මහින්ද මහත්තයා අලුත් ව්‍යවස්ථාව ජනතාවට යකෙක් ලෙස පෙන්වා දෙනවා

 ඡායාරූපය:

මහින්ද මහත්තයා අලුත් ව්‍යවස්ථාව ජනතාවට යකෙක් ලෙස පෙන්වා දෙනවා

මහින්ද මහත්තයා ඇතුළු පිරිස අලුතෙන් දෙයක් නිර්මාණය කරන්න හදනවා. අලුත් යකෙක් පෙන්වන්න හදනවා මේ ව්‍යවස්ථා වෙනස පෙන්වමින්. ඒක තමයි මාතෘකාව මේ දවස් වල. දයාබර අම්මේ තාත්තේ මේ රටේ තියෙන ඒකීයභාවය සෛවරීත්වය කිසිසේත්ම පළුදු වෙන විදිහට අපි වැඩ කරන්නේ නෑ.දැනට ඉදිරිපත් කරලා තියෙන්නේ විශේෂඥයින්ගේ කොමිටි වාර්තාවක් පමණයි. අපේ කිසිම සැලසුමක් නෑ අලුත් ව්‍යවස්ථාවක් කොළේ වහල ගහන්න.ජනතාවට කරුණු පෙන්වන්නේ නැතුව ජනතාවගේ අදහස් විමසන්නේ නැතුව එහෙම දෙයක් මේ රටේ කරන්න බෑ. මේ රටේ තියෙනවා ප්‍රජාතන්ත්‍රවාදය.නිදහස් රාජ්‍යයක් මේක. පාර්ලිමේන්තුවක් තියෙනවා. අනික අපේ රටේ ජනතාවට රහසේ දෙයක් කරන්න බෑ මේ රටේ. මේක විවෘත සමාජයක්. ජනතාවට කැමති විදිහට ආණ්ඩු වෙනස් කරනවා. නායකයෝ ඇති කරනවා නැති කරනවා. ජනතාවට තමයි ඒ බලය තියෙන්නේ. ගිය ජනාධිපතිවරණයේදී මේ නුවරඑළිය ජනතාව එක්සත් ජාතික පක්ෂයේ ඒ අපේක්ෂකයාට 70% ක ප්‍රමාණයක් ඡන්දය දුන්නා. මේ අවුරුද්දෙත් අනිවාර්යෙන්ම ජනාධිපතිවරණයක් තියෙනවා. කාටවත් ඒක නවත්වන්න බෑ. මේ අවුරුද්දේ ඔක්තෝබර් වෙද්දී ජනාධිපතිවරණයක් කැඳවන්න අවශ්‍යයි. ඒකෙන් කාටවත් පිට පනින්න බෑ. ලබන අවුරුද්ද වෙද්දී අලුත් විධායක ජනාධිපතිවරයෙක් ඉන්නවා. මේ ජනාධිපතිවරයා හෝ වෙනත් අයෙක් වෙන්න පුළුවන්. මේ තමයි රටේ නීතිය. මේ මැතිවරණ තියන්නේ ව්‍යවස්ථානුකූලවයි. මේ රටේ අවුරුදු පහෙන් පහට ජනාධිපතිවරණ එනවා. අවුරුදු හයෙන් හයට මහ මැතිවරණයක් එනවා. ඒ විදිහට මේ රටේ ජනතාවත් පුරුදු වෙලා තියෙනවා ඉතාමත් ඉවසීමෙන් සංයමයෙන් යුක්තව තමාගේ බුද්ධිය පාවිච්චි කරලා ඡන්දය ලබා දෙන්න. යැයි වැවිලි කර්මාන්ත අමාත්‍ය නවීන් දිසානායක මහතා පවසයි. හෙතෙම මේ බව ප්‍රකාශ කළේ පසුගියදා නුවරඑළිය රුවන්එළිය ප්‍රදේශයේ ඉදිකළ බහුකාර්ය ගොඩනැඟිල්ල හා තැපල් කාර්යාලය විවෘත කිරීමෙන් පසු රැස්ව සිටි පිරිස අමතමිනි. එහිදී වැඩිදුරටත් අදහස් දක්වූ අමාත්‍යවරයා මෙසේද කීය.

මම ඉතාමත් සතුටු වෙනවා අද දින රුවන්වැළිය ග්‍රාමයේ මම පටන් ගෙන අපේ ප්‍රාදේශීය සභාවේ සභාපතිතුමාගේ සහභාගිත්වයෙන් අවසන් කරලා අද ජනතා අයිතියට පත් කරන මේ බහුකාර්ය ගොඩනැඟිල්ල හා තැපල් කාර්යාලය විවෘත කිරීමට අවකාශය ලැබීම ගැන. විශේෂයෙන්ම අපි හා ප්‍රාදේශීය සභාවේ මුදලින් ලක්ෂ පනහක පමණ ආයෝජනයක් මේ සඳහා යොදවලා තියෙනවා. අපි නිරන්තරයෙන්ම ඔබගේ අදහස් යෝජනා අරගෙන ප්‍රදේශයේ ජනතාවට අවශ්‍ය ආකාරයට මේ ප්‍රදේශය දියුණු කරන්න මා උත්සාහ කර තිබෙනවා. එම නිසා විවිධ අවස්ථා වල මහාමාර්ග , ජල නළ පද්ධති සහ විදුලි බලය වගේ යටිතල පහසුකම් දියුණු කිරීම් අපි කරලා තියෙනවා. අපි ඉදිරියට මේවා නවත්වන්නේත් නෑ. මේ අවුරුද්දට පමණක් අපි රුපියල් ලක්ෂ සීයක් මිලියන දහයක මුදලක් දැනටමත් වෙන් කරලා තියෙනවා. ගම්පෙරළිය වැඩසටහන යටතේ මිලියන තුන්සීයක් ලක්ෂ තුන්දාහක් වැනි විශාල මුදලක් අපේ නුවරඑළිය ප්‍රාදේශීය ලේකම් කාර්යාල වලට ඇවිල්ලා තියෙනවා. අපි ඉතාමත් ඉක්මණින් ඒ මුදල් නව සිංහල අවුරුද්ද පටන් ගන්නට පෙර මේ මුදල් වලින් ජනතාවට වැඩ කරන්න බලාපොරොත්තු වෙනවා.

“ඔක්තෝබර් 26 විප්ලවයට ඉස්සර වෙලා ඒ කියන්නේ තුවක්කු යුධ ටැංකි නැති විප්ලවයක්. ඇත්තටම ඒ විප්ලවය උනේ නැත්නම් මේ වෙන කොට අපි ඒ වැඩ කොටස් කරලා අවසන්. එදා ඒ වෙනස උනේ නැත්නම් අපි මේ වෙන කොට ඒ මුදල් ටික වියදම් කරලා ඉවරයි. ඒ වෙනසින් මේ රටට විශාල පාඩුවක් සිද්ධ වුණා.අපිට ගණන් කරන්න බෑ මිල මුදල් වලින් ඇති වුණ පාඩුව. විශේෂයෙන්ම සංචාරක නගරයක් වුණ නුවරඑළියට සියයට තිහක හතළිහක විදේශිකයින්‍ අඩුවීමේ ප්‍රවණතාවයක් තිබ්බා. තව මාස තුන හතරකට ඉදිරියට අපේ සංචාරක ව්‍යාපාරයේ විශාල අහේනියක් මේ නුවරඑළිය දිස්ත්‍රික්කයට ඇති වුණා කියන එක පැහැදාළිවම කිව යුතුයි. මේ නුවරඑළියේ විශාල හෝටල් වලට පමණක් නෙවෙයි සාමාන්‍ය රෙස්ට් හවුස්වලටත් ව්‍යාපාර අඩුවීමක් සිද්ධ වුණා. මේ තමයි දවස් පනස් දෙකකට නුවරඑළියට සිද්ධ වුණු හානිය. මේ වගේම විශාල වශයෙන් සංචාරක ව්‍යාපාර තිබෙන නගර හා දිස්ත්‍රික්ක වලට ඒ දවස් පනස් දෙකේ වෙනස නිසා හානියක් සිද්ධ වුණා. අද අපිට පුළුවන් වෙලා තියෙනවා අපිට බහුතරයක් තිබෙන නිසා පාර්ලිමේන්තුව තුළ අතුරු සම්මත ගිණුමක් සම්මත කරගෙන තව මාස හතරකට මේ රට ඉදිරියට ගෙනියන්න. ඒ කියන්නේ රාජ්‍ය සේවකයන්ගේ පඩි ගෙවන්න. අපි බලාපොරොත්තු වෙනවා මාර්තු මාසයේ අලුත් අයවැයක් ගේන්න. අපි ඒ තුළින් ජනතාවට විශාල සහන රැසක් ගේනවා. සමහර අය හිතනවා එක්සත් ජාතික පක්ෂයට ජනතාවට සහන දෙන්න බෑ කියලා. ඒ අයට විතරයි සහන දෙන එකේ අයිතිය තියෙන්නේ වරප්‍රසාද තියෙන්නේ කියලා. ඒ අයට විතරයි වරප්‍රසාද දෙන සංස්කෘතියක් තියෙන්නේ කියලා. නෑ මිත්‍රවරුණි, අපිටත් සහන ලබා දෙන්න පුළුවන්. එක්සත් ජාතික පක්ෂය තමයි ජනතාවවට සහන ලබා දීලා තියෙන පක්ෂය. ගාමිණී දිසානායකලා, ප්‍රේමදාසලා, ජේ.ආර්. ජයවර්ධනලා මතක් කරන කොට අපිට මතක් වෙන්නේ ඒ අය ජනතාවට දීපු සහන. අපිට තියෙන ප්‍රශ්නය තමයි ජනතාවට මේ සහන ලබා දෙන්නේ කොහොම ද කියන එක. මොකද අපිට උපයන හැම රුපියලකින්ම සත අනූවක් අපි විදේශ ණය හැටියට ගෙවනවා. මේක තමයි ඇත්ත කතාව. ඉතිං අපේ රට ණය උගුලක ඉන්නේ. ජනතාව සහන ඉල්ලනවා.

“විශේෂයෙන්ම අහිංසක දුප්පත් ජනතාව බලාපොරොත්තු වෙනවා රජයකින් අපිට යම්කිසි දෙයක් ලැබෙයි කියලා. අපි ආව ගමන්ම පෙට්‍රල් මිල, ඩීසල් මිල අඩු කළා.රාජ්‍ය සේවකයින්ගේ වැටුප රුපියල් හත්දාහකින් වැඩි කරලා රුපියල් දහදාහකට රාජ්‍ය සේවකයින්ගේ දීමනාවක් ලබා දුන්නා. මේවා අමතක වෙලා සමහරුන්ට. අපි මේ වසරේ ඉදිරියේදී මැතිවරණයක් තියෙනවා. එක්සත් ජාතික පක්ෂයේ ජාතික සංවිධායක හැටියට අපි ඉදිරි මැතිවරණ වලට ලෑස්ති වෙනවා. රජයවල් පෙරලන්න ඕනේ ජනතාව. කුමන්ත්‍රණ වලින් නෙවෙයි. එය පැහැදිළිව කියන්න අවශ්‍යයි. එදා ඔළු ගෙඩි මාරු කරලා ඒත් කමක් නෑ බහුතරය හදා ගෙන. බහුතරයවත් හදා ගන්නේ නැතුව තමයි ඔළු ගෙඩි මාරු කරන්න ගියේ. ඒක හරි ගියේ නෑ. අපි නිරන්තර අරගලයක් කළා. ඒ වෙනුවෙන් නුවරඑළිය ජනතාව ලබා දුන් සහයෝගයට මගේ අවංක ආදර ස්තූතිය මම නැවත්ත මේ අවස්ථාවේදී ප්‍රකාශ කරනවා. අවස්ථා තුනකදී විශාල ජනතාවක් සමඟින් බස් තුනක් කොළඹට ආවා. ඉතිං ඒක විශාල පරිශ්‍රමයක්. මොකද නුවරඑළියේ ඉඳලා කොළඹට යන්න පැය හයක් යනවා. රැස්වීමේ පැය දෙකයි තියෙන්නේ මුළු දවස් භාගයක් බස් එකේම ඉඳලා මේ මිනිස්සු කළේ පුදුම කැප කිරීමක්. ඒ සියලුම මූණු මට මතකයි. ඉතිං මේ මූණු ගාණට තමයි නවින් දිසානායක වැඩියෙන්ම වැඩ කරන්නේ කියන එකත් පැහැදිළිවම කියන්න ඕනේ. නුවරඑළියේ එදා ගාමිණී දිසානායක පටන් ගත්ත සංවර්ධනය දැන් අපි කරන සංවර්ධන කටයුතු අපි ඉදිරියටම කර ගෙන යනවා. අපි නව සිංහල අවුරුද්දට කළින් නුවරඑළිය රෝහල විවෘත කරනවා. ඒ වගේම නුදුරු අනාගතයේදී නුවරඑළිය මාර්කට් සංකීර්ණයේ වැඩ කටයුතු අපි පටන් ගන්නවා. මුළු රටෙන්ම නුවරඑළියේ තමයි පළමු වන කේබල් කාර් ව්‍යපෘතිය පටන් ගන්නේ. මේ විදිහට අපි සැලසුම් සහගත සංවර්ධනයක් පටන් අරන් තියෙනවා.

“අපි එක්සත් ජාතික පක්ෂයේ ඒ තිබෙන සියලුම ශාඛා සමිති නවීකරණය කරලා ජනවාරි මාසය අන්තිමට නායකතුමා හරහා බල මණ්ඩල පිහිටුවන්න. අනිත් පක්ෂ හා සංසන්දනය කරන කොට අපි ගොඩක් ඉදිරියෙන් ඉන්නේ. නුවරඑළිය ආසනයේ අපි සංවිධානාත්මකව ඉදිරියට යමු. ඒ වෙනුවෙන් මට නුවරඑළිය නගරාධිපතිතුමා විශාල ශක්තියක් වගේම විශාල සෙන්පතියෙක් වෙනවා. මේ පක්ෂය කිසිම පුද්ගලයෙක්ගේ අයිතියක් නෙවෙයි. මේ පක්ෂය සියලු දෙනායටම අයිතියි. මේ රටේ පුංචි ජනතාවට අයිති දේශපාලන ව්‍යාපාරයක්. මේ පක්ෂය තමයි සේනානායකලා ඩඩ්ලිලා බිහි කරපු පක්ෂය. මේ පක්ෂයෙන් තමයි තමුන්නාන්සේලාගේ නායක ගාමිණී දිසානායක මැතිතුමා බිහි වෙලා අවුරුදු පහ හයකින් මහවැලි ජලාශය වේල්ලකින් හරස් කරලා මහවැලි ව්‍යාපාරය හරහා ජනතාවට ඒ අවශ්‍ය බත සපයලා විදුලි බලය දෙගුණයක් කරලා මේ රට විශාල සංවර්ධනයකට යොමු කළේ. ඒ නිසා එතුමාගේ අඩි පාරේ යමින්, නුවරඑළිය කියන්නේ එතුමාගේ හදවත මේ සියලු ප්‍රදේශ එතුමා පෝෂණය කළා. මමත් ඒ සංවර්ධන වැඩ පිළිවෙල හරහා තමුන්නාන්සේලාට උපරිම සම්පත් ලබා දෙනවා කියලා මම පැහැදිළිවම කියනවා. විශේෂයෙන්ම තමුන්නාන්සේලාගේ ප්‍රශ්න ගැටලු අහලා ඒවාට විසඳුම් ලබා දීමටත් විශේෂයෙන්ම කෘෂිකාර්මික පැත්තෙන් අපිට ගැටලු රැසක් තියෙනවා. මිල අඩු වැඩිවීම් සිද්ධ වෙද්දී අර්තාපල් පිටරටින් ගේනන් සමහර අය උත්සාහ කළා. අපි ඒවා නැවැත්තුවා. ඒ ක්‍රමවේද නැතුව නුවරඑළිය අල ගොවියාගේ මූලික ප්‍රශ්න අර්තාපල් සඳහා හොඳ මිලක් ලැබෙන විදිහට ලබා දෙන්න අපි කටයුතු කර ගෙන යනවා. විශේෂයෙන්ම අපි කෘෂිකර්මාන්ත ක්ෂේත්‍රයට මීට වඩා ශක්තියක් ලබා දෙන්න බලාපොරොත්තු වෙනවා.

“දැන් කැබිනට් අමාත්‍යවරු 28 දෙනෙක් ඉන්නවා. තව ටිකක් වැඩි වෙන්න පුළුවන්. විශේෂයෙන්ම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ විශාල පිරිසක් අපිත් එක්ක එකතු වෙන්න ඉන්නවා. අපිට අවශ්‍ය වෙලාවේදී ෆවුසි ඇමතිතුමාත් විජිතමුණි ඇමතිතුමාත් පියසේන ගමගේ ඇමතිතුමාත් සහයෝගය ලබා දුන්නා. එතුමන්ලාට අපේ ස්තූතිය ප්‍රකාශ කරනවා. අපි ඒ අය බලා ගන්න අවශ්‍යයි. දැන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මැති ඇමතිවරු පිරිසක් කතා කරනවා එක්සත් ජාතික පක්ෂය හා කෙළින්ම බද්ධ වෙලා වැඩ කරන්න. ඒ අය පොහොට්ටුවට යන්න කැමති නෑ. අපි එක්ක එකතු වෙලා දේශපාලන කරන්න ඔවුන් කැමතියි. ඇත්ත වශයෙන්ම නුවරඑළිය දිස්ත්‍රක්කයට පොහොට්ටුවෙන් නායකත්වයක් නෑ. ඒ අවශ්‍ය ශක්තිය නුවරඑළියෙන් පොහොට්ටුවට ලැබෙන්නේ නෑ. අපිට ඒ ශක්තිය තියෙනවා. අපේ ප්‍රාදේශීය සභාපතිතුමා වතු සේවකයින්ගේ පඩි ප්‍රශ්නය ගැන කතා කළා. මම ඇමති වුණාට පස්සේ මේ පිළිබඳව ඒ අදාළ පාර්ශවයන් හා දෙපාරක් සති දෙක්ක තුනක් ඇතුළත ඒ වතු සේවකයින්ගේ මූලික වේතනය වැඩි කරන්න සාකච්ඡා කළා. වතු සමාගම් ප්‍රධානීන්ට අපි කියලා තියෙන්නේ මීට වඩා මුදලක් ලබා අවශ්‍යයි කියලා. ලබන සතියේ වතු සමාගම් ප්‍රධානීන් ඔවුන්ගේ අලුත් අදහස් ආයෙත් අපිට ඉදිරිපත් කරනවා. අපි වෘත්තීය සමිති වලට කියනවා ඔබත් නම්‍යශීලී වෙන්න අවශ්‍යයි. අපි වතු සේවකයින්ගේ දුක දන්නවා. නමුත් වතු සමාගම් කඩා වැටුණොත් වතු සේවකයන්ටත් අනාගතයක් නැති වෙනවා. ඉතිං දෙපැත්තම බේර ගෙන අපි ඉදිරියට යන්න අවශ්‍යයි. වතු සේවකයින්ටත් උපරිම මුදලක් දෙන්න අවශ්‍යයි. ඒ වගේම ඒ වතු සමාගම් ඉදිරියට ගෙන යන්න පුළුවන් වාතාවරණයක් අවශ්‍යයි. ඉතිං පහුගිය කාලේ අපි ගේම් ගැහුවා. නමුත් දේශපාලනය කියන්නේ ගේම් වලට වඩා ඔබ්බට ගිහිල්ලා ජනතාවට සහන සපයන්න පුළුවන් දෙයක්. ඒකට නිසි දේශපාලනයක් රටට අවශ්‍යයි. යල් පැන ගිය අදහස් මතවාද අපි වෙනස් කළ යුතුයි. අපි වෙනස් විය යුතුයි. වෙනසකින් තොරව නවීකරණයක් වෙන්නේ නෑ. එහෙම නම් අපේ ඔළු ටිකත් අපි ටිකක් අලුත් කරන්න ඕනේ. අපේ ආකල්ප අපි වෙනස් කරන්න උත්සාහ කරන්න ඕනේ. අපි අධ්‍යාපනය හරහා ඒක අපේ තරුණ පරපුරට ලබා දිය යුතුයි.

 

 

මාතෘකා