ජිහාඩ් අන්තවාදයේ සම්පූර්ණ අරමුණ අල්ලාහ් අදහන පිරිස හැර අනෙක් අය විනාශ කිරීමයි : අමාත්‍ය පාඨලී චම්පික

 ඡායාරූපය:

ජිහාඩ් අන්තවාදයේ සම්පූර්ණ අරමුණ අල්ලාහ් අදහන පිරිස හැර අනෙක් අය විනාශ කිරීමයි : අමාත්‍ය පාඨලී චම්පික

ජිහාඩ් අන්තවාදයේ සම්පූර්ණ අරමුණ අල්ලාහ් අදහන පිරිස හැර අනෙක් අය විනාශ කිරීම බව මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා පැවසීය.

අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ පසුගියදා (08) බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශලාවේ පැවැති මහා සඟ සමුළුවට සහභාගි වෙමිනි. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා මෙසේද කීය.

“ශ්‍රී ලංකාවේ තවුහීද් ජමාද් ව්‍යාපාරය මෙහෙයවන්නේ අබ්දුල් රාසික් නමැති පුද්ගලයෙක්. මොහු තමයි මුලින්ම විශේෂයෙන්ම බුද්ධාගමට ප්‍රහාරයක් එල්ල කරන්න ඉදිරිපත් වූ පළමුවැනි ඉස්ලාම් නායකයා. මොහු තමයි මේ තුනුරුවන් කියන්නේ මැණික් ගල් තුනක්ය කියනවා වගේ ග්‍රාම්‍ය ප්‍රකාශ කරමින් ඉතාමත්ම රැඩිකල්භාවයක් පෙන්වාගෙන, විශේෂයෙන්ම තරුණ පිරිස් ආමන්ත්‍රණය කරගෙන ඉදිරියට ආවේ. ඔහුගේ සහායකයෙක් හැටියට තමයි සහරාන් හෂීම් හිටියේ. පසුව මොහුගෙන් වෙන් වී ගිහින් සන්නද්ධ ක්‍රියාදාමයට ගොඩ වුණා. ඒ අනුව දැනට ලංකාවේ මේ තවුහීද් ජමාද් ව්‍යාපාරයට අයිති නිකායවල් 4ක් තිබෙනවා. එම හතරේ මේ විසිපන් ලක්ෂයක් වන මුස්ලිම් ජනතාව තුළ පනස් දහසකට ආසන්න පිරිසක් ඉන්න බව අප අමතක කළ යුතු නැහැ. අපි මතක තබා ගත යුතුයි අද මේ හුඟ දෙනෙක් කලබල වෙලා කටයුතු කරනවා වඳ සැත්කම් කළා කියන වෛද්‍යවරයා ගැන. ඒ වගේම තවත් තැන්වල යම් යම් ඇඳුම් පැලඳුම් විකුණුවාය කියන කාරණාත් ඉතා බලගතුයි. වෛද්‍යවරු පිළිබඳ ගැටලුව වෛද්‍ය සභාව විසින් විසඳනු ලැබිය යුතුයි. නමුත් මේ ත්‍රස්තවාදයක් බව අපි වගේම අපේ ස්වාමීන් වහන්සේලා සියලු දෙනාමත් මතක තබා ගත යුතුයි.

“ඒ වගේම අද ලොකු බියක් ඇති කර තිබෙනවා විදේශ හමුදා ලංකාවට එනවා කියලා. එවැනි කිසිම තත්ත්වයක් නැති බව මම බොහොම වගකීමෙන් කියනවා. ඇතැම් විදේශ රටවල් ලංකාවෙන් ඉල්ලා සිටියා ඒ අයගේ දේපළවලට හානි වෙයි කියලා ඒවායේ ආරක්‍ෂාව සපයා ගන්න අවසර ඉල්ලලා. ඒවට මේ රජය කිසිම ඉඩ කඩක් ලබා දුන්නේ නැහැ. මේ මෙහෙයුම් සම්පූර්ණයෙන්ම ශ්‍රී ලංකා ආරක්‍ෂක හමුදා විසින් සිදු කරනු ලැබිය යුතුයි. සිදු වන්නේත් එයයි. ඒ වගේම විදේශීය බුද්ධි අංශවල තොරතුරු අපට ඉතාම අත්‍යවශ්‍ය වෙනවා. ඒ වගේම ලංකාවේ මුස්ලිම්වරුන් අතර දර්ශන 3ක් තිබෙනවා. අපි දන්න කියන නිදහස් මධ්‍යස්ථ මුස්ලිම්වරයා තමයි සූපිසම් අදහපු තරීකා මුස්ලිම්වරයා. ඒ වගේම අසූ ගණන්වල ආවා මේ වහබ්වාදයත් සමඟ තවුහීද් ජමාද්ව්‍යාපාරය. ඔවුන් තමයි මේ රට ඇතුළේ පුංචි අරාබියක් හදන්න උත්සාහ කරන්නේ. ඊළඟට ආවා මේ තවුහීද් ජමාද් ව්‍යාපාරය. ඔවුන් තමයි වෛරය වපුරමින් ගැටුම්කාරී විදිහට මේ ජිහාඩ්වාදය වපුරවන්නේ. මේ පිරිස අපි විධිමත්ව මුස්ලිම් සමාජයෙන් හඳුනා ගත යුතුයි. ප්‍රචණ්ඩ ජිහාඩ්වාදීන් අපි විනාශ කළ යුතුයි. ඒ අය දෙතුන් සියයක් ඉන්නවා. ඒ බව ඔවුන්ගේ තොරතුරුවලින් හඳුනාගෙන තිබෙනවා. ආරක්‍ෂක අංශ ඔවුන්ව හඹාගෙන යනවා. ඊළඟට මේ ප්‍රචණ්ඩ ජිහාඩ්කරුවන්ට හවුල්කරුවන් ඉන්නවා. මූල්‍යමය වශයෙන්, ස්ථාන සපයා දීමෙන්, නොයෙක් ආකාරයෙන්. ඒ අය නිශ්ක්‍රිය කර දැමිය යුතුයි. වෛරවාදී තවුහීද් ප්‍රකාශ කරන අය නීති මාර්ග මඟින් හා නිර්රැඩිකල් කරන ව්‍යාපාරයක් මඟින් පාලනය කළ යුතු වෙනවා. ඒ වගේම මේ රට අරාබි කොලනියක් කරන්නට රටේ තැන් තැන්වල අරාබි ඇඳුම අඳින්න, අරාබි කෑම කන්න, අරාබි බස පාවිච්චි කරන්න, අරාබි විශ්වවිද්‍යාල ඇති කරන්න, අරාබි පාසල් ඇති කරන්න කටයුතු කරනවා. අන්න ඒ පිරිස ශ්‍රී ලාංකික කිරීම සඳහා අවශ්‍ය කරන නීති පද්ධති හා සමාජ වෙනසක් අවශ්‍යයි. ඒක මුස්ලිම් සමාජය ඇතුළතිනුත් ඇති කරගන්න අපි ක්‍රියා කළ යුතුයි. ඒ වගේම මධ්‍යස්ථ මුස්ලිම් ජනයා අති විශාල පිරිසක් ඉන්නවා මේ රටේ ඒ අය බලාත්මක කළ යුතුයි. ශක්තිමත් කළ යුතුයි. එහෙම නැතිව මේ මුස්ලිම් ප්‍රජාව සැවොම එකයි කියලා කටයුතු කළොත් ඒ සටන අපි පරදිනවා විතරක් නෙමෙයි මේ සටන දිග්ගැහිලා ගිහිල්ලා තව අවුරුදු තිස් හතළිස් ගාණක් යන්න පුළුවන්. ඒ නිසා මේ මුස්ලිම් සමාජයේ ඉන්න මේ ස්ථර වෙන වෙනම හඳුනාගෙන ඒ අයට වෙන වෙනම කටයුතු කිරීම තුළින් පමණයි මෙය ජයග්‍රහණය කළ හැකි වෙන්නේ.

“ඒ වගේම මේ අත්අඩංගුවට ගත් අයගේ තොරතුරු නැහැ කියලා ලොකු ගැටලුවක් පැන නැඟී තිබෙනවා. 2500ක් අත්අඩංගුවේ ඉන්නවා කියලා කියනවා. එම තොරතුරු දැන ගැනීම ඥාතීන්ට අයිති දෙයක්. ඒ ඥාතීන්ට තොරතුරු ලබා ගැනීමේ මධ්‍යස්ථානයක් ඇති කළ යුතුයි. අපේ පාර්ලිමේන්තුවේ ඉන්න ඔම්බුඩ්ස්මන් කෙනෙක්, දුක්ගන්නාරාල කෙනෙක් පත් කළ යුතුයි. මොකද අපේ රටේ කැරලි කෝලාහලවල ඇති වූ නරකම තත්ත්වයක් තමයි පිරිස අත්අඩංගුවට ගත්තහම තොරතුරු ලබා දීමට නොහැකි වීම. ඒ වගේම නව නීති පැනවීම සඳහා පාර්ලිමේන්තුව කටයුතු කරගෙන යනවා මාතෘකා 11ක් හරහා. විශේෂයෙන්ම මේ ජාතීන්, ආගම් අතර මේ වෛරී ප්‍රකාශ කරන අය පිළිබඳව, ඒ වගේම ශ්‍රී ලංකාවේ අධ්‍යාපන ක්‍රමයේ වෙනත් අධ්‍යාපන ක්‍රම පවත්වාගෙන යන මේ මද්‍රසා පාසල් හා ෂරියා විශ්වවිද්‍යාල පිළිබඳව. ඒ වගේම මේ රටට දේශන කිරීම සඳහා පැමිණෙන පුද්ගයන් පාලනය කිරීම පිළිබඳව. ඒ වගේම ඇඳුම් පැළඳුම් පිළිබඳව. ජාතික ආරක්‍ෂාවට සහ අනන්‍යතාවට හානියක් වෙන, ඒ වගේම නොයකුත් ආගමික ස්ථාන අලුතින් ඇති කිරීමේදී ඒවා ලියාපදිංචි කිරීමේ ක්‍රම පිළිබඳව, ආගමික සිද්ධස්ථාන සහ යාඥා මධ්‍යස්ථාන සඳහා පොදු නීති සම්පාදනය කිරීම සඳහාත් ඒ වගේම එක ආගමික අමාත්‍යාංශයක් ඇති කරන්න ඕනෙයි කියන එක. ඒ වගේම ආගමන විගමන නීතිරීති පිළිබඳව, විවිධ රටවල්වලින් හා වෙනත් ආයතනවලින් එන අරමුදල් පිළිබඳව අන්තර්ජාල තොරතුරු කාරණය වැනි මාතෘකා ගණනාවක් යටතේ දැන් පාර්ලිමේන්තුවේ නීති සම්පාදනය කරගෙන යනවා. ඒ බව මේ අවස්ථාවේදී ඔබවහන්සේලාට දැනුම් දිය යුතුයි. ගෞරවනීය මහා සංඝරත්නයත් මේ නීති සම්පාදනයට දායක වෙලා, සෙසු ආගමික පිරිසත් දායක වෙලා අපි හැකි ඉක්මනින් මේ නීති සම්මත කරගෙන සමාජය තුළ තිබෙන සැකය, බිය, වෛරය තුනීකර ගන්න මේ නීති ඉතාම අත්‍යවශ්‍යයි.

“ඒ නිසා මේ සම්බන්ධයෙන් අපේ බෞද්ධ භික්ෂුන් වහන්සේගේත් විශේෂයෙන්ම ඉස්ලාමීය මවුලවිවරුන් ඇතුළු ආගමික උගතුන්ගේත් විශාල වගකීමක් තිබෙනවා. මේ අභියෝගය ජය ගැනීම සඳහා අපි කෙටි කාලීනව ක්‍රියාත්මක වීම ගැන අවධානය යොමු කළ යුතුයි. ඒ වගේම මේකට මුහුණ දීමට නම් අපට ශක්තිමත් ආර්ථිකයක් අවශ්‍යයි. ශක්තිමත් ආර්ථිකයක්, ශක්තිමත් බලවත් රටක් තිබුණොත් විතරයි අපට මේක පාලනය කරන්න පුළුවන් වෙන්නෙ. ඒ සඳහා මේ රටට විද්‍යාත්මක ආණ්ඩුකරණයක් එක්ක විධිමත් සැලසුමක් සමඟ ආර්ථිකය ගොඩනඟන වැඩසටහනක් අවශ්‍යයි.”

මාතෘකා