විරෝධතා නොතකා සින්නකර ඉඩම් අයිතිය ලබාදීම අපේ අරමුණයි : - අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ

 ඡායාරූපය:

විරෝධතා නොතකා සින්නකර ඉඩම් අයිතිය ලබාදීම අපේ අරමුණයි : - අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ

වත්මන් රජය යටතේ ජනතාවට සින්නක්කර ඉඩම් අයිතිය ලබා දීමට රජය කටයුතු කරද්දී ඇතැම් සංවිධාන ඊට එරෙහි වූ බවත් මෙතෙක් පැවැති ඉඩම් නීති රීති සංශෝධනය කරමින් රජයේ ඉඩමක් අවුරුදු 10ක් අඛණ්ඩව භුක්ති විඳි ජනතාවට එම ඉඩම්වල සින්නක්කර අයිතිය ලබා දීම වත්මන් රජයේ අරමුණ බවත් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.

අග්‍රාමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ පසුගියදා (07) අම්පාර, දයා ඇපරල් උත්සව ශාලාවේ පැවති ඉඩම් හිමිකම් ඔප්පු ප්‍රදානය කිරීමේ උත්සවයකට සහභාගී වෙමිනි. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අග්‍රාමාත්‍යවරයා මෙසේද කීය.

"මෙම ඉඩම් ඔප්පු බෙදා දීමේ වැඩසටහන අපි රට පුරා සිදුකරමින් සිටිනවා. ඒ වැඩසටහන තුළ අම්පාර දිස්ත්‍රික්කයේ ඉඩම් ඔප්පු බෙදා දීම විශේෂ අවස්ථාවක් ලෙස සැලකිය හැකියි. ඩී.එස්. සේනානායක මැතිතුමා විසින් නිදහස් ශ්‍රී ලංකාවේ පළමු වාරිමාර්ග ව්‍යාපෘතිය ආම්පාරේදී ආරම්භ කරනු ලැබුවා. විශාල වශයෙන් ජනතාව මේ ප්‍රදේශයේ පදිංචි කළා. ඒ වගේම අනුරාධපුරය, පොළොන්නරුව, ත්‍රිකුණාමලය ප්‍රදේශවලත් එතුමා ජනතාව පදිංචි කළා. ගම්මාන පුළුල් කිරීමේ ව්‍යාපෘතිය යටතේ එදා ජනතාවට ඉඩම් ලබා දීමත් සිදු කෙරුණා. ගොඩ ඉඩම්, මඩ ඉඩම් ලෙස සියලුම ඉඩම් අවශ්‍ය ආකාරයට ජනතාවට ලබා දීමට එක්සත් ජාතික පක්‍ෂ රජයන් අතීතයේ සිටම කටයුතු කර තිබෙන බව පැහැදිලි වෙනවා.

"සාමාන්‍ය ජනතාවට ඉඩම් ලබා දීම සිදු කළේ 1934 වසරේ සම්මත කළ ඉඩම් සංවර්ධන ආඥා පනත යටතේයි. ඒ කාලයේ ඉඩමේ භුක්තිය වෙනුවෙන් ජනතාවට ලබා දුන්නේ ඉඩම් බලපත්‍රයි. තම ඉඩමට ඇති එකම හිමිකම ඒ බලපත්‍රයයි. ඉන්පසුව කාලයක් යන විට බලපත්‍ර ලබා නොදී ලියුමකින් පමණක් ජනතාව පදිංචි කිරීමට කටයුතු කළා. බලපත්‍රයක් හෝ ලියුමක් වැනි කිසිම ලියවිල්ලක් නොමැතිවද පදිංචි කළ ජනතාව සිටිනවා. මෙම කණ්ඩායම් තුනටම තම ඉඩම පිළිබඳ භුක්තිය පෙන්වීමට ඔප්පුවක් තිබුණේ නැහැ. රටේ බොහෝ අයට තම ඉඩමට ඔප්පුවක් තිබෙනවා. සුදු ජාතිකයන්ගේ කාලයේ තේ වතු වගා කිරීමට අනූනව අවුරුදු බද්ද යටතේ ඔවුන්ට ලබා දුන් ඉඩම්වලටත් ඔප්පු තිබුණා. එම ඔප්පුවල වසර අනූනවයක බද්ද යටතේ ඉඩම් පවරා දී තිබුණා. නමුත් අපේ අහිංසක සාමාන්‍ය ජනතාවට එවැනි ඔප්පුවක් හෝ තිබුණේ නැහැ.

"අපේ ආණ්ඩුව යටතේ රටේ ඉඩම් ඔප්පුවක් නොමැති සියලුම දෙනාට සිය ඉඩමේ අයිතිය තහවුරු කර ගැනීමට ඉඩම් ඔප්පු ලබා දෙන බව ගයන්ත කරුණාතිලක ඇමැතිතුමා පොරොන්දුවක් ලබා දුන්නේ එවැනි පසුබිමකයි. ඒ වැඩසටහන යටතේ අද මෙහි පැමිණ සිටින සියලුම දෙනාට තම ඉඩම වෙනුවෙන් ඉඩම් ඔප්පුවක් ලබා දෙනවා. ඉඩමට ඔප්පුවක් නොමැතිව තමන්ට අවශ්‍ය කටයුත්තක් කර ගැනීමට යෑමේදී මේ ජනතාවට විශාල ලෙස ගැටලුවලට මුහුණ දීමට සිදු වුණා. කාලයක් තිස්සේ තමන් ජීවත්ව සිටි ඉඩමෙන් ඉවත්ව යෑමට පවා ඇතැමුන්ට තර්ජනය කළා. එවැනි ක්‍රියා සිදු වී තිබෙනවා. තම තමන්ගේ ඉඩම්වල නිසි භුක්තිය විඳීමට අවශ්‍ය ලියවිල්ලක් මේ ජනතාවට තිබුණේ නැහැ. එසේ නම් ගයන්ත කරුණාතිලක ඇමතිතුමාගේ අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක වන ඉඩම් ඔප්පු ලබා දීමේ මෙම වැඩසටහන යටතේ ඔබේ ඉඩම වෙනුවෙන් නිසි භුක්තිය ලබා දීමයි අද අපි සිදුකරන්නේ. මේ ආකාරයට දිවයින පුරාම ඉඩම් ඔප්පු නොමැති ජනතාවට ඉඩම් ඔප්පු ලබා දීමේ වැඩසටහන අපි ක්‍රියාත්මක කරනවා. අද ඔබට ලබා දෙන ඉඩම් ඔප්පුව සින්නක්කර ඔප්පුවක් නොවෙයි. අනූනව බද්ද යටතේ ලබා දුන් ඔප්පුව මෙන් මේ ඔප්පුවෙන් ඔබට ඉඩමේ අයිතිය තහවුරු වෙනවා. ඉදිරියේදී ඔබේ ඉඩම්වලට සින්නක්කර අයිතිය ලබා දීමටත් අපි කටයුතු කරනවා.

"මේ ඔප්පු ලබා දීමෙන් පසු ඔබට ගැටලුවකින් තොරව ඔබේ ඉඩම්වල, වගා බිම්වල වගා කටයුතු කිරීමට හැකියාව ලැබෙනවා. මේ ප්‍රදේශයේ විශාල වශයෙන් සිදුවන්නේ වී වගාවයි. ගයන්ත කරුණාතිලක ඇමතිතුමා නියෝජනය කරන ගාල්ල, හිනිදුම ප්‍රදේශත් අගලවත්ත, රක්වාන, දෙණියාය ප්‍රදේශවලත් කුඩා තේ වතු වගාව සිදුවෙනවා. කෑගල්ල ආශ්‍රිතව රබර් වගාව සිදුවෙනවා. කුරුණෑගල පොල් වගාව සිදුකෙරෙනවා. මේ ආකාරයට රට පුරා කෘෂිකර්මාන්තය සිදුකෙරෙනවා. ඒ ඒ ප්‍රදේශවල සිටින ගොවි මහතුන් නිසා රටේ කෘෂිකර්මාන්තය ඉදිරියට ගමන් කරනවා. හිනිදුම, බද්දේගම, අකුරැස්ස, අගලවත්ත, දෙණියාය, රක්වාන, කලවාන සිට බලන්ගොඩ දක්වා තේ වගා කරන කුඩා තේ වතු හිමියන් අද ශ්‍රී ලංකාවේ තේ අපනයනයෙන් වැඩිම ප්‍රමාණයකට නිෂ්පාදන දායකත්වය දක්වනවා.

"2002 වසරේ මම අගමැති ලෙස තේරී පත් වූ අවස්ථාවේ මේ රට සහලින් ස්වයංපෝෂිත කර දෙන්නැයි දිගාමඬුලු ජනතාවගෙන් ඉල්ලා සිටියා. ඒ අනුව රට සහලින් ස්වයංපෝෂිත කළා. 2004 වන විට රටට අවශ්‍ය සහල් ප්‍රමාණය රට තුළින්ම නිෂ්පාදනය වුණා. නමුත් රටේ කෘෂි ආර්ථිකයට මෙතරම් දායකත්වයක් දක්වන ගොවි මහතුන්ගෙන් බොහෝ දෙනකුට තම ඉඩමට අයිතිය පෙන්වීමට ඉඩම් ඔප්පුවක් නොමැති වීම විශාල ගැටලුවක් බවට පත්ව තිබෙනවා. රටට විදේශ විනිමය උපයා දෙද්දී ඔවුන්ගේ මහන්සිය ඉතා වැදගත් බව බොහෝ අය පැවසුවත් ඔවුන්ට තවමත් සින්නක්කර අයිතියක් ලබා නොදීම පිළිබඳව කාගේවත් අවධානය යොමු වී තිබුණේ නැහැ. එම නිසා ජනතාවට ඉඩම් ඔප්පු ලබා දීම පිළිබඳව ඇමතිතුමා සමඟ සාකච්ඡා කර කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කර අනුමැතිය ලබා ගැනීමෙන් පසුව අපි පනතක් සම්මත කර ගත්තා. ඒ අනුව ඉඩම් විශේෂ විධිවිධාන කෙටුම්පත සකස් කිරීමට අපට හැකි වුණා. එම කෙටුම්පතට අනුව ඉඩමක වසර 10කට වඩා භුක්තිය විඳි පුද්ගලයන්ට එම ඉඩමේ සින්නක්කර අයිතිය හිමි වෙනවා.

"මේ ප්‍රදේශවල වී වගා කරන ජනතාව හෝ රටේ වෙනත් ප්‍රදේශවල තේ වගා කරන ජනතාව හෝ වෙනත් ඕනෑම කෙනකුට සින්නක්කර අයිතිය ලබා දීමේ වැඩසටහනක් අපි ක්‍රියාත්මක කරනවා. අද අපි ලබා දෙන ඉඩම් ඔප්පුව හෝ ඉඩමේ බලපත්‍රය ඉදිරිපත් කිරීමට හැකි සියලුම දෙනාට සින්නක්කර අයිතිය ලබා ගැනීමට හැකියාව තිබෙනවා. සින්නක්කර අයිතිය ලබා ගැනීමට අකමැති අය සිටිනවා නම් මේ ඉඩම් ඔප්පුව පමණක් ළඟ තබාගත හැකියි. නැතිනම් වසර 10ක භුක්තිය පෙන්වා ඔබ සියලුම දෙනාට තම ඉඩමේ සින්නක්කර අයිතිය තහවුරු කර ගැනීමට දැන් හැකියාව ලැබී තිබෙනවා.

මාතෘකා