ආණ්ඩුව හදන්නේ මැතිවරණ අයවැයක් ඉදිරිපත් කරන්නයි : පා.ම. ලක්ෂ්මන් යාපා අබේවර්ධන

 ඡායාරූපය:

ආණ්ඩුව හදන්නේ මැතිවරණ අයවැයක් ඉදිරිපත් කරන්නයි : පා.ම. ලක්ෂ්මන් යාපා අබේවර්ධන

අයවැය අප්‍රේල් මාසේ 4 වැනිදා සම්මත වෙනවා. සැප්තැම්බර් මාසය අවසන් වෙන කොට ජනාධිපතිවරණය ප්‍රකාශයට පත් කරන්න වෙනවා. ඒ අතර මාස පහක කාලයේ කිසිම දෙයක් මේ ආණ්ඩුවට කරන්න බැහැ. ආණ්ඩුව හදන්නේ මැතිවරණ අයවැයක් ඉදිරිපත් කරන්න. එවැන්නකින් ජනතාවට සහනයක් ලැබෙන්නේ නැහැ.

ඒ සහන ලැබෙන කාල සීමාව බැලුවාම මේ අයට ඒ යෝජනා ක්‍රියාත්මක කරන්න ලැබෙන්නේ නැහැ. මේ අයවැයෙන් රාජ්‍ය සේවකයින්ටත් ඉටු කරගන්න බැරි බලාපොරොත්තුවක් දෙන්න හදනවා. රටේ ආර්ථිකයේ හැටියට එවැන්නක් කරන්න බැහැ” යැයි පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතා පවසයි. ඒ මහතා මේ බව ප්‍රකාශ කළේ පසුගියදා (08) පක්ෂ මූලස්ථානයේ පැවති මාධ්‍ය හමුවට එක්වෙමිනි. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ මන්ත්‍රීවරයා මෙසේද කීය.

“මහින්ද රාජපක්ෂ මහතා අගමැති කාලයේ කරපු යෝජනා ක්‍රියාත්මක කරන්නවත් තවම හැකි වෙලා නැහැ. ඒ යෝජනා දෙසැම්බර් 31 සිටත් ජනවාරි 15 සිටත් ක්‍රියාත්මක වෙන්න නියමිතව තිබුණා. 2014 දෙසැම්බර් වෙද්දි රාජ්‍ය සුරැකුම්වල ආයෝජන ඇමරිකන් ඩොලර් මිලියන 3450ක් තිබුණා. අද වෙන කොට මිලියන 1340ට මෙය අඩු වෙලා. 2018 ඔක්තෝබර් ඉඳන් දෙසැම්බර් වෙද්දි තව ඩොලර් මිලියන 460ක් බැහැලා. මේ තරම් සුරැකුම් ඉවත් කර ගන්නේ ඊට වඩා පොලියට තැන්පත් කරන්න තැන් තියෙන නිසයි.

මේ තත්ත්වය එක්ක අයවැයෙන් කරන්න පුළුවන් දෙයක් නැහැ. ඉදිරි මැතිවරණයකදී ස්ථාවර ආණ්ඩුවක් අවශ්‍ය බව මේ නිසා දැන් ජනතාවට පැහැදිලියි. ආණ්ඩුව හදන්නේ රාජපක්ෂ විරෝධයක් ගොඩනඟන්න. මන්ත්‍රීවරු අතරවත් මිනිස්සු අතරවත් එවැනි දෙයක් නැහැ. බලයක් නැති ඡන්ද පදනමක් නැති කිහිප දෙනෙක් එකතු කරගෙන රාජපක්ෂ විරෝධයක් ගොඩනඟන්න හැදුවට වැඩක් නැහැ.

ප‍්‍රගතිශීලී පක්ෂ හා ජනතාවගෙන් අපි ඉල්ලා සිටින්නේ අපි පෙළ ගැසී මැතිවරණයකට සූදානම් වෙමු. ඒ නිසා පළාත් පාලන ආයතනවලින් පටන් අරන් එකතු වෙමු. පොදුජන පෙරමුණ මුල් කරගෙන මහින්ද රාජපක්ෂ මහතාගේ ආශීර්වාදයෙන් ගොඩනඟන සන්ධානයට ස්ථාවර ආණ්ඩුවක් ගොඩනඟන්න හැකියාව තියෙනවා.”

මාතෘකා