දේශපාලන අයිතිය අහිමි කළ රාජ්‍ය සේවකයන් පිළිබඳ රජයේ අවධානය

දේශපාලන අයිතිය අහිමි කළ රාජ්‍ය සේවකයන් පිළිබඳ රජයේ අවධානය

සමෘද්ධි සංවර්ධන නිලධාරීන්ගේ, කෘෂිකර්ම නිෂ්පාදන සහකාර නිලධාරීන්ගේ සහ ආර්ථික සංවර්ධන නිලධාරීන්ගේ දේශපාලන අයිතිය පසුගිය රජය මඟින් ඉවත් කෙරුණු නැවතත් ඔවුන්ට එම අයිතිය ලබාදීම සඳහා රජයේ අවධානය යොමු වී ඇතැයි රාජ්‍ය පරිපාලන හා ස්වදේශ කටයුතු පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍ය ජනක බණ්ඩාර තෙන්නකෝන් මහතා පෙරේදා (30) පැවසීය.

අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ නව කැබිනට් අමාත්‍ය ධුරය ලබා ගැනීමෙන් පසු ඓතිහාසික රංගිරි දඹුලු රජමහා විහාරස්ථානයට පැමිණ ආගමික වතාවත්වල නියැලීමෙන් පසු මාධ්‍ය අමතමිනි. පළමු කැබිනට් රැස්වීමේදී මෙම දේශපාලන අයිතිවාසිකම් අහිමි වීම පිළිබඳව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සහ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ඒ බව තමා වෙත දැනුම් දුන්නේ යැයි අමාත්‍ය ජනක බණ්ඩාර තෙන්නකෝන් මහතා සඳහන් කළේය. මෙම රාජ්‍ය නිලධාරීන්ගේ දේශපාලන නිදහස ලබාදීම සඳහා ඉදිරියේදී කඩිනමින් කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කිරීමට තමන් කටයුතු කරන බවත් එය යුගයේ අවශ්‍යතාවක් බවත් සෑම අයෙකුගේම දේශපාලන අයිතිවාසිකම් සුරකින රජයක් හැටියට ඉදිරියේදී කටයුතු කරන බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

[කාංචන කුමාර ආරියදාස]

News Order: 
4
මාතෘකා