ව්‍යවස්ථා කෙටුම්පතක්වත් නැති අවස්ථාවක රට බෙදනවා කියා කෑ ගසනවා

 ඡායාරූපය:

ව්‍යවස්ථා කෙටුම්පතක්වත් නැති අවස්ථාවක රට බෙදනවා කියා කෑ ගසනවා

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ

ව්‍යවස්ථාවක් තියා ව්‍යවස්ථා කෙටුම්පතක්වත් සකස් කොට නොමැති අවස්ථාවක ඇතැමුන් රට බෙදනවා, රට කැඩෙනවා කියා කෑ ගසනවා යැයි අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි. පසුගියදා (19) ගාල්ල යක්කලමුල්ල කරාගොඩ ශ්‍රි පුර්වාරාම විහාරස්ථානයේ අභිනවයෙන් ඉදි කරනු ලැබූ දෙමහල් භික්ෂු නේවාසිකාගාරය, දහම්පාසල් ගොඩනැගිල්ල, හා දානශාලාව සඝ සතුකොට පුජා කිරීමේ අවස්ථාවට එක්වෙමින් අග්‍රාමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේය. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අග්‍රාමාත්‍යවරයා මෙසේද කීය.

“යෝජිත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ගැන මල්වතු මහානායක ස්වාමීන් වහන්සේ කළ ප්‍රකාශයක් අද පුවත්පත් කිහිපයක පළ වී තිබෙන බව මා දුටුවා. එය අපි ගැඹුරින් අධ්‍යයනය කළ යුතුයි. අද ඇතැම් අය ව්‍යවස්ථාවෙන් රට බෙදෙනවා කියා, රට කැඩෙනවා කියා චෝදනා කරනවා. මෙවන් පසුබිමක අපේ මහානායක ස්වාමීන් වහන්සේගේ අදහස් දැක්වීම ඉතාම වැදගත් වන බව කිව යුතුයි. ව්‍යවස්ථාවේ රට කැඩෙන බවට චෝදනා කළත් තවම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් අපි සකස් කරලා නැහැ. අඩුම තරමින් ව්‍යවස්ථා කෙටුම්පතවත් හදලා නැහැ. නමුත් පාර්ලිමේන්තුවම එකතු කර ව්‍යවස්ථාදායක සභාවක් පත් කළා. සියලු පක්‍ෂ නියෝජනය වන පරිදි මෙහෙයුම් කමිටුවක් පත් කළා. එහි සභාපති ලෙස මා කටයුතු කරනවා. එහිදී ඉදිරිපත්ව ඇති සියලු යෝජනා සාකච්ඡාවට භාජනය වුණා. ඒ අනුව එම අදහස් හා යෝජනා අනුව අන්තර් වාර්තාවක් සකස් කළා. ඒ ගැන දින 04ක් 05ක් පාර්ලිමේන්තුවේ විවාද කළා. ඉන් අනතුරුවද මතු වූ අදහස් සම්බන්ධව අවධානය යොමු කරමින් වාර්තා සකස් කළා. දැන් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තියෙන්නේ ඒ වාර්තාවයි. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා කෙටුම්පතක් ගෙන එනවා නම් ඊට පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක සහයෝගය තිබිය යුතුයි. එවැනි සහයෝගයක් තිබෙනවාද නැද්ද කියා අපි තවම දන්නේ නැහැ. එය පක්‍ෂ නායකයින් තීරණය කළ යුතුයි. එහෙම සහයෝගයක් තිබෙනවා නම් ව්‍යවස්ථාව සකස් කරමු. එවැනි සහයෝගයක් නැතිනම් ව්‍යවස්ථාව සැකසීමෙන් පලක් නැහැ. 1995 දී මහින්ද රාජපක්‍ෂ මැතිතුමා කලාප සංගමයකට සහයෝගය ලබා දුන්නා. ඊට උදව් කළා. චන්ද්‍රිකා මැතිනිය කලාප සංගම් ක්‍රමය ඇතුළත් ව්‍යවස්ථා කෙටුම්පතක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන අවස්ථාවේ ඇමැතිවරයෙක් ලෙස ඊට උපරිම සහයෝගය ලබා දුන්නා. එදා මහින්ද රාජපක්‍ෂ පෙනී සිටියේ රට කලාපවලට බෙදා කලාප සංගමයක් බවට පත් කිරීමටයි. චන්ද්‍රිකා කුමාරතුංග මැතිනියත් ඒ ස්ථාවරයේ සිටියා. නමුත් මා ඒ ස්ථාවරයේ සිටියේ නැහැ.

“මහින්ද රාජපක්‍ෂ මහතා කලාප ක්‍රමයට සහයෝගය දක්වන අවස්ථාවේ අපි එතුමාගෙන් මේ ගැන විමසුවා. නමුත් එතුමා ප්‍රකාශ කළේ එයින් රට බෙදෙන්නේ නැති බවයි. එසේ නම් කවුරුන් හෝ කලාප ක්‍රමයක් ඇති කළ යුතු බවට යෝජනා කළොත් එමගින් රට බෙදෙන බව එතුමාට කියන්නට බැහැ. මහින්ද රාජපක්‍ෂ මහතා ජනාධිපති ලෙස සර්ව පාක්‍ෂික සමුළුව පිහිටුවමින් එදා ප්‍රකාශ කළේ මට උවමනා වන්නේ උපරිම බලය බෙදාහැරීමට බවයි. එදා එතුමා තෛපොංගල් උත්සවයේදී ද්‍රවිඩ භාෂාවෙන් කතා කරමින් කියා සිටියේ මෙරට සිංහල, දෙමළ, මුස්ලිම් සියලු ජන කොටස්වලට එකඟ විය හැකි ව්‍යවස්ථාවක් ගෙන ආ යුතු බවයි. මේ එකක්වත් රට බෙදෙන ඒවා කියා අපට කියන්නට බැහැ. අද මට ඇතැම් පාර්ශ්ව චෝදනා කරනවා මගේ ස්ථාවරය වෙනස් කර ගන්නේ නැහැ කියා. හැම කෙනෙක්ම කියනවා හැමදාම ඒකීය රාජ්‍ය ස්ථාවරයේ ඉන්නවා කියා. එදා ඩී.එස්. සේනානායක, ජේ.ආර්. ජයවර්ධන මැතිතුමන්ලා ඒකීය රාජ්‍ය ස්ථාවරයේ සිටියා. ජේ.ආර්. ජයවර්ධන මැතිතුමා ලංකාව ඒකීය රාජ්‍යයක් ලෙස තිබිය යුතු බවට රජීව් ගාන්ධි මැතිතුමාගෙන් පවා අත්සන් ලබා ගත්තා. ඊට පසු රණසිංහ ප්‍රේමදාස, ඩී.බී. විජේතුංග මැතිතුමන්ලාද ඒකීය රාජ්‍ය ස්ථාවරයේ සිටියා. මගේ ස්ථාවරයද එයයි. ඒකීය රාජ්‍යයක් තුළ බලය බෙදාහැරීම සිදු කළ යුතුයි.

“හිටපු ජනාධිපතිතුමාට මේ ස්ථාවරයට පැමිණිය හැකි නම් මගේ ස්ථාවරය වී තිබෙන්නේ ඒකීය රාජ්‍යය තුළ බලය බෙදාහැරීමයි. ඒකීය රාජ්‍යය ආරක්‍ෂා කරමින් ඉදිරිපත් කරන ඕනෑම වැඩපිළිවෙළකට අපේ සහයෝගය ලබාදෙනවා..”

මාතෘකා