අප්‍රේල් 21 ප්‍ර‍හාරය ගැන සොයන්න පත්කළ තේරීම් කාරක සභාවට මම අනිවාර්යයෙන්ම යනවා : අමාත්‍ය සාගල රත්නායක

 ඡායාරූපය:

අප්‍රේල් 21 ප්‍ර‍හාරය ගැන සොයන්න පත්කළ තේරීම් කාරක සභාවට මම අනිවාර්යයෙන්ම යනවා : අමාත්‍ය සාගල රත්නායක

“අප්‍රේල් 21 ප්‍ර‍හාරය සම්බන්ධව සොයා බැලීමට පත්කරන ලද තේරීම්කාරක සභාවට මටත් එන්න කියලා තියෙනවා. මම ඒකට අනිවාර්යයෙන්ම සහභාගී වෙනවා.” යැයි අග්‍රාමාත්‍ය කාර්ය මණ්ඩල ප්‍ර‍ධානි, වරාය හා නාවික කටයුතු සහ දක්ෂිණ සංවර්ධන අමාත්‍ය මාතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී සාගල රත්නායක මහතා පැවසීය.

අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ පෙරේදා (28) වැලිගම ප්‍රදේශයේ පැවැති උත්සවයකට සහභාගී වෙමිනි. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා මෙසේද කීය.

“මම රට පුරාම සතිපතා සඳුදා දිනවල ඒ ඒ දිස්ත්‍රික්කවල වැඩකටයුතුවල ප්‍ර‍ගතිය බලනවා. ඒ වගේම අගමැතිතුමාට මම ඒ ගැන වාර්තා කරනවා. වැලිගම ආසනයේ වැලි‍පිටිය ප්‍රාදේශීය සභාවේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය තුළ ප්‍ර‍ගතියේ පුංචි ප්‍ර‍ශ්නයක් තියෙනවා. විශේෂයෙන් මාර්ග සංවර්ධනයේදී ප්‍ර‍ගතිය මදි. මිලියන දෙකක පමණ මුදල් ප්‍ර‍මාණ මේ මාර්ග සංවර්ධනයට යොදවලා තියෙනවා මගේ අමාත්‍යාංශයෙන් හෝ ආර්ථික කටයුතු අමාත්‍යාංශයෙන් නැත්නම් ගම්පෙරළිය වැඩසටහන යටතේ. ඇයි මේ ප්‍ර‍මාදය කියන ප්‍ර‍ශ්නයට අපිට දෙන්න තියෙන පිළිතුර වෙන්නේ මේ වැඩකටයුතු ප්‍රාදේශීය සභාවෙන් බාර අරගෙන ඒවා දැන් ක්‍රියාත්මක වීම වේගවත් මදි කියන එකයි. මම ප්‍රාදේශීය සභාවේ සභාපතිතුමාගෙන් ජනතාව වෙනුවෙන් ඉතාම බැගෑපත්ව ඉල්ලනවා මේ ජනතාවගේ මුදල්. මගේවත් අගමැතිතුමාගේවත් ජනාධිපතිතුමාගේවත් නෙවෙයි. අපි ඒ මුදල් ගමේ වැඩකටයුතු හඳුනගෙන ඒ සඳහා යොදවන එක පමණයි කරන්නේ. ජනතාවගේ වැඩකටයුතුවලට මේ දේශපාලනය ගාවගන්න එපා කියලා මම සභාපතිතුමාගෙන් ඉල්ලනවා. ජනතාවගේ වැඩකටයුතු ටික ඉටුකරලා දෙන්න. කවුරු සල්ලි ගෙනාවත් ඒකට පාටක් ගාවගන්න එපා. පක්ෂයක් ගාවගන්න එපා. මේ වැඩේ ප්‍ර‍තිඵලය එන්නේ ගමටයි. ජනතාවටයි. ඒ දියුණුව එන්නේ ගමටයි ජනතාවටයි. ඒ නිසා කරුණාකරලා සභාපතිතුමනි, ඒ දේශපාලන කුහක වැඩේ නම් කරන්න එපා. මේ වැඩකටයුතු ටික ඉතාමත්ම ඉක්මනින් ඉවර කරලා ජනතාවට ඒ සේවය කරන්න. ඔබත් ඡන්දය ඉල්ලලා ඇවිත් තියෙන්නේ. ඒ සේවය කරන්න කියලා මම මතක් කරන්න කැමතියි.

"අපි වේගයෙන් ඉදිරියට ගමනක් ආවා සංවර්ධනයත්, ආර්ථික දියුණුවත් කරගෙන. අවාසනාවකට අප්‍රේල් 21 වැනිදා සිදුවීමෙන් පසුබෑමක් ආවා. නමුත් නැවතත් විශ්වාසය ගොඩනඟාගෙන ඉදිරියට යනවා. ඒ ඉදිරියට යද්දී නැවතත් මේ ප්‍ර‍ශ්න විසඳිලා යනවා. මටත් ආරංචියි නිල නොවන මට්ටමෙන් ඒ තේරීම්කාරක සභාවට මටත් එන්න කියලා තියෙනවා කියලා 06 වැනිදා. මම ඒකට අනිවාර්යයෙන්ම යනවා. ඒ වැඩකටයුතුවලට සහාය දෙනවා. රජයේ කටයුතුවලට හානියක් නොවන, විශේෂයෙන් රටේ ජාතික ආරක්ෂාවට හානියක් නොවන ඕනෑම ප්‍ර‍ශ්නයකට මම පිළිතුරු දෙනවා. මොකද ජනතාවට ආරක්ෂාව තියෙන්න ඕන. ඒ වැඩකටයුතු බාරව මමත් ටික කලක් හිටියා. ඒ වැඩකටයුතු බාරව හිටි අමාත්‍යවරයෙක් හැටියට මට තියෙන වගකීමක් තේරීම්කාරක සභාවට සහභාගී වෙලා පරීක්ෂණවලට සහාය ලබාදීම. මමත් ඒ ආරාධනාව ලැබෙනකල් ඉන්නේ ගිහිල්ලා ඒ කටයුතුවලට සහාය දක්වන්න. බය වෙන්න එපා, සියලු දෙනාට ඉතාම හොඳ අනාගතයක් ඇතිකරන්න හැමෝම මහන්සි වෙනවා. පුංචි පුංචි ප්‍ර‍ශ්න තියෙනවා. ඒවා විස‍ඳගෙන අපි යන්න ඕන. විශේෂයෙන් සංවර්ධනයට දේශපාලනයක් නැහැ. අනිත් එක මැතිවරණ ගැන කතා කරන්න තවමත් මම හිතන්නේ පුංචි කාලයක් තියෙනවා අපේක්ෂකයෝ කවුද කියලා කතා කරන්න. හැම පක්ෂයකම ක්‍ර‍මවේදයක් තියෙනවා අපේක්ෂකයෙක් නම් කරන්න. ඒ ක්‍ර‍මවේදය අනුව ඒ ඒ පක්ෂ නියමිත වෙලාවට අපේක්ෂකයෝ නම් කරනවා. දැන් තියෙන්නේ අන්තිම මොහොත දක්වා වැඩ කරන්න. මුදල් කොපමණ තියෙනවද මේ ප්‍රදේශවලට ඇවිල්ලා. අපි හැමෝගෙම වගකීම ඒ මුදල්වලින් මේ සංවර්ධන වැඩකටයුතු කරන එක, අනිකුත් රජයේ වැඩසටහන් ක්‍රියාත්මක කරගෙන ඉදිරියට යන එක සහ ජනතාවට පුළුවන් තරම් සේවයක් අපි කරන එක. එතන ඉඳලා තමයි ඊළඟට මේ රටට එන ඕනම නායකයෙක් වැඩකරගෙන යන්න වෙන්නේ. එතකොට ඊළඟ එක්කෙනාට පහසුයි එතන ඉඳලා යන්න. ඊට පස්සේ එයාගේ කාලසීමාවේදී එයා ගොඩනඟන්න ඕන. එතන ඉඳලා තවත් ලේසියි අනිත් එක්කෙනාට යන්න. අපි ඡන්දෙට ලෑස්ති වෙලා වළ කප කපා හිටියොත් හැමදාම පස්සට යන්නේ අපේ රටමයි. ඡන්දෙට තව ටිකක් කල් තියෙනවා. අපි හැමෝම එකතු වෙලා වැඩ කරමු.”

මාතෘකා