සංගරීගෙන් නව සන්ධානයක්

සංගරීගෙන් නව සන්ධානයක්

ද්‍රවිඩ එක්සත් විමුක්ති පෙරමුණේ (TULF) නායක ආනන්ද සංගරී මහතා දෙමළ ජාතික සන්ධානයට එරෙහිව නව සන්ධානයක් පිහිටුවීමට පක්ෂ කිහිපයක් සමඟ සාකච්ඡා ආරම්භ කර තිබේ.

දෙමළ ජාතික සන්ධානය සමස්ත දෙමළ වැසියන්ව රවටා ඇති නිසාත් දෙමළ වැසියන් වෙනුවෙන් කිසිවක් සිදුකර නොමැති නිසාත් ඊට එරෙහිව සෙසු දෙමළ පක්ෂ සන්ධානගත වියයුතු බව සංගරී මහතා දෙමළ දේශපාලන දැනුවත් කර ඇත. තම ජනතාවගේ අයිතිවාසිකම් හා ගැටලුවලට විසඳුම් ගෙන ඒම වෙනුවෙන් මෙම සන්ධානය ගොඩනඟන බවත් මේ වන විට දෙමළ දේශපාලන පක්ෂ කිහිපයක්ම ඒ සඳහා එකඟත්වය හා කැමැත්ත පළකර තිබෙන බවත් ඒ මහතා පැවසීය‍.

දෙමළ ජනතාවගේ අර්බුදයට විසඳුම් ගෙන ඒමට නම් දෙමළ දේශපාලන පක්ෂ පොදු ස්ථාවරයක සිටිමින් පුළුල් දේශපාලන බලවේගයක් පිහිටුවාගත යුතු බවටත් ඒ සඳහා ද්‍රවිඩ විමුක්ති පෙරමුණ මූලිකත්වය ගත යුතු බවටත් උතුරේ සිවිල් සංවිධාන රැසක් තමාගෙන් ඉල්ලීම් කළ බවද හෙතෙම කීය. එම ඉල්ලීම්ද සැලකිල්ලට ගනිමින් මෙම තීරණය ගත් බවද ආනන්ද සංගරී මහතා කියා සිටියේය. ඒ අනුව උතුරේ දේශපාලන පක්ෂ රැසකටම මෙම ආරාධනාව සිදුකර ඇති බවත් ඒ සඳහා සාකච්ඡාද නුදුරේදීම අරඹන බවත් ඉදිරි මැතිවරණයට පෙර නව සන්ධානය ගොඩනැඟීමට බලාපොරොත්තු වන බවත් ඒ මහතා කියා සිටියේය.

[රසුල දිල්හාර ගමගේ]

 

 

මාතෘකා