ඉන්දියාවට ගිහින් හිටපු ජනපතිනිය සංදර්ශන පැවැත්වුවේ නැහැ : ඇමති මහින්ද සමරසිංහ

 ඡායාරූපය:

ඉන්දියාවට ගිහින් හිටපු ජනපතිනිය සංදර්ශන පැවැත්වුවේ නැහැ : ඇමති මහින්ද සමරසිංහ

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ඉන්දීය සංචාරය නිල සංචාරයක් නොව එය ඔහුගේ පෞද්ගලික සංචාරයක් බවත්, එයට අනවශ්‍ය අර්ථකථන ලබාදීමට ඔහුගේ සෙවණේ සිටින කිහිප දෙනෙකුම උත්සාහ දරන බවත්, වරාය හා නාවික කටයුතු අමාත්‍ය මහින්ද සමරසිංහ මහතා ඊයේ (18) ශ්‍රී.ල.නි.ප. පක්ෂ මුලස්ථානයේදී පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින් පැවසීය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක් වූ ඒ මහතා,

"මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයාව ගෙදර යැව්වේ ඉන්දියාව නෙවෙයි, මේ රටේ ජනතාවයි. ඉන්දියාව ඒකට සම්බන්ධ කරගන්න යන්න එපා. දෙවනුව මහින්ද රාජපක්ෂ මහතා ඉන්දියාවට ගියේ නිල සංචාරයකට නෙවෙයි. එය ඔහුගේ පෞද්ගලික සංචාරයක් පමණයි. මෝදි අගමැතිතුමාව හමුවෙලා ආගිය තොරතුරු කතා කිරීමට ඔහුට අවස්ථාවක් හිමිව තිබුණා. රාජ්‍යතාන්ත්‍රිකයෙක් හැටියට ඒ රාජ්‍යතාන්ත්‍රික හමුවක් ඇතිවුණා; එච්චරයි.

"මහින්ද රාජපක්ෂ මහතාගේ පැත්තේ ඉන්න අය දැන් පෙන්වන්න හදනවා මේක සුවිශේෂ හමුවක් බව. ඒ වගේම මහින්ද රාජපක්ෂ මහතාට ජනබලය තිබෙන නිසා, ඊළඟ ආණ්ඩුව පිහිටවන්න ජනතාව එතුමාට අවස්ථාව දෙන්න තීරණය කරලා තියන බව. ඒ නිසා තමයි එතුමාව මෝදි අගමැතිතුමාව හමුවුණේ කියලත් ඒ අය පෙන්වනවා.

"දැන් මම කියන්න කැමතියි, මහින්ද රාජපක්ෂ මහතා ජනාධිපතිවරයා හැටියට ඉන්න කාලේදී කී වතාවක් චන්ද්‍රිකා බණ්ඩාරනායක මැතිනිය ඉන්දියාවට ගිහිල්ලා සෝනියා ගාන්ධි මැතිනියව, මන්මොහන් සිං මහතාව හමුවුණාද කියලා. ඊළඟට රනිල් වික්‍රමසිංහ අගමැතිවරයා විපක්ෂ නායකයාව ඉන්න කාලෙදිත් මේ විදිහටම එතුමා කී වතාවක් ඉන්දියාවට ගියාද කියලා. ඉන්දියාව කියන්නේ අපේ කල්‍යාණ මිත්‍රයෙක්, ඒ වගේම අපේ අසල්වැසි රට. මෙහෙ හිටපු ජනධිපතිවරයෙක් ඉන්දියාවට යනකොට, ඉල්ලීමක් කළහම අගමැති මුණ ගැහෙන්න, අනිවාර්යෙන්ම කාල වේලාව ඇත්නම් ඒ අවස්ථාව ලබාදෙනවා. ඒක අද ඊයේ වුණ දෙයක් නෙවෙයි. චන්ද්‍රිකා බණ්ඩාරනායක මෙහෙට ඇවිල්ලා ඒක මාධ්‍යයේ පෙන්නුවේ නැහැනේ, තමන්ට තවමත් පිළිගැනීමක් තියෙනවා කියලා. එවැනි අර්ථකථනයක් ඇය දුන්නේ නැහැ. මෙවැනි සංචාර සාමාන්‍ය දෙයක්. මෙය දේශපාලන ක්‍රියාවක් නොවෙයි. එයට අනවශ්‍ය අර්ථකතන දෙන්න අවශ්‍ය නැහැ." යැයිද පැවසීය.

[තියේෂා ද සිල්වා]

මාතෘකා