ග්‍රාමීය කිරි ගොවියා නංවා ආර්ථික වර්ධනයක් ලබාගත යුතුයි : ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන

 ඡායාරූපය:

ග්‍රාමීය කිරි ගොවියා නංවා ආර්ථික වර්ධනයක් ලබාගත යුතුයි : ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන

ග්‍රාමීය කිරි ගොවියා ශක්තිමත් කිරීම තුළින් ග්‍රාමීය දුගීභාවය අවම කර යහපත් ආර්ථික වර්ධනයක් ලබා ගැනීමට අපේක්ෂා කරන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පැවැසීය.

රටේ ජනගහනයෙන් සියයට 15කට ආසන්න ප්‍රමාණයක් මන්දපෝෂණයෙන් පෙළීම රටක් ලෙස යහපත් තත්ත්වයක් නොවන බැවින් සෞඛ්‍ය සම්පන්න ජනතාවක් බිහිකිරීමේ අභියෝගයේදී දේශීය දියර කිරි පරිභෝජනය ප්‍රචලිත කිරීම ඉතා වැදගත් බව ද ජනාධිපතිවරයා එහිදී පෙන්වා දුන්නේය. ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කළේ පෙරේදා (23) රත්නපුර කජුවත්ත ශාස්ත්‍රෝදය විද්‍යාලයේ පැවැති ‘කිරෙන් සපිරි දැයක්’ පාසල් සිසුන්ට දියර කිරි වේලක් ලබාදීමේ ජාතික වැඩසටහනට එක්වෙමිනි. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපතිවරයා මෙසේද කීය.

"අපේ රටේ පසුගිය වසර 60ක් 70ක් ගතහොත් සෑම රජයක්ම දරුවන්ගේ පෝෂණය වර්ධනය කිරීම සඳහා විවිධ වැඩසටහන් ක්‍රියාත්මක කර තිබෙනවා. අපි කුඩා කාලෙත් පාසල්වලට කිරි වීදුරුවක් දුන්නා. එය ලැබුණේ ඇමෙරිකානු ආධාර යටතේ. මට මතකයි පාසලට කිරිපිටි ටින් ලොරියෙන් ගෙනත් බානවා අධ්‍යාපන කාර්යාලවලින්. ඊට පස්සේ අපිට ඒ පිටිකිරි හදලා දෙනවා. ඒ වගේම මතකයි පාසල් දරුවන්ට අධ්‍යාපන අමාත්‍යාංශය බනිස් ගෙඩියකුත් දුන්නා. මේ වගේ සෑම රජයක්ම දීර්ඝ කාලයක් දරුවන්ගේ පෝෂණය සඳහා විශේෂයෙන්ම රටේ එක් පැත්තකින් තිබෙන දිළිඳුකම සැලකිල්ලට ගෙන මෙවැනි පුළුල් වැඩසටහන් ක්‍රියාත්මක කර තිබෙනවා. අද මේ පියවර ඒ සඳහා තවත් ශක්තිමත් අදියරක්.

"අපේ රටේ ජනගහනයෙන් සියයට 14ක්, 15ක් විතර මන්දපෝෂණයෙන් පෙළෙන බව සෞඛ්‍ය විශේෂඥයන් වාර්තා කරනවා. එය රටකට හොඳ තත්ත්වයක් නෙවෙයි. ඒ නිසා එය සෞඛ්‍ය සම්පන්න ජනතාවක් බිහිකිරීමේදී තිබෙන්නා වූ අභියෝගයක්. ඒ නිසා එහි මුල් පියවරක් තමයි දරුවා නිරෝගී දරුවෙක් කිරීම. දරුවන්ට අවශ්‍ය පෝෂණය ලබාදීම. මේ වැඩසටහනේදී මම පැහැදිලිවම ප්‍රකාශ කරන්නට ඕනෑ අගමැතිතුමාත් අමාත්‍ය මණ්ඩලයත් අපි සියලු දෙනා රජය විදියට ගත් තීරණයේදී 2019 වර්ෂය සඳහා 2025 වන විට දියර කිරි නිෂ්පාදනයෙන් ස්වයංපෝෂිත වීම හා ප්‍රාථමික අධ්‍යාපනය ලබන දරුවන්ගේ පෝෂණය සඳහා මම ඉදිරිපත් කළ අමාත්‍ය මණ්ඩල සංදේශය. මේ 2019 වර්ෂයේ අපි ගණන් හදලා තියෙන පැකට් ප්‍රමාණයත් එක්ක දවසකට රුපියල් මිලියන 22ක් පමණ වියදම් කරනවා. ඒ වගේම වාර්ෂිකව අපි පාසල් දින 200ක් කියලා ගණන් හැදුවොත් රුපියල් මිලියන 4, 400කට වැඩි මුදලක් මේ සඳහා වැය කරනවා. 2019 වසර සඳහා ප්‍රතිපාදන වෙන්කර තිබෙනවා අධ්‍යාපන අමාත්‍යාංශය රුපියල් 525ක්. දියර කිරි පැකට් සඳහා රුපියල් මිලියන 4, 000කට ආසන්න මුදලක් වෙන්කර තිබෙනවා. කිරි පැකට් ගබඩා කරන්න පාසල්වලට කබඩ් 4, 000කට ආසන්න සංඛ්‍යාවක් දෙනවා. මේ ව්‍යාපෘතියේ 2019 වර්ෂය සඳහා වියදම රුපියල් මිලියන 4, 000කට වැඩියි. ජනාධිපති ලේකම් කාර්යාලය රුපියල් මිලියන 1, 000ක්, කෝටි 100කට වැඩි මුදලක් වියදම් කරනවා. කාගිල්ස් හා මිල්කෝ ආයතන කිරි පැකට් බෙදා හැරීමේ මූලිකත්වය අරගෙන තියෙනවා.

"අපි මේ වගේ වැඩක් කරන විට අඩුපාඩුකම් තිබෙන්න පුළුවන්. මේක පහසු කාර්යයක් නෙවෙයි. ඒ මොකද පළමු දේ තමයි දරුවාට දෙන කිරි පැකට් එකේ පිරිසුදුකම හා ප්‍රමිතිය ඉතාමත්ම වැදගත් වෙනවා. ඒ ගැන විශාල වගකීමක් තිබෙනවා ඒ අංශවලට. සෞඛ්‍ය අමාත්‍යාංශයේ නිලධාරීන් තමා ඒ කටයුතු මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු ප්‍රමුඛව අධීක්ෂණය කරන්නේ. ඒ නිලධාරීන් ඒ කටයුතු අත්‍යවශ්‍යව ඉටු කළයුතු වෙනවා. ඒ වගේම අධ්‍යාපන අධ්‍යක්ෂවරු, පළාත් සභාව මේ කටයුත්ත සාර්ථක කරගන්න සෑහෙන අවධානයක් යොමු කිරීම අවශ්‍යයි. ඒ අවබෝධයත් සමඟ ඒ අවධානය අවශ්‍යයි. මේ වගේ වැඩක් කරද්දි පොඩි ප්‍රශ්නයක් වුණත් ලොකු වරදක් වෙන්න පුළුවන් මාධ්‍ය තුළ. මොකද දරුවන්ගේ පෝෂණය, පිරිසුදුකම, නිරෝගීකම හිතන්න ඔින. සමහර වෙලාවට මොනවා හරි අඩුපාඩුවක් සිදුවුණොත් ඒක බරපතළ විවේචනයක්, චෝදනාවක් එන කාරණයක්. අපි මෙවැනි වැඩපිළිවෙළක් අලුතෙන් ආරම්භ කරනකොට ඒ සියලු තත්ත්වයන් සැලකිල්ලට ගන්න ඕන. ඒ නිසා මම ඉතාමත් සතුටු වෙනවා දරුවන්ගේ පෝෂණය වර්ධනය කිරීම සඳහා මෙම ජාතික වැඩපිළිවෙළ ක්‍රියාත්මක කිරීමට රජයේ සියලුම අංශවලින් හා පෞද්ගලික අංශවලින් ලැබෙන අනුග්‍රහය, දායකත්වය සහ සහයෝගය පිළිබඳ. ඒ වගේම ග්‍රාමීය කිරි ගොවියාගේ ආර්ථිකය ශක්තිමත් කිරීම. අපේ රටට පිටරටින් ගෙනෙන කිරිපිටිවලට සහ කිරිවලට අදාළ අනෙකුත් ආහාර, යෝගට්, චීස්, බටර් මේ සියල්ලම ගත්තාම වාර්ෂිකව විශාල මුදලක් අපි පිටරටට දෙනවා. එහෙම දෙන්න දෙන්න කිරිගොවියා දුප්පත් වෙනවා.

"ජාතික ආර්ථිකය ශක්තිමත් කරන්න ප්‍රධාන වෙනවා ග්‍රාමීය ගොවියා ශක්තිමත් කිරීම. කිරි ගොවියා ශක්තිමත් කරලා පිටරටට යන විශාල මුදල අපේ කිරි ගොවියාගේ සාක්කුවට එනවා නම් ඔවුන් කොයිතරම් ආර්ථිකය ශක්තිමත් කරගනීද? ඒ නිසා ග්‍රාමීය ණය බර, දුගීභාවය මේ ව්‍යාපෘතිය තුළ ප්‍රධාන ඉලක්කයක් තිබෙනවා යහපත් ආර්ථික වර්ධනයක් ඇතිකර ගැනීම සඳහා. මේ සියලු තත්ත්වයන් සැලකිල්ලට අරගෙනයි අපි මේ පුළුල් ජාතික ව්‍යාපාරය ගෙනියන්නේ. රජයක් විදියට රටේ සංවර්ධනයට දීලා තිබෙන දායකත්වය ඔබ සෑම කෙනෙක්ම දන්නවා. මෙතැන අධ්‍යාපන ඇමැතිතුමා ඉන්නවා, සෞඛ්‍ය ඇමැතිතුමා ඉන්නවා, කිසිම රජයක් අපේ වර්තමාන රජය තරම් අධ්‍යාපනයට සහ සෞඛ්‍යයට වෙන් කරලා නැහැ. සෞඛ්‍ය, අධ්‍යාපනය තුළ තමයි රටක අනාගතය රැඳිලා තිබෙන්නේ. සෞඛ්‍ය සම්පන්න නිරෝගී ජාතියක්, උගත් බුද්ධිමත් ජාතියක් තමයි රටක ජයග්‍රහණය. ඒ නිසා අපි අතීත අත්දැකීම් එක්ක මේ කටයුතු සාර්ථක කළ යුතු වෙනවා. ඒ සඳහා ඔබ සෑම කෙනෙක්ගෙම සහාය බලාපොරොත්තු වෙනවා. මීට සහාය දුන්න ජනාධිපති ලේකම් කාර්යාලයේ විශේෂයෙන්ම ග්‍රාමශක්ති ව්‍යාපාරයටත් ස්තූතිවන්ත වෙනවා. ග්‍රාමශක්ති වැඩපිළිවෙළ දුගීභාවය තුරන් කිරීමටයි අපි හඳුන්වා දුන්නේ. අපි මේ සඳහා පුළුල් වැඩසටහන් රාශියක් සිදුකරගෙන යනවා. ඒ අතරේ ග්‍රාමශක්ති ව්‍යාපාරයත් දුගීභාවයෙන් ජනතාව නිදහස් කරගන්නවා. එහි එක් අංශයක් තමයි ග්‍රාමීය ජනතාවගේ ආර්ථිකය ශක්තිමත් කිරීම වගේම දරුවන් නිරෝගී පිරිසක් බවට පත්කිරීම. ඒ නිසා ජනාධිපති කාර්යාලය, අධ්‍යාපන අමාත්‍යාංශය, සෞඛ්‍ය අමාත්‍යාංශය, කෘෂිකර්ම අමාත්‍යාංශය, සියලුම පළාත් සභා ඇතුළු සියලු ආයතන මේ සඳහා දෙන අනුග්‍රහය මා ඉතාමත් අගය කරනවා. මම විශේෂයෙන්ම අධ්‍යාපන බලධාරීන්ගෙන් හා අදාළ නිලධාරීන්ගෙන් ඉල්ලා සිටිනවා මේ වැඩසටහනේ අඩුපාඩු සොයා බලන්න, ඒවා නිවැරදි කරන්න කියලා. මේ වැඩපිළිවෙළ ශක්තිමත් කරන්න කියලා ඉල්ලා සිටිනවා.

"මේ පාසලේ තිබෙන අඩුපාඩුකම් කිහිපයක් පිළිබඳ දැනගන්නට ලැබුණා. පිට්ටනිය හදාගන්න ඕන කියලත් තිබුණා. තවත් උපකරණ කිහිපයක් ගන්න අඩුපාඩු තිබෙනවා කියලත් දැනගන්න ලැබුණා. මම ලබන සතියේ රුපියල් ලක්ෂ 25ක් එවනවා ආණ්ඩුකාරතුමා මඟින්. ඒ මඟින් අවශ්‍ය දේ ලබාගන්න. මම ඒ සහාය දෙනවා. ඔබ සියලුදෙනාටම ස්තුතිවන්ත වෙමින් මෙය සාර්ථක කරගන්න වගකීම් ඉටුකරන්නයි කියලා ඉල්ලමින් ඔබෙන් සමුගන්නවා."

මාතෘකා