අපි ගේන්නේ රට ඉදිරියට ගෙන යන පොදු ප්‍රතිපත්තියක් සහිත සන්ධානයක්

 ඡායාරූපය:

අපි ගේන්නේ රට ඉදිරියට ගෙන යන පොදු ප්‍රතිපත්තියක් සහිත සන්ධානයක්

 

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ

 

ඉන්දීය සාගරය මධ්‍යයේ විශාල නවීන මහනගර ක්‍රමයක් ඇතිකර මෙරට ජනතාවට නවීන ජීවිතයක් ලබාදීමට රජය පියවර ගෙන තිබෙන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.

අග්‍රාමාත්‍යවරයා ඒ බව පැවසුවේ පසුගියදා (23දා)අවිස්සාවේල්ල පොදු වෙළෙඳ සංකීර්ණයට මුල්ගල තැබීමෙන් අනතුරුව පැවැති ජන හමුවට සහභාගි වෙමිනි.

එහිදී අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මෙසේද පැවසීය.

“බස්නාහිර පළාතේ විශාලතම මැතිවරණ කොට්ඨාසය වන අවිස්සාවේල්ල කොට්ඨාසය තුළ සිදුවන සංවර්ධන ව්‍යාපෘතිවලින් බොහොමයක් මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍යාංශය මඟින් සිදු කළ බව සඳහන් කළ යුතුයි. ඉදිරියේදී සංවර්ධනය කළ යුතු ප්‍රදේශ ලෙස පාදුක්ක, හංවැල්ල, අවිස්සාවේල්ල යන ප්‍රදේශ හඳුනාගෙන තිබෙනවා. මෙම ප්‍රදේශ 1992 වසරේ සිටම සංවර්ධනය කළ යුතු බව දැනගත් නිසා සීතාවක වෙළෙඳ කලාපය මෙම ප්‍රදේශයට ගෙන ඒමට අප කටයුතු කළා. ඉන්පසු සිදුවූ ආණ්ඩු මාරුවත් සමග අප එදා ඉලක්ක කර ගත් සංවර්ධනය මෙම ප්‍රදේශයේ සිදු වූයේ නැහැ. 2015 වර්ෂයේ අපේ ආණ්ඩුව බලයට පත්වීමෙන් පසුව නැවතත් මෙම ප්‍රදේශ සංවර්ධනය කිරීම සඳහා අවධානය යොමු වුණා.

ඉන්දීය සාගරය මධ්‍යයේ විශාල නවීන මහනගර ක්‍රමයක් ඇති කිරීම අපේ ඉලක්කය වී තිබෙනවා. කොළඹ වරාය නගරය ශ්‍රී ලංකාවට අයත් ස්වෛරී භූමියක් බවට පත් කිරීමට අප කටයුතු කරනවා. පසුගිය රජය විසින් ආරම්භ කළ එම ව්‍යාපෘතිය ශ්‍රී ලංකාවට අයිතිව තිබුණේ නැහැ. අප විසින් රජය බාරගැනීමත් සමඟ කොළඹ වරාය නගර භූමියේ අයිතිය මෙරටට ලබාගැනීමට ක්‍රියා කළා.

අතීතය තුළ සිර නොවී අනාගතය දෙස බලමින් මහනගර ඇති කිරීමේ වගකීම පාඨලී චම්පික රණවක ඇමැතිතුමාට බාරදී තිබෙනවා. මහාමාර්ග පද්ධති හා අධිවේගී මාර්ග පද්ධති සියල්ලේ වැඩකටයුතු අවසන් වීමත් සමඟ මහනුවරට හා හම්බන්තොටට ඉක්මනින් ප්‍රවේශ වීමේ අවස්ථාව හිමිවනවා. ඒ වගේම මහනුවර, ගාල්ල, මාතර, හම්බන්තොට මහනගර බවට පත් කිරීමේ අභියෝගයත් පාඨලී ඇමැතිතුමාට බාරදී තිබෙනවා. එම සංවර්ධන ව්‍යාපෘති තුළින් රජයට කිසිදු පාඩුවක් සිදුවී නැති බවත් සඳහන් කළ යුතුයි.

අපිට ඩුබායි, සිංගප්පූරුව වගේ නවීන නගර ඇති කරන්න බැරිදැයි ඇතැමුන් ප්‍රශ්න කරනවා. මෙරට ජනතාවට ඒ රටවල වගේ නවීන මහ නගර හා නවීන ජීවිතයක් හිමිකර දීමට අප පියවර ගෙන තිබෙන බව සඳහන් කළ යුතුයි.

ණය ආධාර කිසිවක් ලබාගත නොහැකිව ජාත්‍යන්තරය තුළ හුදකලා වී තිබූ රටක් ණය ස්ථාවර භාවයක් ඇතිකර ජනතාව තුළ විශ්වාසය ඇති කරමින් සංවර්ධනයෙන් ඉදිරියට ගෙන ගොස් තිබෙනවා. ඒ වෙනුවෙන් අවශ්‍ය ආයෝජන සිදුකර ශීඝ්‍ර සංවර්ධනයක් තුළින් ලබන වසර 10ක කාලය තුළ රටේ ණය සියල්ල ගෙවා දමා අතිරික්තයක් ඇති කිරීම අපේ ඉලක්කයයි.

ආර්ථිකය, අධ්‍යාපන, සමාජ, යටිතල පහසුකම්, නගර, නාගරික, ග්‍රාමීය නවීකරණය සිදු කිරීමේ වගකීම බාරගෙන අවශ්‍ය වැඩපිළිවෙළ අප විසින් සිදු කරගෙන යනවා. මේ සියලු වැඩසටහන් සමඟ රටේ සංහිඳියාව ඇති කිරීමට අපට හැකි වුණා. අද රටේ සියලු දෙනා ශ්‍රී ලාංකිකයන් ලෙස සිතා සමගියෙන් ජීවත් වනවා. සිංහල, දෙමළ, මුස්ලිම් හා අනෙකුත් ජාතීන් වෙන වෙනම සිතන්නේ නැතිව ශ්‍රී ලාංකිකයන් වශයෙන් ආඩම්බර විය යුතුයි. අතීතයේ අපට විශාල ශිෂ්ටාචාරයක් හිමිවුණේ විවිධ ජාතීන්ගෙන් අපට ලැබුණු සංස්කෘතීන් නිසායි. එය සිහියේ තබාගෙන ඉදිරියටත් කටයුතු කළ යුතුයි.

අනාගතයට ගැළපෙන පරිදි අප වෙනස් නොවුණහොත් අපටත් රටටත් අනාගතයක් නැති වෙනවා. සියලු දෙනා එකතු කරගෙන රට ඉදිරියට ගෙන යෑමේ විප්ලවීය පියවර ගැනීමට අප තීරණය කළා. රටේ අනාගතය වෙනුවෙන් පොදු ප්‍රතිපත්තියක් සකස් කිරීමට නව සන්ධානයක අවශ්‍යතාව මතු වෙනවා. නව සන්ධානයක් සකස් කරමින් රට ඉදිරියට ගෙන යෑමට අවශ්‍ය පොදු ප්‍රතිපත්තිය සකස් කළ යුතුයි.

අප ගොඩනඟන සන්ධානය හවුල්කාර පක්‍ෂවලට පමණක් සීමා වන්නේ නැහැ. අලුතින් හිතන රට සංවර්ධනය කිරීමට කැමැති සියලු දෙනාටම නව සන්ධානයට එකතුවීමේ අවස්ථාව ලබාදී තිබෙනවා. සන්ධානය ලියාපදිංචි කිරීමෙන් නතර නොවී අනාගත පරපුර අලුතින් ඇතිවූ මධ්‍යම පන්තිය හා ගොවි ජනතාව ඇතුළු සියලු දෙනාටම ගැලපෙන පරිදි ප්‍රතිපත්ති සකස් කිරීම සිදු කරනවා. ප්‍රතිපත්ති පදනම් කරගෙන බිහිකරන නව සන්ධානයෙන් ඉදිරියේදී පැවැත්වෙන ජනාධිපතිවරණයට හා පාර්ලිමේන්තු මැතිවරණයට ඉදිරිපත්වීමට බලාපොරොත්තු වෙනවා. කිසිදු වැඩපිළිවෙළක් ප්‍රතිපත්තියක් නොමැතිව නව සන්ධානයේ ලකුණට ඡන්දය ලබාදෙන ලෙස ජනතාවගෙන් අපි ඉල්ලන්නේ නැහැ."

මෙම අවස්ථාවට මහා සංඝරත්නය ඇතුළු සර්ව ආගමික නායකයන් සහ මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක, එක්සත් ජාතික පක්ෂ අවිස්සාවේල්ල ප්‍රධාන සංවිධායක සහ හිටපු පළාත් සභා මන්ත්‍රී ලෙනාඩ් කරුණාරත්න යන මහත්වරු ප්‍රමුඛ දේශපාලනඥයන්, රාජ්‍ය නිලධාරීන් ඇතුළු විශාල පිරිසක් එක්ව සිටියහ.

මාතෘකා