙත් වෛරයේ ක්‍රෝධයේ සංග්‍රාමය. ඒකයි මම කිව්වේ කුහකකම්, දේශපාලන න්‍යායපත්‍ර සහිත නොදියුණු මිනිසුන්ගේ ලක්ෂණ සමාජය තුළ පහළ වෙලා තිබෙනවා කියලා. නොදියුණු මිනිසුන්ගේ ලක්ෂණ පහළ වෙන්න පහළවෙන්න රට ගොඩනඟන්න තිබෙන ආත්ම ධෛර්යය, ආත්ම අභිමානය, ඕනෑකම, පරිත්‍යාගය මේවා හිත්වලින් යනවා. ගිහිල්ලා අපි හිස් මිනිසුන් බවට පත් වෙනවා. එහෙම හිස් මිනිසුන් බවට පත් වුණාම අපි දන්නේ නැහැ අපි කොයිතරම් පහළ මට්ටමකට වැටෙනවාද කියලා.

“අපි ආහාර නිෂ්පාදනය සඳහා කැපවෙනවා වගේම අපේ ජලය රැක ගන්න, වනාන්තරය රැක ගන්න, අපි ප්‍රමුඛත්වයක් දීම ඉතාමත් අවශ්‍යයි. ඒ නිසා තමයි මේ යෝධ සංවර්ධනය ක්‍රියාත්මක කරලා තිබෙන්නේ. මේවා සංවාදයට ලක් වන්නේ නැහැ. රටක් දියුණු වෙන්න තිබෙන්න ඕන රට ගොඩනඟන න්‍යායපත්‍ර. නමුත් අපේ හැදියාව, දේශීයත්වය, ශිෂ්ටත්වය බොහෝ වෙලාවට සමාජ වෙබ් අඩවිත් සමඟ යට ගිහින් තිබෙනවා. අද බොහෝ වෙලාවට ඔබලාගේ අවධානය යොමු වන්නේ සමාජ වෙබ් අඩවිවලට. රජයේ නිලධාරීන් කැඳවපුවාම රැස්වීමකට එයාලගෙත් වැඩේ දුරකථනය තියාගෙන ඒක දිහා බලන් ඉන්න එක. ඇමති මණ්ඩලය රැස් කළාම ඇමති මණ්ඩලයට එන ඇමතිවරුනුත් දුරකථනය තබාගෙන අවධානය ඒකට යොමු කරගෙන ඉන්නවා. මම අවුරුද්දකට දෙකකට පෙරම ඇමතිවරුන්ට දුරකථන ගේන එක නැවැත්තුවා. රටේ ජාතික ආරක්ෂාවට සාකච්ඡා කරන්නේ මොනවාද? ගන්න පියවර මොනවාද? ඒවා මුකුත් නැහැ දුරකථනයට ඇන ඇන ඉන්නවා ඒක දිහා බලාගෙන.

“මම කරන බොහෝ කටයුතුවලදී යුද, නාවික, ගුවන්, හමුදාවට තමයි ඉදි කිරීම් බාර දීලා තියෙන්නේ. පොළොන්නරුව දිස්ත්‍රික්කයේත් එහෙමයි. ඒ නිසා ප්‍රධාන වශයෙන්ම මොරගහකන්ද කළු ගඟ ජලාශයත් සමඟ තමුන්නාන්සේලාට ජලය ලැබෙන වයඹ මහ ඇළ දැන් ඒ කටයුතුත් ආරම්භ කරලා තියෙන්නේ. අනෙක් පැත්තනේ ඉහළ ඇළහැර වැව කියලා රජරටට. තව පැත්තකින් මිනිපේ මහ ඇළ කියලා නැඟෙනහිර පැත්තට යනවා මේ ව්‍යාපෘතිය යටතේ. මේ ව්‍යාපෘතියට කෝටි 23,000ක් වැය වෙනවා.”