විදෙස් රටවල තාක්‍ෂණ දැනුම ත්‍රස්තවාදය මඬින්න යොදාගත යුතුයි : අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ

 ඡායාරූපය:

විදෙස් රටවල තාක්‍ෂණ දැනුම ත්‍රස්තවාදය මඬින්න යොදාගත යුතුයි : අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ

වර්තමානය වන විට ත්‍රස්තවාදය පිළිබඳව ඉහළ දැනුමක් ඇමෙරිකාව, එංගලන්තය, ඔස්ට්‍රේලියාව වැනි රටවල් සතුවන බවත් විෙදස් රටවල් සතු එම තාක්‍ෂණ දැනුම හා ආධාර ලබාගෙන ත්‍රස්තවාදය නැතිකර දැමීම සඳහා පියවර ගතයුතු බවත් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.

අග්‍රාමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ පසුගියදා (21) මාතර සනත් ජයසූරිය ක්‍රීඩාංගණයේ පැවති 97 වැනි ජාත්‍යන්තර සමුපකාර දින සැමරුම් උත්සවයට එක්වෙමිනි. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අග්‍රාමාත්‍යවරයා මෙසේද කීය.

"අද අපි මෙම උත්සවය පවත්වන්නේ පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරය සිදුවී මාස 3ක් ගතවන අවස්ථාවකයි. ඒ බෝම්බ පිපිරීම හරහා රටේ ජනතාවට අලුත් අත්දැකීමක් ලැබුණා. රට තුළ මෙවැනි බෝම්බ ප්‍රහාරයක් සිදුවන්නේ කෙසේදැයි ජනතාවට විශාල බියක් ඇති වුණා. රට කඩා වැටේ යැයි ජනතාව කල්පනා කළා. බෝම්බයක් පිපිරුණු විට ජනතාවට එවැනි බියක්, සැකයක් ඇති වෙනවා. තමන්ගේ ගමන් බිමන් යෑම පවා නතර කරනවා. දරුවන් පාසල් යැවීමත් නතර කරනවා. එම නිසා ඒ වෙනුවෙන් හැකි ඉක්මනින් පියවර ගැනීමට අප තීරණය කළා. බෝම්බ ප්‍රහාරය සිදුවූ දිනයේම දහවල් මෙම ත්‍රස්තවාදීන් සියලු දෙනා අත්අඩංගුවට ගතයුතු යැයි අපි ආරක්‍ෂක අංශවලට උපදෙස් ලබාදුන්නා. අප එහිදී වැදගත් තීරණ දෙකක් ගත්තා.

"එතැන් සිට අපේ ආරක්‍ෂක අංශ එම මෙහෙයුම් සාර්ථකව සිදුකරමින් ඉදිරියට ගියා. ඉන්පසුව කල්මුණේ, සමන්තුරේ, කාන්තන්කුඩි ප්‍රදේශවලදී තවත් කණ්ඩායම් සොයා ගැනීමට ඔවුන්ට හැකි වුණා. ඒ අනුව මීට සම්බන්ධ වූ අය කවුදැයි දැන ගැනීමට සියලුම දෙනාට හැකි වුණා. අදාළ සැකකරුවන් සියලුම දෙනා පොලිසියේ රැඳවුම් බාරයට ගත්තා. දෙවනුව ඔවුන් සමඟ සම්බන්ධතා පැවැත්වූ වෙනත් සංවිධානවල සාමාජිකයන් 200ක් පමණ රැඳවුම් නියෝග යටතේ රඳවාගෙන ප්‍රශ්න කරමින් සිටිනවා. බෝම්බ පුපුරවා ගත් අය සමඟ යම් සබඳතා පැවැත්වූ අයත් අඩුම තරමින් ඔවුන් සමඟ තේ කෝප්පයක් හෝ බිව් අයත් ඔවුන් සමඟ එකට ගමන් බිමන් ගිය අයත් ආදී සියල්ලන් හඳුනාගෙන ඔවුන්ගෙන් අවශ්‍ය අය රඳවා බෝම්බ ප්‍රහාරයට සම්බන්ධයක් නොමැති අනෙක් අය නිදහස් කිරීමට කටයුතු කළ යුතුයි.

"මෙතෙක් කල් අපි මුහුණ දුන්නේ එල්.ටී.ටී.ඊ. ත්‍රස්තවාදයටයි. ඔවුන් එක කණ්ඩායමක් තමන්ගේ අනුගාමිකයන් හරහා බෝම්බ ප්‍රහාර සිදුකිරීමයි ඔවුන්ගේ ක්‍රියාකාරකම වූයේ. නමුත් මෙවර ඇතිවී තිබෙන්නේ එවැනි ජාලයක් සහිත ත්‍රස්තවාදී කණ්ඩායමක් නොවේ. මෙම පිරිස මියගියා හෝ අත්අඩංගුවට ගත් නිසා මෙම ත්‍රස්තවාදය මෙතැනින් අවසන් වන්නේ නැහැ. තවත් අන්තවාදී කණ්ඩායමක් ඇතිවීමේ හැකියාවක් තිබෙනවා. ඒ නිසා නැවත එවැනි අන්තවාදී කණ්ඩායමක් ඇතිවීම වැළැක්වීමයි අප සිදුකළ යුත්තේ. එම තත්ත්වය නතර කිරීමට අප අලුත් ක්‍රමවේදයන් යෙදවිය යුතුයි. ඒ සඳහා නව නීති අවශ්‍යයි. 2001 සිට 2019 වන විට එංගලන්තයේ ත්‍රස්තවාදී නීතිය 15 වතාවක් වෙනස් වී තිබෙනවා. ඔවුන් ත්‍රස්තවාදී අර්ථ නිරූපණ, අපරාධ නීතිය ආදිය සංශෝධනය කරමින් අලුතින් නීති සකස් කරනවා. ඇමෙරිකාවත් ඒ ආකාරයට කිහිප වතාවක්ම නීති වෙනස් කර තිබෙනවා. අපත් ඒ ආකාරයට අපේ ත්‍රස්තවාදී මර්දන නීති වෙනස් කරගත යුතුයි. ඇතැමුන් පවසන්නේ අපේ රටේ ත්‍රස්තවාදී මර්දන නීති ප්‍රමාණවත් බවයි. නමුත් දැනට පවතින නීති ප්‍රමාණවත් නැහැ.

"ඇතැම් රටවල් අධ්‍යාපනය තුළින් අන්තවාදය ඉගැන්වීම තහනම් කර තිබනවා. අන්තවාදය ඉගැන්වීම් කරන ගුරුවරු පවා වැරදිකරුවන් බවට පත් වෙනවා. බොහෝ රටවල්වල ආගමන විගමන දෙපාර්තමේන්තුව, රේගුව, ආපනශාලා සඳහා බලපත්‍ර ලබා දෙන ආයතන ආදිය එකට වැඩකටයුතු කළ යුතුයි. තම තොරතුරු අන්තර් හුවමාරු ක්‍රමයක් යටතේ පවත්වාගෙන යා යුතු යැයි නීතියක් ගෙන තිබෙනවා. මෙවැනි නව නීති රීති බොහොමයක් දැන් ලෝකයේ ක්‍රියාත්මක වෙනවා. ඉන් අනතුරුව බුද්ධි අංශයේ තොරතුරු එකතු කිරීම සහ ශක්තිමත් කිරීම තවදුරටත් සිදුකළ යුතුයි. එක් ආයතනයක් පමණක් ක්‍රියාත්මක වීමෙන් ඵලක් නැහැ. සියලු ආයතන එකට එක්වී වැඩකටයුතු කළ යුතුයි. ලෝකයේ සෑම රටක්ම තමන්ගේ බුද්ධි සේවය ප්‍රතිව්‍යුහගත කර තිබෙන්නේ ඒ ආකාරයටයි. මේ වැඩකටයුතු සඳහා බුද්ධි සේවාව ප්‍රතිසංවිධානය කර එය තවත් ව්‍යාප්ත කළ යුතුයි. අද වන විට අපරාධ දෙපාර්තමේන්තුව පරීක්‍ෂණ විශාල ගණනාවක් සිදුකර තිබෙනවා. ඉදිරියේදී නැවතත් මෙවැනි ගැටලුවක් ඇතිවුවහොත් එම ආයතනවලට පිරිස් බලයක් අවශ්‍ය වෙනවා. ත්‍රස්තවාදී විමර්ශන කටයුතුවලදී අපට වෙනත් රටවල් සමඟ කටයුතු කළ යුතු වෙනවා. වෙනත් රටවල්වල දැනුම ලබා ගතයුතු වෙනවා. ත්‍රස්ත විමර්ශන කටයුතුවලදී ඇමෙරිකාව සම්බන්ධ ක‍රගන්නට එපා යැයි ඇතැමුන් පවසනවා. නමුත් වර්තමානයේ ත්‍රස්තවාදය පිළිබඳ හොඳම දැනුම තිබෙන්නේ ඇමෙරිකාව සතුවයි.

"එම දැනුම එංගලන්තය, ඔස්ට්‍රේලියාව වැනි රටවල්වලත් තිබෙනවා. අපට අවශ්‍ය තාක්‍ෂණික දැනුම, යන්ත්‍ර උපකරණ නොමැති නම් වෙනත් රටවල්වල, ආධාර උපකාර ලබාගනිමින් තොරතුරු එක්රැස් කර ගනිමින් අප මේ වැඩකටයුත්ත සිදු කළ යුතුයි. එවැනි ජාත්‍යන්තර සහායක් තොරතුරු හුවමාරුවක් අපට පාස්කු ප්‍රහාරයෙන් පසුව අවශ්‍ය වුණා. අපිට එම රටවල් සමඟ සම්බන්ධයක් ඇති කර ගැනීමට අවශ්‍ය වුණා. මෙවැනි නව ප්‍රතිසංවිධානයක් අපට අවශ්‍ය වෙනවා. සමාජයේ ජීවත් වන ඔබත් එය අවබෝධ කරගත යුතුයි. ඔබේ වටපිටාව තේරුම්ගෙන ඒ පිළිබඳව තොරතුරු වාර්තා කිරීමෙන් අපට මේ උගුලෙන් ගැලවීමට හැකියාවක් තිබෙනවා.

"මුස්ලිම් කටයුතු අමාත්‍යාංශයත් මුස්ලිම් ආගම පිළිබඳ විශේෂඥයන්ද පැමිණ මුස්ලිම් ආගමික අධ්‍යාපනය සහ මද්‍රසා පාසල් පාලනය කිරීම පිළිබඳව අලුත් කෙටුම්පතක් අපට ඉදිරිපත් කළා. එය අධ්‍යාපන අමාත්‍යාංශයට බාරදෙන ලෙසත් ඔවුන් නිර්දේශ කළා. අප එම නීති සකස් කරමින් සිටිනවා. අයි.එස්.අයි.එස්. ත්‍රස්තවාදී අදහස් ව්‍යාප්ත කරන වෙබ් අඩවි අප තහනම් කළ යුතු වන අතර අනෙක් අතින් කිසිවිටෙකත් අන්තවාදයට තල්ලු කිරීමත් අප නතර කළ යුතුයි. අන්තවාදය තුළින් තවත් ත්‍රස්තවාදීන් ඇති කිරීම වැළැක්විය යුතුයි. අප වෛරී ප්‍රකාශන සිදුකිරීම තහනම් කිරීමට කටයුතු කරන්නේ එම නිසායි. අපට අලුත් ක්‍රමවේදයක් අවශ්‍යයි. ත්‍රස්තවාදය වළක්වා ගැනීමට හැකි වන්නේ ඒ අනුවයි. ඒ සඳහා අප සූදානම් විය යුතුයි. එය පැය 24කින් අවසන් කිරීමට බැහැ. ඊට මාස ගණනක්, අවුරුද්දක් පමණ ගත වෙනවා. විශේෂිත වූ කණ්ඩායම් දෙකකින් අපට මේ වැඩකටයුතු පිළිබඳව වාර්තා ලබාදෙනවා. ඒ පිළිබඳව සලකා බලමින් අප ත්‍රස්තවාදය මැඩලීමට කටයුතු කරනවා. අයි.එස්. ත්‍රස්තවාදය රට තුළින් සම්පූර්ණයෙන්ම තුරන් කිරීමට අප තීරණය කර තිබෙනවා. රටට සංහිඳියාව අවශ්‍යයි. බුද්ධි අංශත් අවශ්‍යයි. නමුත් අපේ රටට ත්‍රස්තවාදය නම් අවශ්‍ය නැහැ. එම නිසා රටේ ත්‍රස්තවාදය අවසන් කිරීමට අප කටයුතු කරනවා."

මාතෘකා