රට ගොඩනඟන්න පුළුවන් අවංක දේශපාලනඥයන් සිටින ආණ්ඩුවකටයි : ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන

 ඡායාරූපය:

රට ගොඩනඟන්න පුළුවන් අවංක දේශපාලනඥයන් සිටින ආණ්ඩුවකටයි : ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන

මේ රටේ ජනතාවට තව මාස 05කින් අලුත් ආණ්ඩුවක් හැදීමට අවස්ථාව හිමිවන අතර පිරිසුදු, සැබෑ මානවවාදී, රටට ආදරය කරන සහ දූෂණයෙන් වංචාවෙන් තොර අවංක දේශපාලනඥයන් සිටින ජනතාවාදී ආණ්ඩුවක් පත්කර ගැනීමට එහිදී ජනතාව සිය ඡන්ද බලය භාවිත කරනු ඇතැයි තමන් අපේක්ෂා කරන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පැවසීය.

ජනාධිපතිවරයා මේ බව කියා සිටියේ පෙරේදා (15) නුවරඑළියේ අභිනවයෙන් ඉදිකළ අංග සම්පූර්ණ දිස්ත්‍රික් රෝහල ජනතා අයිතියට පවරා දීමේ අවස්ථාවට එක් වෙමිනි. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපතිවරයා මෙසේද කීය.

“සෞඛ්‍ය අමාත්‍යවරයා විදියට මුල්ගල තියපු රෝහලක් වසර 7කට පස්සේ ජනාධිපතිවරයා ලෙස විවෘත කරන්න ලැබීම මගේ දෛවයේ වැදගත් අවස්ථාවක් විදියට මා දකිනවා. සෞඛ්‍ය ඇමතිතුමා පැහැදිලි කළා මේ රෝහලත් හම්බන්තොට නව රෝහලත් පිළිබඳව. නෙදර්ලන්ත රජයට අපි මේ රෝහල් දෙක ඉදිකිරීම වෙනුවෙන් රුපියල් කෝටි 1,600ක් ගෙවිය යුතු වෙනවා. අපිට ලැබිලා තියෙන්නේ ණය මුදලක්. ඒ ණය මුදල තුළ මේ රෝහල් දෙක ලබා ගැනීමේදී අත්විඳීමට සිදු වූ කරුණුත් ඉදිකිරීම් කටයුතු සිදුකිරීමේදී ඇතිවූ අභියෝග පිළිබඳවත් සෞඛ්‍ය ඇමතිවරයා පැහැදිලි කළා. මම පරණ කුණු අවුස්සන්න කැමැති නැහැ. නමුත් 2012 ජනවාරි 20 වැනිදා මේ ගොඩනැඟිල්ලට හිටපු ජනාධිපතිතුමා සමඟ මුල්ගල තියපු දවසත් ඒ වගේම මෑතකදී විවෘත කළ හම්බන්තොට නව රෝහල හිටපු කථානායකතුමා සමඟ මුල්ගල තැබූ අවස්ථාවත් මට මතකයි. මේ රෝහල් දෙකම අවශ්‍ය නැහැයි කියන මතය එදා ආණ්ඩුව තුළින්ම ඇති වුණා. මට සෞඛ්‍ය ඇමතිවරයා විදියට නුවරඑළියටත් හම්බන්තොටටත් මේ රෝහල් දෙකේ අවශ්‍යතාව ගැන හුඟක් කතා කරන්න සිදුවුණා. නවීන්ට මතක ඇති මම 2012දී දුරකථනයෙන් කතා කරලා කිව්වා “නවීන්, විදේශ සම්පත් දෙපාර්තමේන්තුව නුවරඑළිය රෝහල අනුමත කරන්නේම නැහැ, මම ඒකට ලොකු සටනක් කරනවා, ඔයත් විදේශ සම්පත් දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජෙනරාල්ට කතා කරන්න.” කියලා එහෙම බොහොම අමාරුවෙන් තමයි මේ රෝහල් දෙක ගත්තේ.

“මෙතන සිටින වෛද්‍යවරුන් ප්‍රමුඛ සමස්ත සෞඛ්‍ය ක්ෂේත්‍රයේ නිලධාරී මඬුල්ල සේවය කරන්නේ මානවවාදීන් විදියට ජනතාවටයි. මිනිසුන් ජීවත් කරවීමටයි. සෞඛ්‍ය ඇමතිතුමාගේ කතාවෙන් පැහැදිලි වුණේ රට ජීවත් කරන්න තිබෙන අමාරුවයි. රට ගොඩගන්න තියෙන අමාරුවයි. ලෝකයේ දියුණු වූ රටවල් දෙස බලලා ඒ රටවල් වගේ අපේ රට හදා ගන්න බැරි ඇයි කියන කාරණයට උත්තරයක් තමයි සෞඛ්‍ය ඇමතිතුමාගේ කතාවේ තිබුණේ. මුළු ආර්ථික දේහයම කුණු වෙච්ච, මුළු දේශපාලන දේහයම ගරා වැටිච්ච, අපිරිසුදු වෙච්ච, පිළිකුල් සහගත වෙච්ච මේ රටේ දූෂණය, වංචාව, හොරකම හා නාස්තිය නිසා රට ගොඩගන්න බැහැ කියලයි එතුමා කිව්වේ. ඒක තමයි සත්‍යය. ඒ වගේ ආණ්ඩුවක් වෙනස් කරලා අපි ආණ්ඩුවක් හැදුවේ ඒ දූෂණය නැති කරන්න. නමුත් ඒ දේ කරන්න බැරි වුණා කියලා තමන්නාන්සේලා, අපි දන්නවා. ඒ නිසා රටේ මිනිස්සු උනුත් හොරු මුනුත් හොරු කියලා කියනවා. තව මාස 5න් අලුත් ආණ්ඩුවක් හදන්න රටේ ජනතාවට අවස්ථාව ලැබෙනවා. ඒ නිසා ජනතාවට උනුත් හොරු මුනුත් හොරු නොකියන පිරිසුදු සැබෑ මානවවාදී රටට ආදරය කරන දූෂණයෙන්, වංචාවෙන් තොර අවංක දේශපාලනඥයන් පත්කර ගන්න බලය ලැබෙනවා. එය ජනතාව ලෙස ඔබ ගන්න ඕනෑ තීන්දුවක්.

“මේ රටේ ජනකොටස් ගණනාවක් ජීවත් වෙනවා. රට තුළ පළාත් නවයේ සංස්කෘතීන් නවයක් තිබෙනවා. දකුණේ ගාල්ල, මාතර කතා කරන සිංහල භාෂාව නෙවෙයි මහනුවර කතා කරන්නේ. අම්පාරට පොළොන්නරුවට ගියාම ඊටත් වඩා සිංහල භාෂාව වෙනස් වෙනවා. මම මේ කිව්වේ සරල සාධකයක්. අපේ රට පුංචි වාසනාවන්ත රටක්. විවිධ සංස්කෘතීන්, විවිධ හැදියාවන්, විවිධ පසුබිම්වල වෙනස්කම් තිබෙනවා. මේ වේදිකාවේ නැටුම්, ගැයුම්, වැයුම් තිබුණා. ඒ තුළත් විවිධත්වයක් තිබුණා. අපි විවිධ සංස්කෘතීන් සමඟ ජීවත්වෙන රටක්. විවිධ සංස්කෘතීන්වල ජීවත්වෙන අපේ රටේ ජනතාවගෙන් සුරසැප විඳින පිරිසක් වගේම දුක් විඳින පිරිසකුත් සිටිනවා. වතු කම්කරු ජනතාවත් ඒ අතර සිටිනවා.

“කොළඹ පෞද්ගලික රෝහල්වල තිබෙන උපකරණ, කොළඹ ජාතික රෝහලේ තිබෙන උපකරණ නුවරඑළියට ලැබුණු විට අපට තිබෙන සතුට අප්‍රමාණයි. ඒ සතුට නම් මේ රටේ අහිංසකම මිනිසුන්ට තමා මේ සේවය සපයන්නේ. තිබෙන හොඳම සී.ටී මැෂින් දෙකෙන් එකක් නුවරඑළියට එන විට ඒ මැෂින් දෙකෙන් සේවය ලබන්නේ අහිංසක දුප්පත් වතු කම්කරු ජනතාවයි. ජීවත් වෙන්න වැඩිම දුක් වේදනාවක් විඳින පිරිසක් තමයි වතු කම්කරු ජනතාව.

“නවීන් ඇමතිතුමා මට මතක් කළා මගේ මැතිවරණයේදී වැඩිම ජයග්‍රහණයක් මට ලබා දුන්නේ නුවරඑළියෙන් කියන එක. මම ඒ ගැන අදත් ගෞරවයෙන් සිහිපත් කරනවා. නුවරඑළිය දිස්ත්‍රික්කයෙන් මම වැඩි ඡන්ද එක් ලක්ෂ දාහත්දාහකින් ජයග්‍රහණය කළා 2015 ජනවාරි 8. ඒ නිසා තමයි අපි මේ කැපවීම් කරන්නේ. මේ ආණ්ඩුවේ වසර හතර හමාරකට වැඩි කාලය ගත් විට වතු කම්කරු ජනතාවට මීට පෙර කිසිම ආණ්ඩුවකින් නොකළ වැඩ කොටසක් කළා. සෞඛ්‍ය ක්ෂේත්‍රය, නිදහස් අධ්‍යාපනය, වතු කම්කරු ජනතාවට අවශ්‍ය දේවල් හැකිතාක් ඉටු කළා. මම මීට කාලෙකට පෙර කොළඹ සිට නුවරඑළියේ වැඩසටහනකට ආවා ගුවන් යානයෙන්. අයහපත් කාලගුණය නිසා කොටපොළ ප්‍රදේශයේ හදිසි ගොඩබෑමක් කළා. ඒ අවස්ථාවේ ඒ වත්තේ හිටපු ජනතාව දුවගෙන ආවා මගෙ ළඟට. මම ඇහුවා ඔයාලට තිබෙන අඩුපාඩු මොනවද කියලා. වතු කම්කරුවන්ගේ පුංචි දරුවෝ කිව්වා කොටපොළ අපේ පාසලට වැසිකිළි නැහැ කියලා. මම යුද හමුදාපතිතුමාට කියලා සති තුනක් ඇතුළත වැසිකිළි හදලා දුන්නා. කොටපොළ රෝහලට ගිලන් රථයක් නැහැයි කිව්වා. මම මාසයක් ඇතුළත් කොටපොළ රෝහලට ගිලන් රථයක් දුන්නා. අපි එහෙම කරන්නේ ප්‍රශ්න හඳුනාගෙන තිබෙන නිසා.

“මේ රටේ ප්‍රශ්න හඳුනාගත් සහ හඳුනානොගත් පිරිසකුත් ඉන්නවා. වෛද්‍යවරයකු නම් රෝගියාගේ රෝගය හඳුනා ගන්නවා. රටේ අවංක දේශපාලනඥයන් පිරිසක් ඉන්නවා නම් ප්‍රශ්නය හඳුනාගත යුතු වෙනවා. අද රට ගොඩගන්න බැරි ප්‍රධානම ප්‍රශ්නය මොකක්ද කියලා ජනතාවත් දන්නවා, අපිත් දන්නවා. ලෝකයේ දියුණු රටවල් දෙස බලා අපි සුසුම් හෙළනවා අපේ රට මෙහෙම හදන්න බැරි ඇයි කියලා. බැරිකමක් නැහැ, කරන්නේ නැතිකමයි ප්‍රශ්නේ.

මේ රටේ සංවර්ධනයේ යෝධ රෙජිමේන්තුව ලක්ෂ 16ක් වන රාජ්‍ය සේවකයනුයි. රටේ ජනගහනයෙන් අට දෙනකුට එක රාජ්‍ය සේවකයෙක් ඉන්නවා. ලෝකෙ කිසිම රටක එහෙම රාජ්‍ය සේවයක් නැහැ. රාජ්‍ය සේවකයන් ලක්ෂ 16 තමන්ගේ සේවය හරියට ඉටු කරනවා නම් දේශපාලනඥයා පිටම වැරැද්ද දාන්න වෙන්නේ නැහැ. දේශපාලනඥයා යට කරගෙන රාජ්‍ය සේවයේ ලක්ෂ 16ට රට ගොඩගන්න පුළුවන්. දේශපාලනඥයාව ප්‍රතික්ෂේප කරලා රට ගොඩගන්න පුළුවන්. වියතුන්, විද්‍යාඥයන්, විශේෂඥයන් ඒ අතර ඉන්නවා. රාජිත ඇමතිතුමා කතා කරන විට කිව්වා මහරගම පිළිකා රෝහලට ගත්ත ලීනියට් ඇක්සලේටර මැෂින් ගැන. මට ඔය ටෙන්ඩරය හොඳින් මතකයි. එතුමා කිව්වා වගේ මම ඒ ගැන කතා කරන්න කැමති නැහැ. මම 2015 ජනාධිපති වෙලා ඉන්න විට කොතලාවල විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයට සෞඛ්‍ය අමාත්‍යාංශයේම ටෙන්ඩරය යටතේ ලීනියට් ඇක්සලේටරය ගන්න 2015, 2016 සහ 2017 වසර තුනම මගේ පස්සේ ආවා. ආරක්ෂක ඇමති විදියට වෙන කෙනෙක් හිටියා නම් මේ කතන්දරේ නොදැන ඒ ටෙන්ඩරයෙන් ගන්න කියනවා. මම කිව්වා මම ඕකේ කතාව දන්නවා, ඔය ටෙන්ඩරේ වගකිව යුත්තෙක් කේ.ඩී.යූ එකෙත් ඉන්නවා, ඒ නිසා කිසිසේත්ම ඔය ටෙන්ඩරයෙන් ලීනියට් ඇක්සලේටරය ගන්න මම ඉඩ තියන්නේ නැහැ, ඒ නිසා මගේ පස්සේ එන්න එපා කියලා.

“මේ දූෂණය, හොරකම, වංචාව කියන එක මේ රට වේලාගෙන තියෙන්නේ මේ ආකාරයෙන්. මේ රටේ දුගීභාවය වැඩි වෙන්න වැඩි වෙන්න රෝගීන් වැඩි වෙනවා. දුප්පත්කමේ ප්‍රධාන ප්‍රතිඵලයක් තමයි රටේ ජනතාව වැඩියෙන් රෝගීන් වීම. අපි කොච්චර රෝහල් හදනවද කොච්චර උපකරණ දෙනවද විශේෂඥ වෛද්‍යවරු ඉල්ලන සියලු දේ දෙන්න පුළුවන් දේ දෙනවා හැම වේලාවෙම. සෞඛ්‍ය සම්පන්න ජනතාවක් බිහි කරන්න තිබෙන ප්‍රධාන අභියෝගය බෝ නොවන රෝග කියලා තමුන්නාන්සේලා හැම කෙනෙක්ම දන්නවා. බෝ නොවන රෝගවලින් 60%කට වැඩිය හැදෙන්නේ මේ මත්ද්‍රව්‍ය නිසා කියන එක අපි හැම කෙනෙක්ම දන්නවා. නමුත් දැන දැනත් ඒ වැරැද්ද කරනවා. රටක් ගොඩනඟා ඉදිරියට ගෙනයාම විනාශ කරන්න තියෙන හොඳම දේ රටකට මත්ද්‍රව්‍ය දෙන එක. මේ රටේ මත්ද්‍රව්‍ය ජාවාරම්කාරයන් විශ්වවිද්‍යාල ටික විනාශ කරන්නේ මත්ද්‍රව්‍ය නොමිලේ දීලා. මේ රටේ පාසල්වල උසස් පෙළ ශිෂ්‍යයන් විනාශ කරන්නේ මත්ද්‍රව්‍ය නොමිලේ දීලා. ලංකාවේ අද හිරගෙවල්වල 1,1000කටයි ඉඩකඩ තියෙන්නේ. 24,000ක් ඉන්නවා. ඒකෙන් 15,000ක් මත්ද්‍රව්‍ය වැරදිකාරයන් සහ නඩු අහන සැකකාරයන්. මත්ද්‍රව්‍ය නිසා තිබෙන පුනරුත්ථාපන කඳවුරු 11 පිරී ඉතිරී ගිහිල්ලා තියෙන්නේ. මත්ද්‍රව්‍ය පාවිච්චි කරන පවුල්වල දරුවන්ගේ මවුපියන් ආණ්ඩුවට දොස් කියනවා අපේ දරුවන් පුනරුත්ථාපනය කරලා දෙන්නේ නැහැ කියලා. එක එක්කෙනාගේ පෞද්ගලික න්‍යාය පත්‍ර, දේශපාලන පක්ෂවල පුද්ගලික න්‍යාය පත්‍ර නිසා රටක් පිළිබඳව අවංක චේතනාවෙන් වැඩ කිරීමට මේ රටේ කී දෙනෙක් ඉන්නවද කියා ප්‍රශ්නයක් තියෙනවා.

“ඒ නිසා තමයි අපි කොච්චර මහන්සි ගත්තත් රටේ ආර්ථිකය හදන්න බැරි. අපි කොච්චර මහන්සි ගත්තත් දුප්පත්කම වලක්වා ගන්න බැරි. අපි කොච්චර මහන්සි ගත්තත් එන්න එන්න රෝගීන් වැඩි වෙනවා. මේ සියලු දේවල්වලට වගකිව යුත්තේ සැබෑ ලෙසම ආදරයක්, ගෞරවයක් රටට සහ ජනතාවට නැති මිනිස්සුයි. ලංකාවේ සංචාරක ව්‍යාපාරය ගත් විට ප්‍රධාන කේන්ද්‍රස්ථානයක් නුවරඑළිය කියන්නේ. ඒ නිසා නුවරඑළිය ජනතාවට විතරක් නොවෙයි පිටින් එන විශාල පිරිසකට ප්‍රතිකාර කරන්න, වෛද්‍ය, සෞඛ්‍ය පහසුකම්වලට තිබෙන නවීන උපකරණ සහිත ඉතාම විශිෂ්ට ස්ථානයක් බවට මේ රෝහල පත් කරන්න ලැබීම පිළිබඳව අපි රජය විදියටත් පෞද්ගලිකවත් සතුටු වෙනවා.

“මේ රටේ සෞඛ්‍ය සේවය පිළිබඳව අපට සතුටු වෙන්න පුළුවන්. මම හැමදාමත් කියනවා ලෝකයේ ඉහළම පිළිගැනීමක් අපේ වෙද්‍යවරුන් සහ හෙද සේවයට තිබෙන බව. රාජ්‍ය සේවයේ ලක්ෂ 16ට ඔබ අයිතියි. නමුත් ඒ ලක්ෂ 16 තුළ ඔබ ඉතාමත්ම කාර්යක්ෂමයි. ඔබ ඉතාම කැපවී කණ්ඩායම් හැඟීමෙන් වැඩ කරන්නේ. ඔබ කිසිසේත් පසුබට වෙන්නේ නැහැ. වැඩ හෙටට කල්දාන පිරිසක් නොවෙයි වෛද්‍ය සහ හෙද සේවය. අනෙකුත් පරිපූරක, අතුරු වෛද්‍ය සේවා ගැනත් අපි ඉතාමත් සතුටු වෙනවා. මේ රටේ ගුණාත්මක සෞඛ්‍ය සේවය කියලා අපිට කට ඇරලා කියන්න පුළුවන්කම තියෙන්නේ තමුන්නාන්සේලා හින්දා. දූෂණයෙන් වංචාවෙන් තොර පිරිසක් විදියට රජයත් ජනතාවත් වෛද්‍ය, හෙද සේවාවන්වලට අපේ ගෞරවය පුද කරනවා."

මාතෘකා