තේරීම්කාරක සභාවල වැදගත්කම

 ඡායාරූපය:

තේරීම්කාරක සභාවල වැදගත්කම

මේ දිනවල පාර්ලිමේන්තු තේරීම්කාරක සභා පිළිබඳව සමාජයෙහි විවිධ අදහස් සංසරණය වෙමින් පවතී. ගැටලු නිරාකරණය කර ගැනීම උදෙසා විවිධ කාලවලදී පාර්ලිමේන්තු තේරීම්කාරක සභා පත් කරගෙන ඇති අතර වර්තමානයේද එය නොවෙනස්ව සිදුවේ. ප්‍රජාතන්ත්‍රවාදී ව්‍යූහයක් තුළ පාර්ලිමේන්තු තේරීම්කාරක සභාවල වැදගත්කම සහ එහි ක්‍රියාකාරීත්වය පිළිබඳව සිවිල් මතධාරීන්ගෙන් විමසුමක් කළෙමු.

ඕනෑම රාජ්‍ය නිලධාරියෙක්ව ගෙන්වන්න බලය තියෙනවා

මහාචාර්ය එම්. ඕ. ඒ. ද සොයිසා

දේශපාලන, ආර්ථික, සමාජයීය වශයෙන් රටේ වරින් වර ඉස්මතු වන වැදගත් ගැටලුවකට පසුබිම් වුණු හේතු සාධක ගැන කරුණු විමසලා බලන්න තේඊම් කාරක සභා පත් කරනවා. ඒක වෙන්නේ කථානායකවරයාගේ නිර්දේශය මත. ඒ සඳහා පාර්ලිමේන්තුවේ පක්ෂ විපක්ෂ නියෝජිතයන් ඇතුළත් වෙනවා. පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවකට බලය තියෙනවා ඕනෑම රාජ්‍ය නිලධාරියෙක්ව ගෙන්වන්න. රටේ ඉහළම තැන වුණත් ගෙන්වන්න බලය ව්‍යවස්ථා ප්‍රකාරව තේරීම් කාරක සභාවකට ලැබෙනවා. තේරීම් කාරක සභා ඒ ගැටලු සම්බන්ධයෙන් ගේන නිර්දේශ අනුව විධායකයට පුළුවන් අණපනත් නිර්මාණය කරන්න. ඉතිහාසය පරික්ෂා කරලා බැලුවොත් තේරීම්කාරක සභා ගණනාවක තීන්දු තීරණ රටට බලපාලා තියෙනවා. මේවා ස්ථාවර නැහැ. අදාළ කාර්ය අවසන් වූ වහාම කාරක සභා විසුරුවනවා.

මෙය රටේ ක්‍රියාකාරීත්වයට සෘජුවම බලපානවා

ආචාර්ය ජයම්පති වික්‍රමරත්න

ව්‍යවස්ථාදායකය, විධායකය සහ අධිකරණය යන ත්‍රිත්වයේ බලතල වෙන් කිරීමක් පවතිනවා. යම්කිසි කාරණයක් පිළිබඳව විධායකයට පුළුවන් විමර්ශනය කරන්න. ඒ හරහා විවිධ ක්‍රියාමාර්ග ගන්නත් පුළුවන්. අධිකරණයට පැවරෙන්නේ කරුණු සොයා බැලීමක් නෙවෙයි. අධිකරණයට පැවරෙන්නේ සෘජු විනිශ්ච කාර්යභාර්යය. පාර්ලිමේන්තුවටත් පුළුවන් අධිකරණයේ විමසා බලන්නේ නැති ගැටලු පිළිබඳව විමර්ශන කරන්න. ඒ සඳහා ව්‍යවස්ථා ප්‍රකාරව නීතිමය බලතල පැවරිලා තියෙනවා. ඒ වගේම පාර්ලිමේන්තුවට තියෙනවා රටේ සියලු කාර්යයන් පිළිබඳ අධීක්ෂණ බලතල. පාර්ලිමේන්තු තේරීම්කාරක සභාවල ක්‍රියාකාරීත්වය රටේ ක්‍රියාකාරීත්වයට සෘජුවම බලපානවා. 1948 සිට ඉතිහාසයේ තේරීම් කාරක සභා රාශියක් තිබිලා තියෙනවා.

අතිබහුතරයක් තේරීම්කාරක සභාවලින් වැඩක් වෙන්නේ නැහැ

ශ්‍රී ලංකා කොමියුනිට්ස් පක්ෂ නායක ඩීව් ගුණසේකර

පාර්ලිමේන්තුවේ අණපනත් අනුව ස්ථාපිත කරන සභා තමයි තේරීම් කාරක සභා කියන්නේ. මමත් කාලයක් පාර්ලිමේන්තුවේ කෝප් කමිටුවේ සභාපති ධුරය දැරුවා. මේ තේරීම් සභා පත් කරන්නේ කුමක් සඳහාද කියන එක ගැන අවධානය යොමු කරන්න ඕනේ. දැනට සිදුවෙමින් පවතින හෝ සිදුවුණු යම් ගැටලුවක් විමර්ශනය කරන්න තමයි තේරීම් කාරක සභා පත් කරන්නේ. නමුත් ඉතිහාසය දිහා බැලුවාම පේනවා ඒවා අවශ්‍ය, අවශ්‍ය නොවන සිදුවීම් ගණනාවක් මුල් කරගෙන පත් කරලා තියෙනවා කියලා. මේ තේරීම් කාරක සභාවල ක්‍රියාකාරීත්වය දුර්වලයි. මේ තේරීම්කාරක සභා මිනිස්සුන්ට ප්‍රයෝජනවත් වෙලා තියෙන්නේ අවස්ථා දෙක තුනකදි විතරයි. මේ කාරක සභාවලින් සාකච්ඡා කරනවා විතරයි; තීන්දු තීරණ ගන්නේ නැහැ. උදාහරණයක් විදිහට 1959දි ඡන්ද බලය භාවිතා කරද්දි ජාතික හැඳුනුම්පත භාවිතා කළ යුතුයි කියලා පනතක් ඇවිත් එය සම්මත වුණා. ඒත් ඒක ක්‍රියාත්මක වුණේ නැහැ. ඊට වසර පනහකට පස්සේ මම තේරීම් කාරක සභාවේ ඉන්නකොට ඒක නැවත විභාග කරලා සම්මත කරගත්තා. එතකම් මිනිස්සු හොර ඡන්ද දැම්මා. මම මේ වසර පනහකට අධික පළපුරුද්දකින් කියන්නේ අතිබහුතරයක් තේරීම්කාරක සභාවලින් කිසිම වැඩක් වෙන්නේ නැහැ.

සභිකයන් කටයුතු කරන්නේ එක් අරමුණක් පෙරදැරිව

ජනාධිපති නීතිඥ ගෝමින් දයාශ්‍රී

රටේ යම්කිසි විසඳිය නොහැකි සංකීර්ණ ගැටලුවක් උද්ගත වුණු අවස්ථාවල පාර්ලිමේන්තුවේ තේරීම්කාරක සභා පත් කරනවා. පාර්ලිමේන්තුවේ නොයෙක් මන්ත්‍රීවරු හිටියත් අදාළ ගැටලුව පිළිබඳව යම්කිසි දැනුමක් තියෙන සුළු පිරිසක් මේ තේරීම් කාරක සභාවලට පත් කරගන්නවා. ඒ සඳහා ඔවුන්ගේ ජ්‍යේෂ්ඨත්වය, පළපුරුද්ද, දැනුම, අත්දැකීම් ප්‍රබල ලෙස බලපානවා. පාර්ලිමේන්තුවේදී වගේ නෙමෙයි මේ තේරීම්කාරක සභාවේදි එහි සභිකයන් කටයුතු කරන්නේ එක් අරමුණක් පෙරදැරිව. ඒ සඳහා ඔවුන්ගේ විෂය දැනුම අවශ්‍යයි. පාර්ලිමේන්තු ක්‍රමය තුළ පවතින ඉතා වැදගත් අංගයක් ලෙස මේ තේරීම් කාරක සභා සලකන්න පුළුවන්.

සොයා බැලීම වගකීමක්

ආචාර්ය හරිනි අමරසූරිය

රජයේ වගකිව යුතු පුද්ගලයන්ට සහ ආයතනවලට21 වැනිදා පාස්කු ප්‍රහාරය පිළිබඳව යම් කිසි ඉඟියන් ලැබී ඇති බව දැනට පැහැදිලි වෙලා තියෙනවා. ඒ ප්‍රහාරය වැළැක්වීමට තීරණ අරගෙන නොමැති බවත් දැනටමත් අප දන්නවා. මෙතන විශාල ප්‍රශ්නයක් තියෙනවා. ආණ්ඩුව ඇතුළේ තියෙන ප්‍රශ්න නිසා මහජන ආරක්ෂාවට විශාල බලපෑම් සිදුවෙලා තිබෙන බව පේනවා මෙයින්. මෙයට වගකිව යුත්තේ කවුද කියලා අනිවාර්යෙන්ම සොයා බැලිය යුතුයි. මොකද මේක මේ මොහොතේ උද්ගත වී ඇති ප්‍රධාන ගැටලුවක්. රජයක පරම වගකීම මහජනයාගේ ආරක්ෂාව තහවුරු කිරීම. ආණ්ඩුව ඇතුළේ තියෙන ප්‍රශ්න නිසා මහජන ආරක්ෂාවට හානියක් වෙනවා නම් ඒ හානියට වගකිව යුත්තේ කවුද කියලා සොයා බලන එක පාර්ලිමේන්තුවේ වගකීම. තේරීම් කාරක සභාවෙන් ඒ වගකීම නිසි ලෙස ඉටු විය යුතුයි. මැතිවරණ වෙනුවෙන් නෙවෙයි, මෙතැන විශාල ගැටලුවක් ඇති වී තිබෙන නිසා එම සොයා බැලීමේ කාර්ය නිසි පරිදි ඉටුවිය යුතුයි.

මාධ්‍යයේ වගකීම් විරහිතකම තමයි ගැටලුව

මහාචාර්ය නවරත්න බණ්ඩා

රටේ රාජ්‍ය ආරක්ෂාව පිළිබඳව ගැටලුවක් ඇති වූ විට තොරතුරු දැනගැනීමේ අයිතිය යටතේ ඒ පිළිබඳව තොරතුරු පාර්ලිමේන්තුව ලබා ගැනීමේ කිසි ගැටලුවක් නෑ. පාර්ලිමේන්තුව රටේ මහජනයාගේ නියෝජිතයන් ලෙස තොරතුරු දැනගැනීමේ අවශ්‍යතාවක් තියෙනවා. වෙනත් රටවලත් පාර්ලිමේන්තුව මෙලෙස තොරතුරු ලබා ගැනීම කරනවා. ඒත් සමහර කාරණා මාධ්‍යයට විවෘත කරන්නේ නෑ. අපේ රටට මෙය නව අත්දැකීමක්. මේ තොරතුරු දේශපාලන අවශ්‍යතාව සඳහා යොදාගන්නා බවක් පේනවා. මාධ්‍යයත් තමන්ට අවශ්‍ය පරිදි මේ තොරතුරු යොදාගන්නවා. එහි අනතුරත් තියෙනවා. ඒ නිසා එක්තරා රහස්‍යභාවයක් ඇතුවයි එය කළ යුතුව තිබුණේ. නව අත්දැකීම කෙසේ ජනතාව වෙත ලබාදිය යුතුද කියලා මාධ්‍යයට පුහුණුවක් නෑ. ඒ වගේම පොදුවේ රටේ මාධ්‍ය ජනතාවට ඇත්ත කියන බවක් පේන්න නෑ. ජනතාව අවුස්සන්නයි මාධ්‍ය හදන්නේ. ඒ අනතුර හැර පාර්ලිමේන්තුව මහජන නියෝජිතයන්ගේ ආයතනය ලෙස මේ තොරතුරු සොයා බැලීම හොඳයි.

[රසිකා හේමමාලි] [නිර්මාණි බණ්ඩාරනායක]

මාතෘකා