අපේ ආණ්ඩුවේ පවුල්වාදය නෑ වරප්‍රසාද දෙද්දි පක්ෂ බලන්නෙත් නෑ

 ඡායාරූපය:

අපේ ආණ්ඩුවේ පවුල්වාදය නෑ වරප්‍රසාද දෙද්දි පක්ෂ බලන්නෙත් නෑ

අද පක්ෂ භේදයකින් තොරව ඒ වරප්‍රසාද ජනතාවට ලැබෙන බවත් වත්මන් රජය තුළ පවුල්වාදය නොමැති බවත් අධිකරණ හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍ය තලතා අතුකෝරළ මහත්මිය පැවසුවාය.

අමාත්‍යවරිය මේ බව ප්‍රකාශ කළේ පෙරේදා (16) ‘ප්‍රජා ජල අභිමානී’ ගම් දහසකට සුරක්ෂිත පානීය ජලය 2019 වැඩසටහන යටතේ නගර සැලසුම් ජල සම්පාදන හා උසස් අධ්‍යාපන අමාත්‍යාංශයේ ජාතික ජ්‍රජා ජල සැපයුම් දෙපාර්තමේන්තුව යටතේ රත්නපුර බලංගොඩ මැතිවරණ කොට්ඨාසයේ මුල්ගම ප්‍රජා ජල යෝජනා ක්‍රමය ආරම්භ කිරීමේ අවස්ථාවට එක්වෙමිනි. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරිය මෙසේද කීවාය.

“වතුර ටිකක් දෙන්න අපි බෙදෙන්න ඕන නැහැ. මේකෙදි අමනාපකම්වත් ජාතියවත් ආගමවත් දේශපාලනයවත් බලන්න එන්නේ නැහැ. අපේ ආණ්ඩුව වැඩ කරන්නේ ඡන්ද බලාගෙන නෙමෙයි. විහාරස්ථානවලට පමණක් අපේ අගමැතිතුමාගේ නායකත්වයෙන් රුපියල් ලක්ෂ විසි හයදාහක් විතර වෙන් කරලා තියෙනවා. ඉස්සර හිටියේ වරප්‍රසාද ලබා ගත් ස්වාමීන් වහන්සේලා කිහිපනමක් විතරයි. දහම් පාසල් පවත්වාගෙන යන්න පහසුකම් දෙන්න ඕන. අපේ අගමැතිතුමා විහාරස්ථානවලට දුන්නේ රටේ සල්ලි නෙවෙයි. සම්පූර්ණයෙන්ම මධ්‍යම සංස්කෘතික අරමුදලේ මුදල් බව කිව යුතුයි. විදේශිකයෝ අපේ රටට ඇවිල්ලා අපේ පෞරාණික ස්ථාන නරඹලා ඒ සඳහා මුදල් ගෙවනවා. ඒ මුදල් යන්නේ මධ්‍යම සංස්කෘතික අරමුදලටයි. මේ සල්ලි එදා ගත්තේ දේශපාලන වැඩවලටයි. බිලියන හතරක් මුදල් මධ්‍යම සංස්කෘතික අරමුදලේ තියෙනවා. හැබැයි අපේ අගමැතිතුමා මැදහත් වෙලා ඒවා කළා. මේ හැම වැඩසටහනකම ප්‍රතිලාභය යන්නේ ජනතාවටයි. අද පක්ෂ භේදයකින් තොරව ඒ වරප්‍රසාද ජනතාවට ලැබෙනවා. ජනාධිපතිතුමා පත්කරන කොට අපි කිවුවේ නැහැ ජලය දෙනවා, පාරවල් හදනවා, රැකියා දෙනවා කියලා. අපි කිවුවේ රටේ නිදහසේ ජීවත් වෙන්න පුළුවන් වාතාවරණයක් ඇති කරනවා කියලා. එදා අධිකරණයට බලපෑම් ආවා. සමහර අය හිතාගෙන ඉන්නේ මට පුළුවන් කියලා අධිකරණයට බලපෑම් කරන්න. එහෙම එදා වගේ බැහැ. අද කැමති කෙනකුට කැමති විදිහට දේශපාලනය කරන්න පුළුවන්. අපේ පවුල්වාදය නැහැ. මෙයා තමයි රජ කරවන්නේ කියලා නැහැ. මේක අපි සියලු දෙනාම සහෝදරත්වයෙන් ජීවත් වුණු රටක්. අප්‍රේල් 21 වැනිදා සිද්ධියක් වුණා. ඒත් එක්කම අපි ඇනකොටා ගන්න ගියා නම් අර අවුරුදු 30ක් තිස්සේ රට ආපස්සට ගියා වගේ ආයේ යන එක වළක්වන්න බැහැ.

“සෝෆා ගිවිසුම ගැන කතා කරනවා. හෙට අනිද්දා අපි ඒකට ලොකු වැඩසටහනක් පටන් ගන්නවා. කවුද 95 ඉස්සෙල්ලාම සෝෆා ගිවිසුම අත්සන් කළේ? කවුද 2007 අත්සන් කළේ? 2011 අත්සන් කළේ කවුද? කියන එක ගැන සියලු දෙනාම දැනුවත් කරනවා. අද එක එක්කෙනා ගෙනල්ලා විවිධ මත හදන්න උත්සාහ කරනවා දුෂ්කර ගම්මානවලට ඇවිල්ලා රට ඇමෙරිකාවට දීලා කියනවා. ඉස්සෙල්ලා කිවුවා චීනෙට දීලා කියලා. චීනෙට හම්බන්තොට වරාය විකුණලා තිබුණා. ජනාධිපති ලේකම් කාර්යාලය ඉස්සරහා ගොඩනැඟෙන පෝට් සිටි එක අක්කර 534ක් සින්නක්කරව විකුණලා තිබුණේ. අපේ අගමැතිතුමා 06 වතාවක් චීනෙට ගිහිල්ලා නැවත ගත්තේ. රටේ හමුදා මූලස්ථානය තිබුණු තැනත් හිටපු අය අක්කර 20ක් සින්නක්කරව චීනෙට විකුණුවා.”

මාතෘකා

ජනප්‍රිය ලිපි