ඕසෝන් ස්ථරය ආරක්ෂා කරගැනීම අප සැමගේ යුතුකමක් සහ වගකීමක් : ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන

 ඡායාරූපය:

ඕසෝන් ස්ථරය ආරක්ෂා කරගැනීම අප සැමගේ යුතුකමක් සහ වගකීමක් : ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන

වාර්ෂිකව වන ගනත්වය සියයට 1.4‍කින් පමණ අඩු වෙනවා. දැන් සියයට 27‍ක් පමණ තිබෙන වන ගනත්වය තව වසර දහයකින් කොපමණ වේවිද? මේ නිසා තව වසර 25ක් යන විට මේ රට සම්පූර්ණයෙන්ම කාන්තාරයක් බවට පත්වෙන්න ඉඩකඩ තිබෙනවා. ඒ නිසා වන ගනත්වය වර්ධනය කර ගැනීමත්, ස්වභාවික සම්පත් ආරක්ෂා කර ගැනීමත්, නාගරීකරණය අවම කිරීමත්, කාර්මිකකරණයෙන් සිදුවන තාක්ෂණික, විද්‍යාත්මක සහ ප්‍රායෝගික කරුණු අවම කර ගැනීමටත් කටයුතු කිරීම ඕසෝන් ස්ථරය ආරක්ෂා කිරීමේදී ජාතික වශයෙන් මෙන්ම අන්තර්ජාතික වශයෙන් ඉතා වැදගත් වෙනවා” යැයි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පසුගියදා (17) BMICHහි පැවති 2018 ජගත් ඕසෝන් දින සැමරුම් උත්සවයේදී පැවසීය. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපතිවරයා මෙසේද කීය.

“ඕසෝන් ස්ථරය රැකගැනීමට තිබෙන අභියෝග මොනවද? නාගරීකරණය, කාර්මිකකරණය ඒ සඳහා තිබෙන ප්‍රබල අභියෝග බව අප දන්නවා. ආදිවාසී ජනතාව වගේ ජීවත් වෙන්න පුළුවන් නම් මම හිතන්නේ ඕසෝන් ස්ථරය ආරක්ෂා වෙනවා කියලයි.

නව තාක්ෂණය, කාර්මිකකරණය සමඟ ජනාවාසකරණය වගේම ඒ සඳහා බලපාන තවත් විවිධ හේතු තිබෙනවා. දෛනික ජීවිතයේ පරිහරණය කරන ශීතකරණ ඇතුළු අනිකුත් තාක්ෂණික මෙවලම් අද අපේ අත්‍යාවශ්‍ය භාණ්ඩ බවට පත් වී තිබෙනවා. ඒ නිසා මේ අභියෝගය ජයගන්නට අප කොතෙක් කැපවී තිබෙනවාද කියන කාරණාව අපි අපේ හෘද සාක්ෂියෙන්ම අහන්න ඕනෑ.

“මිනිසුන් විදියට මිනිසුන් රකින්නත් සියලු සත්ත්වයන්, ගහ කොළ, ඇළ දොළ, ඇතුළු සියලු ස්වාභාවික සම්පත් රකින්න ප්‍රධාන වගකීම දැරිය යුත්තේ මිනිසා විසින්මයි කියන එක ඔබ සෑම කෙනෙක්ම දන්නවා. ලෝකයේ පරිසර විද්‍යාඥයින් දහදාහකට වැඩි සංඛ්‍යාවෙන් සියයට 97‍ක් ප්‍රකාශ කරලා තිබෙන්නේ මිනිසා විනාශ කරන්නේ මිනිසා විසින්මයි කියලා. ඊට මූලික වන්නේ පරිසරය විනාශ කිරීමයි.

ඔක්තෝම්බර් මාසේ පළවෙනි සතියේ ඉඳලා ජනවාරි මාසය දක්වා වාර්ෂිකව පැළ සිටුවීමේ ව්‍යාපාරය නැවත වරක් ආරම්භ කරලා තිබෙනවා. පැළ ලක්ෂය ද, දෙක ද, ලක්ෂ 10 ද, ලක්ෂ 100ද කියලා සීමා කරලා නැහැ. ජනගහනය වර්ධනය වුණත් කිසිසේත්ම භූමිය වර්ධනය වෙන්නේ නැහැ. ඒ නිසා පරිසරයේ පැවැත්ම තහවුරු කර ගැනීම වෙනුවෙන් අප සියලු දෙනා යම් වගකීමකින් යුතුව කටයුතු කළ යුතු වෙනවා.

“තෙල් මිල, ජීවන වියදම, රැකියා, බඩු මිල වැනි කාරණා සම්බන්ධයෙන් දිනපතා මා හට දෝෂාරෝපණ එල්ල වෙනවා. මට වඩා ඔබ තමයි දන්නේ මට බනින හැටි. ගස් කපන්න දෙන්නේ නෑ. වැලිගන්න දෙන්නේ නෑ. පස් ගන්න දෙන්නේ නෑ. ගෙයක් හදා ගන්න දෙන්නේ නෑ. ගෙයක් හදන්න පස් ටිකක්වත් දැන් ගන්න දෙන්නේ නැහැ කියලාත් චෝදනා කරනවා. ජනාධිපතිවරයාට ආරක්ෂක අමාත්‍යාංශය ව්‍යවස්ථාවෙන්ම හිමිවෙනවා. ඒ හැරෙන්නට ජනාධිපති ධුරයට පත් වෙලා මම භාර ගත්තේ පරිසර සහ මහවැලි අමාත්‍යාංශය.

ඒ සඳහා හේතු දෙකක් තිබුණා. එකක් මොරගහකන්ද - කළු ගඟ ජලාශය ඉදි කිරීම. අනික් පැත්තෙන් මම බලයට එන්න කලින් බරපතළ විදියට සිදුවුණු පරිසර විනාශය වැළැක්වීම. හුඟක් ගස් කැපුවේ, වැලි ඇද්දේ, පස් කපන්නේ, ගල් කඩන්නේ දේශපාලනඥයෝ. රත්නපුර, කළුතර දිස්ත්‍රික්කවල ගංවතුර. කළුතර දිස්ත‍්‍රික්කයේ එක ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයක ගල් කඩන මධ්‍යස්ථාන 86ක් තිබෙනවා.

ඉතින් පරිසරය ඉතිරි වෙයිද කියන කාරණාව හිතන්න ඕනෑ. එලෙස විශාල වශයෙන් ගල් කඩනවා නම් පස් කොච්චර කපනවද කියලා හිතන්න ඕනෑ. ගිය අවුරුද්දේ වරකාපොළ පැත්තේ කපපු පස් කන්දක් තහනම් කළා කියලා මට නඩු දැම්මා. ඒ පස් කන්ද කපන විට අපේ පරිසර අධිකාරිය බලපත්‍ර දීලා තිබුණා. භූ විද්‍යා හා පතල් කාර්යාංශය බලපත‍්‍ර දීලා තිබුණා. පස් කපන්න ආයතන 16ක අනුමැතිය අවශ්‍යයයි.

පුරාවිද්‍යා, පරිසර, භූ විද්‍යා, ප්‍රාදේශීය සභාව, ප්‍රාදේශීය ලේකම් කාර්යාලය, වන සංරක්ෂණ, මේ සියලු ආයතන මේ සඳහා අනුමැතිය දෙනවා. අනුමැතිය දුන්නට පසුව ඒවා ගැන කිසිම අධීක්ෂණයක් නැහැ. වරකාපොළ පැත්තේ ගම මැද්දේ විශාල පස් කන්දක් තිබුණා. ඒ පස් කන්ද කපනවා කියලා ගමේ ජනතාවගෙන් දුක්ගැනවිල්ලක් ආවා. මේ ගමේ අපි ජීවත් වෙන්නේ මේ පස් කන්දෙන් කියලා.

එම ප්‍රදේශය විශාල ජල උල්පත් සහිත ඉතා සුන්දර ප්‍රදේශයක්. ඒ පස් කපපු ව්‍යාපාරිකයා ගමේ ජනතාවට කියලා මේක ජනාධිපතිතුමාගේ වැඩක් කියලා. ඒ නිසා මේකට කවුරුවත් විරුද්ධ වෙන්න එපා. ජනාධිපතිතුමයි අපිට මේ වැඬේ භාරදීලා තිබෙන්නේ මේ පස් කපලා අදින්න කියලා. ඒ එක්කම ඒ ගමේ අයගේ විශාල දෝෂාරෝපණ මට ඇවිල්ලා තිබුණා.

රජයේ ඔත්තු සේවාවන් බුද්ධි සේවාවන් මට වාර්තා කළා අහවල් ගම්මානයේ ජනාධිපතිතුමාට ඉතාම දැඩි ලෙස නින්දා අපහාස කරනවා කියලා. මේ පිළිබඳව සොයලා බලලා මම දැනගත්ත දවසේම පැය 24 ක් ඇතුළත එම පස්කැපීම තහනම් කළා. එයට විරුද්ධව ඊට අදාළ පුද්ගලයා මට නඩු දැම්මා. දිවුලපිටිය පැත්තේ එක පස් කන්දක් නිසා වසර ගණනක සිට වරින් වර විසි ගණනක් මරලා තිබෙනවා. නිට්ටඹුව සංගීත සංදර්ශනයක් අතරතුරේ ව්‍යාපාරික කල්ලිවල ගැටුමක ප්‍රතිඵලයක් ලෙස මට නඩු දාපු පුද්ගලයාට වෙඩි තියලා තිබෙනවා. මෙවැනි වටපිටාවක මම මේ අමාත්‍යාංශය භාර ගත්තේ දැඩි නීති රීති ක‍්‍රියාත්මක කළ යුතු නිසා.

“පරිසරය ආරක්ෂා කරන්න ත්‍රිවිධ හමුදාව යොදවා තිබෙන්නේ පළවෙනි වතාවටයි. පරිසර අධිකාරිය, අමාත්‍යාංශය පමණක් නොවෙයි ත‍්‍රිවිධ හමුදාවම ඒ වෙනුවෙන් යොදවලා තිබෙනවා. ගුවන් හමුදාව සති දෙකකට වරක් කැලෑ කපන තැන් ගස් කපන තැන් පිළිබඳව නිරීක්ෂණය කරනවා.

ගංජා වවන ස්ථාන පිළිබඳවත් විමර්ශනය කරනවා. එක් එක් ස්ථානයේ සිදුවන මෙම ජාවාරම් පිළිබඳව සති දෙකකට සැරයක් ඔවුන් මට වාර්තා කරනවා. ඒ වාර්තා ඒ ප්‍රදේශය භාර නියෝජ්‍ය පොලිස්පතිවරයාට යවන්න ඕනෑ. එතකොට තමයි ගිහින් වැටලීම් කරන්නේ. ඒ වගේම චන්ද්‍රිකා තාක්ෂණයෙන්

පැය 24ම වනාන්තර පිළිබඳව විමර්ශනය කරනවා. වාර්තා කරනවා. ඒවා විනාශ කරනවාද කියලා. ගස් කපලා කැලෑ කපලා මුහුදින් ප්‍රවාහනය කරනවද කියලා නාවික හමුදාව පැය 24 පුරාම සෝදිසියෙන් සිටිනවා. යුද හමුදාව, පොලීසියත් එක්ක ඒකාබද්ධව නීති විරෝධීව සිදුවන කටයුතු පිළිබඳව විමර්ශන සිදුකරනවා. පසුගිය දවසක වව්නියාව ප්‍රදේශයේ පොලීසියේ නිලධාරි මහත්වරු නීතිවිරෝධී ගස් කැපීමක් පිළිබඳව ලැබුණු තොරතුරක් මත යුද හමුදාවේ මහත්වරු සමඟ ඒකාබද්ධව වැටලීමක් කළා.

යුද හමුදාව ඒ අය අත්අඩංගුවට ගැනීම වැරදියි කියලා අත්අඩංගුවට පත්වූ අය හමුදාවට හා පොලීසියට එරෙහිව නඩුවක් දාලා තියෙනවා. පොලිසියත් එක්ක ගිහිල්ලා ඒ වැටලීම කරලා තිබුණේ. ඒ අය යුද හමුදාව වග උත්තරකාරයන් කෙරුවා. අපි ඒකට කරුණු ඉදිරිපත් කෙරුවා.

යුද හමුදාව තනියෙන් ගියේ නැහැ. යුද හමුදාවට පොලිස් බලතල නැහැ. නමුත් පොලිසියත් එක්ක ගිහින් ඒ වැටලීම කළේ කියලා. පරිසරය විනාශ කරන මේ ජාවාරම්කාරයන් නීතිය සහ නීතියේ තිබෙන දුර්වලතාවයන් කොතෙක් දුරට පාවිච්චි කරනවද කියලා ඔබ තේරුම් ගන්නට ඕනෑ.

“ඉදිකිරීම් පිළිබඳව ප්‍රතිපත්තියක් නැතිකම අපේ රටට විශාල ප්‍රශ්නයක්. අපේ රටේ ඕනෑම තැනක ගෙයක් ඉදි කරන්න, ගොඩනැගිල්ලක් ඉදිකරන්න පුළුවන්. රජයේ ඉදිකිරීමක් වුණත් ඕනෑම තැනක ඉදි කරන්න පුළුවන්.

පෞද්ගලික අංශයත් මෙවැනි ඉදිකිරීම් සිදුකරනවා. රටේ සාමාන්‍ය පුරවැසියන්ටත් ඕනෑම තැනක තම තමන්ගේ නිවාස ඉදිකර ගන්න අයිතිය සහ නිදහස තිබෙනවා. නමුත් වැඩිවන ජනගහනය සමඟ රාජ්‍ය අංශය සහ පෞද්ගලික අංශය ඒකාබද්ධ එකඟතාවයක් තුළ ක්‍රිියාත්මක කළ යුතු පුළුල් ඉදිකිරීම් පිළිබඳව ජාතික ප්‍රතිපත්තියක අවශ්‍යතාවය තිබෙනවා.

තව වසර 25ක් මේ විදියට ගොඩනැගිලි හැදුවොත් ආහාර නිෂ්පාදනය කරන්න නිෂ්පාදන ක්‍රියාවලියට ඉඩම් නැතිව යනවා. ඒවගේම පරිසර සංරක්ෂණය කියන එක සම්පූර්ණයෙන්ම නැති වෙනවා.

පරිසර අමාත්‍යාංශය, පරිසර අධිකාරිය ඊට අදාළ අනිකුත් ආයතන, විශ්වවිද්‍යාල ක්ෂේත්‍රය, පාසල් දරුවන්, අනිකුත් සියලු ආයතන මොන්ට්‍රියල් එකඟතාවයන් සමඟ අන්තර්ජාතික ප්‍රඥප්තීන් ආරක්ෂා කරමින් ඕසෝන් ස්ථරය ආරක්ෂා කර ගැනීම සඳහා අපේ වගකීම් සහ යුතුකම් ඉෂ්ට කරන්නට අපි සෑම කෙනෙක්ම අධිෂ්ඨාන කර ගනිමු කියලා මම ඔබලාගෙන් ඉල්ලා සිටිනවා”

මාතෘකා