අපේ ආණ්ඩුව රටට කළ සේවය රාජපක්‍ෂ ආණ්ඩුවෙන් කළේ නැහැ : අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ

 ඡායාරූපය:

අපේ ආණ්ඩුව රටට කළ සේවය රාජපක්‍ෂ ආණ්ඩුවෙන් කළේ නැහැ : අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ

රට තුළ නව සංවර්ධන ක්‍රියාවලියක් ආරම්භ කරමින් ආර්ථිකය ශක්තිමත් කිරීමේ වැඩසටහන මේ වන විට ක්‍රියාවට නංවා තිබෙන බවත් සුළුතර ආණ්ඩුවක් වුවත් වත්මන් ආණ්ඩුව රට වෙනුවෙන් සිදුකර තිබෙන සේවය එදා පැවැති බහුතරයක් සහිත රාජපක්‍ෂ ආණ්ඩුවට ඉටු කිරීමට නොහැකි වූ බවත් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.

අග්‍රාමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ පසුගියදා (28) ඇඹිලිපිටිය, මහවැලි ක්‍රීඩාංගණයේදී පැවැති ඉඩම් හිමිකම් ඔප්පු ප්‍රදානය කිරීමේ උත්සවයට එක්වෙමිනි. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අග්‍රාමාත්‍යවරයා මෙසේද කීය.

"ගංවතුර, නියඟය, පළාත් පාලන මැතිවරණ පරාජය, ව්‍යවස්ථාදායක කුමන්ත්‍රණය, පාස්කු ප්‍රහාරය ආදී විවිධ අභියෝග රැසකට අපි මුහුණ දුන්නා. මේ අවස්ථාවන්වලදී අපේ ආණ්ඩුව අස්ථාර වී බිඳවැටෙනු ඇතැයි බොහෝ දෙනා කල්පනා කළා. නමුත් ස්ථාවරව ආණ්ඩුව ඉදිරියටම පවත්වාගෙන යෑමට අපට හැකි වුණා. අපේ අරමුණ වුණේ ආණ්ඩු බලයේ රැඳී සිටීම නොවෙයි. අපේ අරමුණ මීට පෙර 2/3ක බහුතර බලයක් තිබූ රජයන්වලට පවා රට වෙනුවෙන් කිරීමට නොහැකි වූ සුවිශාල කාර්යභාරය ඉටුකිරීමයි. අතීතයේ සිටම අපේ රටේ බහුතර ජනතාවට ඉඩම් හිමිකම තිබුණේ නැහැ. 1930 සිට 1995 දක්වා මහවැලි ව්‍යාපාරය යටතේ ජනතාවට ඉඩම් ලබාදීමට අපි කටයුතු කළා. ඒ අනුව කෘෂිකාර්මික, වෙළෙඳ ව්‍යාපාර ආදී කටයුතු සඳහා ඉඩම් ලබාදුන්නා. නමුත් මෙසේ ලබාදුන් ඉඩම්වලට අයිතිය තහවුරු කළ හැකි ඔප්පුවක් හිමි වුණේ නැහැ. එම තත්ත්වය වෙනස් කරමින් 2002 අපේ ආණ්ඩුව යටතේ රාජිත සේනාරත්න අමාත්‍යවරයාගේ මූලිකත්වයෙන් එම හිමිකම් ලබාදීමට කටයුතු ආරම්භ කළා. නමුත් මැතිවරණයෙන් අප පරාජයට පත්වීමත් සමඟ එම වැඩසටහන අතරමඟ නතර කෙරුණා.

"2015දී අප බලයට පැමිණෙන විට රටට ණය මුදලක් ලබා ගැනීමටවත් නොහැකි තත්ත්වයක් උද්ගත වී තිබුණා. ඊට හේතු වී තිබුණේ පැවැති ආණ්ඩුව දිගින් දිගටම අධික ලෙස ණය ලබා ගැනීම සහ එම ණය මුදල් ගෙවා ගැනීමට තරම් ශක්තිමත් ආර්ථිකයක් රටට නොතිබීමයි. නමුත් අපේ ආණ්ඩුව බලයට පත්වීමෙන් පසුව අනුගමනය කළ පියවර නිසා පැවැති තත්ත්වය කළමනාකරණය කර ගැනීමට අපට හැකි වුණා. මේ වන විට රට තුළ නව සංවර්ධන ක්‍රියාවලියක් ආරම්භ කරමින් ආර්ථිකය ශක්තිමත් කිරීමේ වැඩසටහන අපි ක්‍රියාවට නංවා තිබෙනවා. සුළුතර ආණ්ඩුවක් වුවත් වත්මන් ආණ්ඩුව රට වෙනුවෙන් සිදුකර තිබෙන සේවය එදා පැවැති බහුතරයක් සහිත රාජපක්‍ෂ ආණ්ඩුවට ඉටු කිරීමට නොහැකි වූ බව කිව යුතුයි. නැවතත් මේ අයට රට බාර දුන්නා කියා ඔවුන් රට වෙනුවෙන් කළ යුතු වැඩ කොටස ඉටු කරන්නේ නැහැ. 2005 සිට රාජපක්ෂ ආණ්ඩුව රටේ අධ්‍යාපනයට යොදවන මුදල් ප්‍රමාණය අඩු කළා. යුද්ධය අවසන් වී 2010න් පසුව රටේ අධ්‍යාපනයට යොදවන මුදල් ප්‍රමාණය වැඩි කරනවා යැයි පැවසුවත් ඔවුන් එය ක්‍රියාවට නැංවූයේ නැහැ. 2015දී බලය ලබාගෙන අපේ රජය අධ්‍යාපනය වෙනුවෙන් යොදවන මුදල් ප්‍රමාණය වැඩි කළා. ඒ හරහා ‘ළඟම පාසල හොඳම පාසල’ වැඩසටහන යටතේ පාසල්වලට ගොඩනැඟිලි පහසුකම් ලබාදීමට කටයුතු කළා. සුරක්‍ෂා රක්‍ෂණාවරණය යටතේ පාසල් සිසුන් රක්‍ෂණය කිරීමට කටයුතු කළා. පාසල්වලට පුහුණු ගුරුවරුන් ලබාදුන්නා.

"2005 සිට 2015 දක්වා අධ්‍යාපන ක්ෂේත්‍රය වෙනුවෙන් මෙම වැඩකටයුතු කිරීමට නොහැකි වූ රාජපක්‍ෂ ආණ්ඩුව නැවත බලය ලබාගත්තත් ඒ කටයුතු ඉටු කරන්නේ නැහැ. පරිගණක පහසුකම් නොමැතිව උසස් පෙළ විෂයයන් උගන්වන පාසල්වලට අවශ්‍ය පරිගණක පහසුකම් ලබාදීමට ඔවුන්ට ඕනෑ තරම් කල් තිබුණා. පාසල් සිසුන්ට අධ්‍යාපනික කටයුතු සඳහා ටැබ් පරිගණක ලබාදීමට හැකියාව තිබුණත් ඔවුන් පාසල් සඳහා පරිගණක ලබා දුන්නේ ඉතා සීමිත ප්‍රමාණයක් පමණයි. නමුත් සුළුතරය තිබෙන අපේ ආණ්ඩුව ළඟදීම උසස් පෙළ හදාරන දරු දැරියන් සඳහා ටැබ් පරිගණක ලබාදීමට කටයුතු කරනවා. වසර 10ක් රට පාලනය කරමින් මේ පහසුකම් ලබා නොදුන් ආණ්ඩුව නැවත බලයට පැමිණියත් අප කළ තරම් සේවයක් ජනතාව වෙනුවෙන් කරන්නේ නැහැ. රාජපක්‍ෂ ආණ්ඩුව යටතේ සෞඛ්‍ය සේවා ගාස්තු විශාල ලෙස ඉහළ ගියා. නමුත් අපේ ආණ්ඩුව යටතේ ස්ටෙන්ට් නොමිලයේ ලබාදීමට කටයුතු කර තිබෙනවා. රෝහල් සඳහා නව උපකරණ ලබාදෙනවා. රාජපක්‍ෂ ආණ්ඩුව යටතේ ජනතාවට නිවාස පහසුකම් ලබා දුන්නේ ඉතා සීමිත ප්‍රමාණයක් පමණයි. නමුත් සුළුතරයක් සහිත අපේ ආණ්ඩුව යටතේ අමාත්‍යාංශ හතරක් මඟින් ජනතාවට නිවාස ලබාදීම සිදුකරනවා.

"සජිත් ප්‍රේමදාස මහතාගේ නිවාස හා ඉදිකිරීම් අමාත්‍යාංශය, චම්පික රණවක මහතාගේ මහා නගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍යාංශය, පී. දිගම්බරම් මහතාගේ කඳුරට නව ගම්මාන, යටිතල පහසුකම් හා ප්‍රජා සංවර්ධන අමාත්‍යාංශය, මා යටතේ පවතින ජාතික ප්‍රතිපත්ති, ආර්ථික කටයුතු, නැවත පදිංචි කිරීම් හා පුනරුත්ථාපන, උතුරු පළාත් සංවර්ධන සහ යෞවන කටයුතු අමාත්‍යාංශය යන අමාත්‍යාංශ හතර යටතේ නිවාස පහසුකම් නොමැති දුප්පත් ජනතාව වෙනුවෙන් නිවාස ඉදිකරමින් සිටිනවා. රාජපක්‍ෂ ආණ්ඩුව 2005 වසරේ සිට 2015 දක්වා වූ වසර දහයකදී ඉදිකළ සම්පූර්ණ නිවාස ප්‍රමාණයට වඩා නිවාස විශාල ප්‍රමාණයක් අපේ සුළුතර ආණ්ඩුව එක් වසරක් තුළදී ඉදිකරන බව කිව යුතුයි. එසේ නම් වසර 10ක් තුළදී නිවාස ඉදිකිරීමට නොහැකි වූ අය නැවත බලයට පත්වූවා යැයි කියා නිවාස ඉදිකළ හැකි වෙනවාදැයි මා ප්‍රශ්න කරනවා. මේවාට ඔවුන් පිළිතුරු දිය යුතුයි.

"රාජපක්‍ෂ ආණ්ඩුව කොළඹ නගර සැලසුම් සිදුකළ බව ඔවුන් කියනවා. නමුත් 2010 වසරේ සිට 2015 දක්වා එම ආණ්ඩුව යටතේ නගර සැලසුම් වෙනුවෙන් වියදම් කළ සම්පූර්ණ මුදලට වඩා වැඩි මුදලක් අපේ සුළුතර ආණ්ඩුව යටතේ එක් වසරකදී වියදම් කර ජනතාව වෙනුවෙන් වැඩකටයුතු සිදුකර තිබෙනවා. අපේ ආණ්ඩුව, ගාලුමුවදොර පිටියේ ඉඩම් හෝටල් සඳහා විකුණනවා වෙනුවට කොළඹ නගරය පුරා සැහැල්ලු දුම්රිය සේවා ආරම්භ කිරීමට කටයුතු කරනවා. කුලුනු මතින් දිවෙන මාර්ග ඉදිකිරීමට, කොළඹ නගරය තුළ බහුවිධ ප්‍රවාහන සේවා ආරම්භ කිරීමට, නව සංචාරක හෝටල් ආරම්භ කිරීමට අපි කටයුතු කරනවා. වසර 10ක් බලයේ සිටිමින් සිදුකළ නොහැකි වූ මේ සංවර්ධනය නැවත බලයට පත්වූවා යැයි කියා ඔවුන්ට සිදුකළ හැකිද? අපේ ආණ්ඩුව යටතේ සිදුකළ සංවර්ධන වැඩකටයුතු ගැන ඔබ ඉදිරියේ කියනවා නම් මට ලැයිස්තුවක් කීමට පුළුවන්.

"මා ඉදිරිපත් කරන ප්‍රශ්නය නම්, අසාර්ථක වූ පාලකයන් නැවතත් සාර්ථක වන්නේ කෙසේද යන්නයි. සාමාන්‍යයෙන් දෙවරක් විභාගයෙන් අසමත් වූ විට නැවතත් විභාගයකින් සමත් වෙන්නට අපහසුයි. රාජපක්‍ෂ ආණ්ඩුව රට සංවර්ධනය කිරීමේදී පළමුවත් දෙවනුවත් අසාර්ථක වුණා. මේ අය දැන් කළ යුත්තේ දේශපාලන වේදිකාවල අපට චෝදනා නොකර ඔවුන්ගේ අසාර්ථකභාවයට පිළිතුරු ලබාදීමයි. සුළුතරයක් සහිත අපේ ආණ්ඩුව රට වෙනුවෙන් සුවිශාල වැඩකොටසක් ඉටු කර තිබෙනවා. සුළුතර ආණ්ඩුවක් වුවත් කෙටි කාලයක් තුළ රට වෙනුවෙන් මෙතරම් වැඩ කොටසක් ඉටු කළ කිසිදු ආණ්ඩුවක් මීට පෙර පැවැතියේ නැහැ. අඩුම තරමින් 2/3 ක බහුතරයක් තිබූ රාජපක්‍ෂ ආණ්ඩුවටවත් මේ තරම් වැඩ කොටසක් රට වෙනුවෙන් ඉටු කිරීමට නොහැකි වුණා.

"බහුතරය තිබූ රාජපක්‍ෂ ආණ්ඩුව ජීඑස්පී ප්ලස් තීරුබදු සහනය පවා අහිමි කර ගත්තා. රට ජාත්‍යන්තර වශයෙන් හුදෙකලා කළා. කුමන නමකින් හෝ කුමන ආකාරයකින් ඉදිරිපත් වුණත් රට පාලනය කිරීමට ඔවුන්ට හැකියාවක් නැහැ. ඔබට අවබෝධ කර දීමට මට අවශ්‍යව තිබුණේ එයයි.

"බහුතර බලයක් සහිතව වසර 10කදී රට සංවර්ධනය නොකළ රාජපක්‍ෂලාට නැවත පාලන බලය ලබාදෙනවාද නැතිනම් කෙටි කාලයක් තුළ රට වෙනුවෙන් විශාල සේවයක් ඉටු කළ අපේ සුළුතර ආණ්ඩුවට බහුතර බලයක් ලබාදී රට සංවර්ධනය කිරීම තව තවත් වේගවත් කරනවාද කියා මා ඔබෙන් විමසනවා. සුළුතර බලයක් සහිතව මෙතරම් වැඩකොටසක් කළා නම් බහුතර බලයක් සහිතව අපේ ආණ්ඩුවට රට වෙනුවෙන් අති විශාල සංවර්ධනයක් ළඟාකර දියහැකියි. වසර දෙකක් ඇතුළත සියලු සංවර්ධන කටයුතු නිම කිරීමට අපට ශක්තිය තිබෙනවා. බහුතර බලයක් තිබෙනවා නම් විරුද්ධ පාර්ශ්ව සමඟ චෝදනා එල්ල කරගන්නේ නැතිව, සටන් කරන්නේ නැතිව අපි රටේ සංවර්ධනය පමණක් සිදුකරනවා. දැන් අපට තීරණය කිරීමට තිබෙන්නේ රට ඉදිරියට ගෙනයනවාද නැද්ද යන්නයි. අපට දැන් තිබෙන බලය පිස්ටන් දෙකක් සහිත වාහනයකට සමානයි. නමුත් පිස්ටන් 8ක් සහිත ලෑන්ඩ් කෲසර් වී8 වර්ගයේ වාහනයකට සමාන විශාල බහුතර බලයක් අපට ලබාදෙනවා නම් රට සංවර්ධනය කරන්නේ කෙසේදැයි ඔබට පෙන්විය හැකියි. ඉඩම් හිමිකම නොමැති අහිංසක ජනතාවට ඉඩම් හිමිකම් ඔප්පු ලබා දීමේ මෙම වැඩසටහන සාර්ථක කරගැනීම සම්බන්ධයෙන් මම ගයන්ත කරුණාතිලක අමාත්‍යතුමාට ස්තූතිවන්ත වෙනවා. එතුමාගේ කැපවීම මත ජනතාවට ඔප්පු ලබාදීමට අපට හැකි වී තිබෙනවා. මේ හරහා ඔබේ අනාගතය ගොඩනැඟෙනවා. මෙම ඉඩම් සඳහා පසුව සින්නක්කර අයිතිය ලබාදීමටත් අපි කටයුතු කරන බව අවසාන වශයෙන් ප්‍රකාශ කරනවා."

මාතෘකා