බැඳුම්කර වරදකරුවන්ට නීතියෙන් ගැලවෙන්න දෙන්නේ නෑ

 ඡායාරූපය:

බැඳුම්කර වරදකරුවන්ට නීතියෙන් ගැලවෙන්න දෙන්නේ නෑ

අමාත්‍ය ප්‍රසන්න රණතුංග

බැඳුම්කර කොමිසමේ නිර්දේශ අනුව එහි වරදකරුවන් අනිවාර්යයෙන්ම නීතිය හමුවට පමුණුවන බවත් මත්තල ගුවන්තොටුපොළ මගී ප්‍රවාහන හා භාණ්ඩ ප්‍රවාහන ගුවන්තොටුපොළක් ලෙස ඉදිරියේදී දියුණු කරන බවත් කාර්මික අපනයන, ආයෝජන ප්‍රවර්ධන සංචාරක හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පැවසීය.

අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ ඊයේ (02) ගම්පහ උඩුගම්පොළ පැවැති රැස්වීමකින් අනතුරුව මාධ්‍යවේදීන් නැඟූ ප්‍රශ්නවලට පිළිතුරු දෙමිනි. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා මෙසේද කීය.

“පසුගිය ජනාධිපතිවරණයේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අප සමඟ එකතු වුණා. එතැනදී වැඩි වශයෙන් ඉන්නේ ජාතික ලයිස්තුවෙන් පාර්ලිමේන්තු ආපු අයයි. ඒ අය ගැනත් සලකා බැලීමට අපිට සිදු වුණා. අපි අලුත් ජනාධිපතිවරයෙක් පත්කර ගත්තට අපිට පාර්ලිමේන්තුවේ බහුතරය නෑ. ඒ නිසයි ඇමතිවරුන් පත් කිරීමේදී මේ තත්ත්වයට මුහුණ දෙන්න වුණේ. මේක මැතිවරණ පොරොන්දු කඩ කිරීමක් නෙවෙයි. අපි ජනතාවට දුන් පොරොන්දු දිවි හිමියෙන් රකිනවා. මේ තත්ත්වය රටේ ජනතාව හොඳින් වටහාගෙන තිබෙන බව අපි දන්නවා. මැතිවරණයෙන් පරාජයට පත්වුණ කිසිවකු අපි ජාතික ලයිස්තුවෙන් පාර්ලිමේන්තුවට නම් කරන්නේ නෑ. ඒක අපි ජනතාවට දෙන පොරොන්දුවක්. නමුත් වත්මන් පාර්ලිමේන්තුවේ පවතින ඒ තත්ත්වයට වගකියන්න ඕනේ අපි නෙවෙයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයයි. ඉදිරි අපේ ආණ්ඩුවක එවැනි දේ සිදුවන්නේ නෑ. ඊළඟ මැතිවරණයේදී මේ රටේ ජනතාව බුද්ධිමත්ව කටයුතු කරනු ඇතැයි අපි අපේක්ෂා කරනවා.”

“පසුගිය ආණ්ඩුව හොරු අල්ලනවා කියමින් කළේ දේශපාලන පළිගැනීම් කරන එකයි. නමුත් අපි ඒවාට ලෑස්ති නෑ. පසුගිය ආණ්ඩුව තරම් දූෂිත ආණ්ඩුවක් ලංකා ඉතිහාසයේ බිහි වී නෑ. ඒ ආණ්ඩුවේ දූෂණ වංචාවලට වගකිව යුතු අයට අපි අනිවාර්යයෙන්ම දඬුවම් දෙනවා. ඒ දඬුවම් දෙන්නේ රටේ පවතින නීතිය අනුවයි. අපි බැඳුම්කර කොමිසමේ නිර්දේශ අනුව එහි වරදකරුවන් අනිවාර්යයෙන්ම නීතිය හමුවට පමුණුවනවා. ඒකේ දෙකක් නෑ. හැබැයි අපි කටයුතු කරන්නේ රටේ නීතියට අනුවයි. මත්තල ගුවන්තොටුපොළ ඉදිකරලා තිබෙන්නේ ජනතා බදු මුදලින්. පසුගිය ආණ්ඩුවේ හිටපු මෝඩ මිනිස්සු මේ ගුවන්තොටුපොළ වහලා දැම්මේ මහින්ද මහත්තයා එක්ක තියෙන තරහට. අපි මත්තල ගුවන්තොටුපොළ මගී ප්‍රවාහන හා භාණ්ඩ ප්‍රවාහන ගුවන්තොටුපොළක් ලෙස ඉදිරියේදී දියුණු කරනවා. ඒ වගේම යාපනය හා මඩකලපුව ගුවන්තොටුපොළවල් සංවර්ධනය කරන්නත් අපි මේ වන විට සැලසුම් කර තිබෙනවා.”

 

 

News Order: 
0
මාතෘකා