ත්‍රස්තවාදය යුදමය හා මතවාදමය වශයෙන් පරාජය කළ යුතුයි : අමාත්‍ය පාඨලී චම්පික රණවක

 ඡායාරූපය:

ත්‍රස්තවාදය යුදමය හා මතවාදමය වශයෙන් පරාජය කළ යුතුයි : අමාත්‍ය පාඨලී චම්පික රණවක

ත්‍රස්තවාදය යුදමය වශයෙන් පරාජය කළ යුතු සේම ඔවුන් පිටුපස ඇති දෘෂ්ටිමය මතවාදයද පරාජය කළ යුතු බව මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා පැවසීය.

අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ ඊයේ (22) හලාවත සුදසුන ශාලාවේ පැවැති ජාතික මඟ හලාවත සමුළුවට සහභාගී වෙමිනි. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා මෙසේද කීය.

“පාස්කු ඉරිදා ප්‍රහාරයට මාස තුනක් ගෙවෙන මේ මොහොත වන විට සහරාන් සහ ඔහුගේ කල්ලි කණ්ඩායම්වලට අදාළ මූලික පිරිස එක්කො අත්අඩංගුවට අරගෙන එක්කෝ විනාශ කරලා තිබෙනවා. නමුත් අපි අමතක කරන්න හොඳ නැහැ ඔවුන් මේ රටේ ස්ථාන ගණනක නොයෙක් ආකාරයේ පුහුණු කඳවුරු පවත්වාගෙන ගිහිල්ලා තිබෙනවා. දහස් ගණනක් ඒ පුහුණු කඳවුරුවලට සහභාගී වෙලා තිබෙනවා. ඒ පිරිසෙන් තවත් පිරිසක් තවම නිදහසේ එළියේ සිටින බව අපි අමතක කළ යුතු නැහැ. ඒ වගේම මේ ත්‍රස්ත කණ්ඩායම මේ ලංකාව තුළ ලංකාවේ ප්‍රශ්නයක් නිසා ලංකාවේ මුස්ලිම් ජනයාට සිදුවූ අසාධාරණයක් නිසා නැඟී සිටින පිරිසක් නෙමෙයි. මොවුන්ට තිබෙනවා ජාත්‍යන්තර අයිසිස් ත්‍රස්තවාදී අණදීම, ඒ නායකත්වයෙන්. ඒ අයිසිස් ත්‍රස්තවාදී නායකයා පසුගිය අප්‍රේල් 29 වැනිදා ඇවිල්ලා කිව්වා මේක කුරුස යුද්ධයේ දිගුවක් කියලා. අවුරුදු දහසකට කලින් ජෙරුසලම නිදහස් කරගන්න යුරෝපීය හමුදා ගියා. මුස්ලිම් රජවරු ඒ වගේම හිටපු යුද නායකයෝ ඒකට එරෙහිව සටන් කළා. කුරුස යුද්ධ හතරක් මේ ලෝකේ සිදුවෙලා තිබෙනවා. ඒකෙම දිගුවක් හැටියට මේක ඔහු විග්‍රහ කළා.

“අපිට නම් මෙය තේරෙන්නේ නැහැ. ලිබියාවේ, සිරියාවේ, ඉරානයේ ඉරාකයේ අද වන විට සිදුවෙමින් තිබෙන දේවල් කොච්චිකඩේ, කටුවාපිටියේ අහිංසක කතෝලිකයන්ට මඩකලපුවේ සියෝන් දේවස්ථානයේ කිතුණුවන්ට අදාළ වෙන්නේ කොහොමද කියලා අපට නම් තේරෙන්නේ නැහැ. නමුත් මේ අන්තවාදීන් කල්පනා කරන්නේ ඔවුන්ගේ දහම, ඔවුන්ගේ දෙවියන් හැර එනම් අල්ලා දෙවියන් හැර අන් දෙවිවරු බොරුය කියායි. බොරු විතරක් නෙමෙයි, ඔවුන් තුළ ඇත්තේ ඒ අය විනාශ වෙන්න ඕනෑය කියන ආකල්පයයි. මේ ආකල්පය, මේ දෘෂ්ටිය මත ඉඳගෙන තමයි මේ අය ක්‍රියාත්මක වෙන්නේ. එහෙම නම් අද මේක ආරක්‍ෂක ක්ෂේත්‍රයෙන් පමණක් ක්‍රියාත්මක කරන්න බැහැ. අපට අද පේනවා දේශපාලන අධිකාරිය. ඒ වගේම බුද්ධි අංශ, ඒ වගේම මෙහෙයුම් අංශ, මේවා අතරේ විශාල හිඩැස්, විශාල පරතරයන් මේ රටේ තිබුණු බව අද අපට පෙනී ගොස් තිබෙනවා. ඒ නිසා මෙය මර්දනය කරන්න ඕනෑ නම් අනිවාර්යයෙන්ම මේ දේශපාලන අධිකාරිය ඒ වගේම ආරක්‍ෂක බුද්ධි අංශ ඒ වගේම ආරක්‍ෂක මෙහෙයුම් අංශ එක තැනකට ඇවිල්ලා අන්තර්ජාතිකවත් මේ තොරතුරු හුවමාරු කරගෙන ක්‍රියා කළ යුතු වෙනවා.

“ඒ වගේම අවි ආයුධ පැත්තෙන් විතරක් නෙමෙයි මුදල් එන පැත්තෙන් ඒ වගේම අන්තර්ජාලයේ ප්‍රචාරක ක්‍රියාවලීන් පැත්තෙන් සොයා බලලා ක්‍රියාත්මක වීම අත්‍යවශ්‍ය වෙනවා. අන්න ඒ සඳහා ක්‍රියාවලියක් මුදාහැරිය යුතුයි කියන එක තමයි අපි අවධාරණය කළේ. අපි ස්තූතිවන්ත වෙනවා මේ රටේ ආරක්‍ෂක අංශවලට. කෙටි කලක් ඇතුළත මේ ත්‍රස්තවාදී පිරිස කොටු කරගෙන විනාශ කිරීමට හා අත්අඩංගුවට ගැනීමට ක්‍රියාකරපු එක ගැන. ඒ වගේම අනෙක් පිරිස් පිළිබඳව නිරන්තරයෙන් අවධානය යොමු කරගෙන ඒ සියලු පිරිස් ඇතිවෙන එක වළක්වමින් ක්‍රියා කිරීම අවශ්‍ය වෙනවා. නමුත් මේ ප්‍රශ්නය සම්පූර්ණයෙන් විසඳාගන්න ඕනෙ නම් මේ ත්‍රස්තවාදියාගේ පිටුපස තිබෙන දෘෂ්ටිය, දැක්ම, ඔහුගේ ඔළුවේ තිබෙන අදහස, ඔහුගේ හිසේ වැඩකරන චින්තනයත් සමඟ ගොඩනැඟෙන සමාජ රාමුව වෙනස් කර ගැනීමට අපි ක්‍රියා කළ යුතුයි. අන්න එතැනයි වැදගත්ම කාරණය.”

මාතෘකා