‘මහවැලිය-සංහිඳියාවේ ගංගාව’ සහ ‘95න් පසු මහවැලි’ ග්‍රන්ථ ජනපති අතින් ජනගත කෙරේ

 ඡායාරූපය:

‘මහවැලිය-සංහිඳියාවේ ගංගාව’ සහ ‘95න් පසු මහවැලි’ ග්‍රන්ථ ජනපති අතින් ජනගත කෙරේ

1995 සිට 2010 දක්වා මහවැලි සංවර්ධන ව්‍යාපාරය ඇසුරේ සිදුකළ අති විශාල වැඩකොටස පිළිබඳ ලේඛනගත ප්‍රකාශනයක් නොමැතිවීමේ අඩුව සපුරාලීමට '95න් පසු මහවැලිය ග්‍රන්ථය' සම්පාදනය කොට තිබෙන අතර කඳුරට, රජරට, උතුරු නැඟෙනහිර මතු නොව, අද වයඹත් සිය දියවරින් එක සේ තෙමාලමින් සුවහසක් සිංහල, දෙමළ, මුස්ලිම් ජනතාවගේ සා පවස නිවාලන මහා ගංගාවේ ගමන ‘මහවැලිය - සංහිඳියාවේ ගංගාව’ ග්‍රන්ථය තුළ අන්තර්ගතය.

‘මහවැලිය - සංහිඳියාවේ ගංගාව’ සහ ‘95න් පසු මහවැලි’ ග්‍රන්ථ ද්විත්වය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් පෙරේදා (24) පස්වරුවේ කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී ජනගත කෙරිණ.

මොරගහකන්ද මහා වාරි ව්‍යාපෘතියට අයත් ප්‍රධාන ඇළ මාර්ග වූ වයඹට ජලය ගෙනයන වයඹ ඇළ, නැඟෙනහිරට ජලය ගෙනයන ඉහළ ඇළහැර සහ මිණිපේ ඇළ සංවර්ධන කටයුතුද මේ වන විට කඩිනමින් සිදුවන බව ජනාධිපතිවරයා සඳහන් කළේය. එහිදී අදහස් දැක්වූ ජනාධිපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේ හතළිස් වසරක් පුරා ක්‍රියාත්මක මහවැලි සංවර්ධන වැඩසටහන මෙරට ජාතික ආර්ථිකයට පුළුල් දායකත්වයක් ලබාදුන්නා සේම එය රටේ හෙට දවස වෙනුවෙන් ක්‍රියාත්මක නිමා නොවන පුනරාගමන ක්‍රියාවලියක් බවයි. මහවැලි දියවරෙන් මහපොළොව තෙත් කරන එම යෝධ ක්‍රියාන්විතයේ සුවිශේෂී ව්‍යාපෘතියක් වූ මොරගහකන්ද - කළු ගඟ ව්‍යාපෘතිය මුළුමහත් ශ්‍රී ලාංකේය ඉතිහාසයේ ක්‍රියාත්මක වූ සුවිසල් කෘෂිකාර්මික සංවර්ධන ව්‍යාපෘතිය ලෙස දේශයේ ප්‍රගමනය සඳහා නිම කරන්නට ලැබීම තම ජීවිතයේ ලද භාග්‍යයක් බවද ජනාධිපතිවරයා කියා සිටියේය.

මෙම උත්සව සභාව ඇමතූ ජනාධිපතිවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේ ජලය සහ භූමිය බෙදාගත නොහැකිව මහපොළොව ගොවීන්ගේ රුධිරයෙන් තෙත් වූ අවස්ථා තමාද දැක ඇති බවයි. වියළි කලාපීය ගොවි ජනතාවගේ දීර්ඝ කාලීන ගැටලුවකට විසඳුම් ලබාදෙමින් මොරගහකන්ද කළු ගඟ මහා ව්‍යාපෘතිය ජාතියට දායාද කිරීමට හැකි වූ බවද ජනාධිපතිවරයා පැවසීය. රජරට ගොවි ජනතාව වෙනුවෙන් තමා දුටු දීර්ඝකාලීන සිහිනයක් වූ මොරගහකන්ද ව්‍යාපෘතිය යථාර්ථයක් කරගැනීම වෙනුවෙන් සහ එදා මෙදා මහවැලිය වෙනුවෙන් කැපවී කටයුතු කළ ප්‍රධාන ඉංජිනේරුවාගේ සිට සැලසුම් ශිල්පීන්, තාක්ෂණික ශිල්පීන් මෙන්ම අවසාන කම්කරුවා දක්වා සියලුදෙනාට තම ගෞරවය පුද කිරීමටද ජනාධිපතිවරයා එහිදී කටයුතු කළේය.

1995 සිට 2010 දක්වා මහවැලි සංවර්ධන ව්‍යාපාරය ඇසුරේ සිදුකළ අති විශාල වැඩකොටස පිළිබඳ ලේඛනගත ප්‍රකාශනයක් නොමැතිවීමේ අඩුව සපුරාලීමට '95න් පසු මහවැලිය ග්‍රන්ථය' සම්පාදනය කොට තිබෙන අතර කඳුරට, රජරට, උතුරු නැඟෙනහිර මතු නොව, අද වයඹත් සිය දියවරින් එක සේ තෙමාලමින් සුවහසක් සිංහල, දෙමළ, මුස්ලිම් ජනතාවගේ සා පවස නිවාලන මහා ගංගාවේ ගමන ‘මහවැලිය - සංහිඳියාවේ ගංගාව’ ග්‍රන්ථය තුළ අන්තර්ගතය. ජල කළමනාකරණයේ විශේෂඥයකු සහ 1976 සිට වරින් වර මහවැලියට එක්ව කටයුතු කළ ආචාර්ය එම්.යූ.ඒ. තෙන්නකෝන් මහතා විසින් මෙම උත්සවයේ ප්‍රධාන දේශනය සිදුකරන ලදී. ග්‍රන්ථ සම්පාදක මණ්ඩලයේ සභාපති, ශ්‍රී ලංකා පදනම් ආයතනයේ සභාපති, ජනාධිපති නීතිඥ සරත් කෝංගහගේ සහ ග්‍රන්ථ ද්විත්වයේ ප්‍රධාන සංස්කාරක කේ. ආරියතුංග යන මහත්වරුන් ඇතුළු සම්පාදක මණ්ඩලය විසින් එහිදී ග්‍රන්ථ ද්විත්වය ජනාධිපතිවරයා වෙත පිළිගන්වනු ලැබීය.

මොරගහකන්ද මහා වාරි ව්‍යාපෘතියට අයත් අනෙක් මහා ජලාශය වූ කළු ගඟ ජලාශයේ කටයුතු සම්පූර්ණයෙන් අවසන් කර ලබන මාසය වන විට එහි පූර්ණ ප්‍රතිලාභ ගොවි ජනතාවට ලබාදිය හැකි බවද ජනාධිපතිවරයා මෙහිදී කියා සිටියේය.

මාතෘකා