අන්තවාදීන්ගේ උත්සාහය ආරක්‍ෂක අංශවල අවධානය වෙනතකට යොමු කිරීමයි

 ඡායාරූපය:

අන්තවාදීන්ගේ උත්සාහය ආරක්‍ෂක අංශවල අවධානය වෙනතකට යොමු කිරීමයි

මේ කඩාකප්පල්කාරීන්ට නීතියෙන් දඬුවම් දෙනවා

: අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ

ත්‍රස්තවාදය මැඩපැවැත්වීම සඳහා වෙහෙසෙන ආරක්‍ෂක අංශවල අවධානය වෙනතකට යොමු කිරීම අන්තවාදී කණ්ඩායම්වල අරමුණ බවත් ඒ නිසා එවැනි කඩාකප්පල්කාරී ක්‍රියාවල නියැළෙන්නන්ට, සමානව නීතිය ක්‍රියාත්මක කරන බවත් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.

අග්‍රාමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ පසුගියදා (02) යාපනය නගර සභා ක්‍රීඩාංගණයේ පැවැති සමෘද්ධි සහනාධාර ලබාදීමේ උත්සවයට සහභාගී වෙමිනි. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අග්‍රාමාත්‍යවරයා මෙසේද කීය.

“යාපනය දිස්ත්‍රික්කයේ පවුල් 23,011කට අලුතින් සමෘද්ධි හිමිකම ලබා දෙනවා. ඒ අනුව යාපනයේ පවුල් 76,289ක් අපි සමෘද්ධි ලබා දීමේ වැඩසටහනට ඇතුළත් කර තිබෙනවා. මේ රටේ අවුරුදු 20ක් සමෘද්ධිය නොලැබුණු සහ යුද්ධ කාලයෙන් පසුවත් සමෘද්ධිය නොලැබුණු පුද්ගලයන් රාශියක් සිටිනවා. සමෘද්ධිලාභීන්ට මෙම සමෘද්ධි සහනාධාරය ලබා දීමට හැකි වුණේ දයා ගමගේ අමාත්‍යතුමා ගත් උනන්දුව නිසයි. එතුමාට ඇමැතිකමක් ලබා දුන් විට කැප වී වැඩ කරනවා. කුඩා කර්මාන්ත අමාත්‍යවරයා ලෙස රටේ කුරුඳු වැනි කුඩා කර්මාන්ත දියුණු කිරීමට කටයුතු කළා. ඒ සඳහා ලෝක බැංකු ආධාර ලබා ගත්තා. දැන් අහිංසක ජනතාවට සමෘද්ධිය ලබා දීම හරහා ඊටත් වඩා සේවයක් ඉටු කිරීමට බලාපොරොත්තු වෙනවා.

එතුමාගේ සංකල්පයකට අනුව සිංහල - දෙමළ අලුත් අවුරුද්දට පෙර සහන ක්‍රමයක් යටතේ රුපියල් 15,000ක් ජනතාවට ලබා දුන්නා. නැවතත් එම දීමනාව ජනතාවට ලබාදීමට අපි බලාපොරොත්තු වෙනවා. අලුතෙන් සමෘද්ධිය ලැබෙනවා. මේ සියල්ල සිදු කරන්නේ එතුමාගේ දක්‍ෂතාව නිසයි. ඒ වෙනුවෙන් මම ස්තූතිවන්ත වෙනවා. වර්තමානයේ අපි යාපනයේ විශාල වැඩකොටසක් ආරම්භ කර තිබෙනවා. මේ වසරේ මම උතුරු සංවර්ධන අමාත්‍යාංශය බාර ගත්තා. ඒ හරහා උතුරු පළාතේ යුද්ධයෙන් විනාශ වූ ජනතාවට සහන සැලසීම සඳහා උතුරු පළාත් මන්ත්‍රීවරුන්ගෙන් සැදුම්ලත් යාන්ත්‍රණයක් අපි ආරම්භ කර තිබෙනවා. ඔවුන්ගේ අදහස් හා අවශ්‍යතා මත අපි සංවර්ධන වැඩ කටයුතු සිදු කරනවා.

“ජූලි කලබලය රටේ ඇති නොවුණා නම් අපේ රටේ යුද්ධයක් ඇති වෙන්නේ නැහැ. ජූලි කලබල නිසා අපට ආදරය කළ ද්‍රවිඩ ජනතාව අපෙන් ඈත් වුණා. යුද්ධය අවසන් වීමට වසර 30ක් ගත වුණා. නැවත යුද්ධයක් ඇති නොවීමට අප වගබලා ගත යුතුයි. අද අපේ රටේ සංහිඳියාව වර්ධනය වෙමින් තිබෙනවා. ඒ සම්බන්ධයෙන් දේශපාලන විසඳුමකට එළැඹීමේ අපේ ස්ථාවරයෙන් අපි ඉවත් වී නොමැති බවත් පැවසිය යුතුයි. පාස්කු ඉරිදා බෝම්බ පිපිරීම අයි.එස්. ත්‍රස්තවාදී ක්‍රියාවක් බව රටට හෙළි වුණා. නමුත් එදා ජාතිවාදය ඇවිස්සීමක් සිදු වූයේ නැහැ. කාදිනල්තුමා ඇතුළු ක්‍රිස්තියානි පූජක පක්ෂය, බෞද්ධ සංඝරත්නය, ඉස්ලාම් පූජක පක්ෂ සියලු දෙනා එකට එකතු වුණා. එය ජාතිවාදය නොව, ත්‍රස්තවාදී ක්‍රියාවක් බව එදින රාත්‍රිය වන විට ඔවුන් පැවසුවා. ජාතිවාදී කෝලාහල මේ රටේ ඇති කරන්න එපා යැයි පූජක පක්ෂය ජනතාවට පැවසුවා. එදින රාත්‍රිය වන විට අපට ත්‍රස්තවාදයට සම්බන්ධව සෝදිසි මෙහෙයුම් ආරම්භ කිරීමට හැකි වුණා. මුස්ලිම් ජනතාව විසින්ම කාන්තන්කුඩි සහ සයින්දමරුදු ප්‍රදේශවල සැඟවී සිටි ත්‍රස්තවාදීන් පිළිබඳව තොරතුරු ලබා දෙනු ලැබුවා. ඔවුන් අප අත්අඩංගුවට නොගත්තා නම් තව තවත් බෝම්බ ලංකාව වටේ පුපුරා යනවා. අද අපිට එවැනි තොරතුරු ගණනාවක් ලැබෙනවා. සිංහල, දෙමළ ජනතාවගෙන් ත්‍රස්තවාදය පිළිබඳව ඔත්තු ලැබුණත් වැඩි වශයෙන්ම ඔත්තු ලැබෙන්නේ මුස්ලිම් ජනතාවගෙන් බව පැවසිය යුතුයි.

“අයි.එස්. ත්‍රස්තවාදයට අපි කිසිම අනුකම්පාවක් පෙන්වන්නේ නැහැ. සහරාන්ගේ ජාතික තවුහීද් ජමාත් සංවිධානයත් අපි තහනම් කළා. නමුත් එම සංවිධානවලට නැවතත් හිස ඔසවන්නට ඉඩ දිය නොහැකියි. අයි.එස්. ත්‍රස්තවාදී ප්‍රහාරයෙන් පසු රටේ සෝදිසි මෙහෙයුම් සිදු කර අවශ්‍ය ත්‍රස්තවාදීන් අත්අඩංගුවට ගෙන රට සාමාන්‍ය තත්ත්වයට පත් වුණා. නමුත් ඉන්පසුව අප පාසල් විවෘත කිරීමට තීරණය කළ දිනයේ කුලියාපිටිය, වාරියපොළ, බිංගිරිය ප්‍රදේශවල ජාතිවාදී කෝලාහල ඇති වුණා. මුස්ලිම් ව්‍යාපාරික ස්ථානවලට, නිවාසවලට පහර දුන්නා. මිනුවන්ගොඩදීත් ප්‍රහාරයක් එල්ල කළා. මිනුවන්ගොඩ මුස්ලිම් ව්‍යාපාරික ස්ථානවලට පමණක් නොව, තමන්ට විරුද්ධ සිංහල ව්‍යාපාරික ස්ථානවලටත් පහර දුන්නා. එය යම් සංවිධානයක් සිදු කළ ජාතිවාදී පහරදීමක්. එය සිදු වූ අවස්ථාවේ මමත් අපේ අමාත්‍ය මණ්ඩලයත් සඳුදා සහ අඟහරුවාදා දිනවල ගත් පියවර නිසා එය පාලනය කිරීමට අපට හැකි වුණා. හලාවතත් එවැනි සිද්ධියක් ඇති වුණා. තවත් තැන් කිහිපයක් මෙවැනි ජාතිවාදී ගැටුම් සංවිධානය කර තිබුණා. මීගමුව ප්‍රදේශයේ තවමත් විවිධ මට්ටමේ දූෂමාන ආරංචි පැතිර යනවා. ජාතික තවුහීද් ජමාත් සංවිධානය පැමිණ පහර දෙන්නට සැලසුම් කරනවා යැයි ආරංචි පැතිරෙනවා. ජාතික තවුහීද් ජමාත් සංවිධානයට පහර දීමට ශක්තියක් නැති බව පැවසිය යුතුයි. පාසල්වල බෝම්බ තිබෙන බවටත් අයි.එස්. ත්‍රස්තවාදීන් සිටින බවටත් ආරංචි පතුරුවනවා. එවිට ජනතාව කෝපයට පත් වී ප්‍රහාර එල්ල කිරීමට සැරසෙනවා. මෙම තත්ත්වයන් ඇති කරන කණ්ඩායම්වල අවශ්‍යතාවය ජාතිවාදය ඇති කිරීමයි. ඒ හරහා රට අවුල් කිරීමයි.

“නමුත් එවැනි ගැටලුවක් රට තුළ ඇති වුවහොත් එහි ජයග්‍රහණය හිමි වන්නේ අයි.එස්. ත්‍රස්තවාදීන්ට පමණයි. ජූලි කලබලයේදී ද්‍රවිඩ ජනතාව විරසක කර ගත්තා වගේ අයි.එස්. ත්‍රස්තවාදය නිසා ඊට විරුද්ධ මුස්ලිම් ජනතාවත් අපි විරසක කර ගන්නවා නම් අපි මේ සටන ඉදිරියට ගෙන යන්නේ කෙසේද? ජාතීන් අතර එවැනි තත්ත්වයක් ඇති වුවහොත් බුද්ධි අංශවලට තොරතුරු ලබා ගැනීමට පවා නොහැකි වන බව ඔවුන් පවසනවා. ජාතිවාදී කෝලාහල, ප්‍රචණ්ඩත්වය පතුරන අයට අවශ්‍ය වන්නේ අයි.එස්. ත්‍රස්තවාදයට රුකුල් දීමටයි. අපි අයි.එස්. ත්‍රස්තවාදයට කිසිම සමාවක් නොදී ක්‍රියා කරනවා නම් අයි.එස්. ත්‍රස්තවාදයට උදව් උපකාර කරන අයටත් කිසිම සමාවක් නොදී දඬුවම් කළ යුතුයි.

“මේ රටේ සිංහල, දෙමළ, මුස්ලිම් කිසිඳු ජාතියක් මෙම ත්‍රස්තවාදයට කැමැති නැහැ. ආරක්‍ෂක අංශ, පොලිසිය, බුද්ධි අංශවලට ත්‍රස්ත මර්දන පරීක්‍ෂණ කටයුතු කිරීමට ඉඩ සලසා දිය යුතුයි. විවිධ ක්‍රියා හරහා එම සෝදිසි මෙහෙයුම් කඩාකප්පල් කරන්නේ මේ රටේ ජාතිවාදී පිරිස් බව පැවසිය යුතුයි. එවැනි විශාල ජාතිවාදී කෝලාහලයක් ඇති වුණොත් සියලුම දෙනා එය පාලනය කිරීමට පැමිණියොත් සැබෑ ත්‍රස්තවාදීන් පිළිබඳව පරික්‍ෂා කිරීමට සහ විභාග කිරීමට හැකියාවක් නැහැ. එම නිසා ජාතිවාදී ප්‍රචණ්ඩත්වය ඇති කිරීම අප නතර කළ යුතුයි. ඊට යාපනය හොඳ උදාහරණයක්. එදා ඇති වූ ජාතිවාදී කෝලාහල නිසා යාපනයත් රටත් විනාශ වුණා. අයි.එස්. ත්‍රස්තවාදය ඇති වුණත් අපි එය හොඳින් මැඩපවත්වා තිබෙනවා. ඉන්දියාව, චීනය, ජර්මනිය, ස්විට්සර්ලන්තය ආදී රටවල් සංචාරක තහනම ඉවත් කර තිබෙනවා. ඉන්දීය අග්‍රාමාත්‍යතුමා ඉදිරියේදී ශ්‍රී ලංකාවට පැමිණෙනවා. මේ ආකාරයට අපි නැවතත් නැඟී සිටිය යුතුයි. සංචාරක ව්‍යාපාරය දියුණු කළ යුතුයි. අනෙක් අංශවලටත් අපි ආධාර, උපකාර කළ යුතුයි. ඒ ආකාරයට අපි කටයුතු කරනවා නම් තවත් වසරක් ගතවීමට පෙර රට සාමාන්‍ය තත්ත්වයට පත් වන බව මම අවසාන වශයෙන් කියන්න කැමතියි.”

මාතෘකා